2. 1. 5. 5.
46. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කසට (හිස්) පිරිසද, මණ්ඩ (සාර) පිරිසද (යන දෙදෙනයි.)
“මහණෙනි, කසට (බොල් හෙවත් නිස්සාර) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ඡන්දයෙන් අගතියට යෙත්ද, ද්වේෂයෙන් අගතියට යෙත්ද, මෝහයෙන් අගතියට යෙත්ද, භයින් අගතියට යෙත්ද, මහණෙනි, මේ කසට (හිස්) පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, ප්රසන්න (සාර) වු පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු ඡන්දයෙන් අගතියට නොයත්ද, ද්වේෂයෙන් අගතියට නොයත්ද, මෝහයෙන් අගතියට නොයත්ද, භයින් අගතියට නොයත්ද, මහණෙනි, මේ ප්රසන්නවූ පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ආර්ය්ය පිරිසක් වේද, ඒ අග්රයි.”
2. 1. 5. 6.
47. “මහණෙනි, පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, හික්මවන්නට නොහැකිවූ, ධර්මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිසද, ධර්මය අසා දැනගෙන හික්මුනාවූ, සුවිනීතවූ පිරිසද වෙත්.
“මහණෙනි, හික්මවන්නට නොහැකිවූ, ධර්මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අර්ත්ථ ඇත්තාවූ, ලෝකෝත්තරාර්ථ දක්වන්නාවූ, ශුන්යතාප්රතිසංයුක්තවූ යම් ඒ සූත්රාන්තයෝ වෙත්නම් ඒ සූත්රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නො අසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැණීම පිණිස සිත එළවා නොතබද්ද, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතුය, පුහුණු කළ යුතුයයි නොහඟිද්ද, (බාහිර) කවීන් විසින් කරන ලද. කවීන් පිළිබඳ විසිතුරු අකුරු ඇත්තාවූ. විසිතුරු ව්යඤ්ජනයන් ඇත්තාවූ. ශාසනයෙන් බැහැරවූ බාහිරක ශ්රාවකයන් විසින් කියන ලද්දාවූ යම් ඒ සූත්රාන්තයෝ වෙත් නම්, ඒ සූත්රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් අසත්ද. කන් යොමු කරත්ද. දැනගැණීම පිණිස සිත එළවා තබත්ද. ඒ ධර්මයන් ඉගෙණගතයුතුයයි ප්රගුණ කටයුතුයයි හගිත්ද. ඔවුහු ඒ ධර්මය ප්රගුණකොට, ‘කෙසේද, මේ පද වචනාදිය කුමක්ද? මෙහි අර්ත්ථය කවරේදැ?’ යි ඔවුනොවුන්ගෙන් නොවිචාරත්ද, (එසේ විචාරීම පිණිස) ඔබ මොබ නොහැසිරෙත්ද, ඔවුහුතුමූ වැසුණාවූ අර්ත්ථ විවෘත නොකෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්මයන් කෙරෙහි සැකය පහ නොකෙරෙත්ද, මහණෙනි, මේ (පිරිස) දුර්විනීතවූ (අසා දැනගැනීමෙන්) නොහික්මුනාවූ පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, අසා දැනගැනීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහිවූ යම් පිරිසෙක්හි භික්ෂූහු කවීන් විසින් කරණලද, කවීන්ට හිතවූ, (කවීන් පිළිබඳවූ) විසිතුරු අකුරු හා විසිතුරු පද වචනාදිය ඇත්තාවූ, බාහිරක ශ්රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්රාන්තයෝ වෙත් නම්, ඒ සූත්රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නොඅසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැනීම පිණිස සිත එළවා නොතබත්ද, ඒ ධර්මයන් ඉගෙන ගත යුතුයයි, ප්රගුණ කටයුතුයයි නොහඟිත්ද, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අර්ත්ථ ඇත්තාවූ, ලොකොත්තරාර්ත්ථ දක්වන්නාවූ, ශූන්යතා ප්රතිසංයුක්තවූ, යම් ඒ සූත්රාන්තයෝ වෙත් නම් ඒ සූත්රාන්තයන් කියනු ලබනකල්හි සතුටින් අසත්ද, කන් යොමු කරත්ද, දැනගැනීම පිණිස සිත එලවා තබත්ද, ඒ ධර්මයන් උද්ග්රහණය කටයුතුය, ප්රගුණ කටයුතුයයි හඟිත්ද, ඔවුහු ඒ ධර්මය ප්රගුණකොට මේ පද වචනාදිය කුමක්ද, මෙහි අර්ත්ථය කවරේදැයි ඔවුනොවුන් විචාරත්ද, ඔබ මොබ හැසිරෙත්ද, ඔවුහු වැසුනාවූ අර්ත්ථ විවෘත කෙරෙත්ද, ප්රකට නොවූවක් (ගැඹුරු වූවක්) ප්රකට කෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්මයන් කෙරෙහි සැකය පහ කෙරෙත්ද, මහණෙනි, මේ පිරිස පිළිවිසීමෙන් හික්මුනාවූ, හික්මවන්ට හැකිවූ, පිරිස යයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙකකි. මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ පිළිවිසීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිසක් වේද, මේ පිරිස අග්රවේ.”
2. 1. 5. 7.
48. “මහණෙනි, පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ, ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.
“මහණෙනි, සිවුපසය ගරුකොට සලකන්නාවූ, සදහම් ගරුකොට නොසලකන්නාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන් ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ දොස් කියමින් ‘අසවල් මහණතෙම (විස්කම්භන, සමුච්ඡෙද යන) දෙකොටසින් මිදුනේය, අසවල් මහණතෙම ප්රඥාවෙන් විමුක්තය, අසුවලා කයින් ධ්යාන ස්පර්ශකොට, පසුව නිවන් ප්රත්යක්ෂ කෙළේය. අසුවලා මාර්ග දෘෂ්ටියට පැමිණියේය. අසුවලා ශ්රද්ධාව නිසා මිදුනේය. අසුවලා ධර්මය අනුව සිහිකරන ස්වභාවය. අසුවලා ශ්රද්ධානුසාරීය. අසුවලා සිල්වත්ය. අසුවලා කල්යාණ ස්වභාව ඇත්තේය. අසුවල් මහණතෙම ලාමකවූ ස්වභාව ඇත්තේය. දුශ්ශීලයයි කියත්. ඔවුහු තුමූ ඒ ගුණාගුණ කීමෙන් සිවුපසය ලබත්. ඔවුහු ඒ ලාභයෙහි (තෘෂ්ණාවෙන්) ගැටගැසුනාහු, මූර්ඡාවූවාහු, ගැලී සිටියාහු, ආදීනව (වරද) නොදක්නා ස්වභාව වූවාහු, ඡන්දරාගය දුරුකරණ, ප්රඥාවෙන් තොරවූවාහු, (සිවුපසය) පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරුකොට ඇත්තාවූ, සදහම් ගරුකොට නැත්තාවූ පිරිස යයි කියනු ලැබේ.