2. 1. 5. 3.
44. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: උත්තම පුද්ගලයන් ඇත්තාවූ පිරිසද, උතුම්වූ පුද්ගලයන් නැත්තාවූ පිරිසද (යන දෙකයි.)
“මහණෙනි, උත්තම පුද්ගලයින් නැත්තාවූ (නිකෘෂ්ට) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්‍ෂු බහුල භාවය පිණිස පිළිපන්නාහු, (ශාසනය) ලිහිල්කොට ගන්නාහු, ශික්‍ෂා ගරුක නොවී, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයන්හි පූර්‍වාඞ්ගම (පෙරදැරි) වූවාහු, නිර්‍වාණයෙහි බහා ලබන ලද, හරණ ලද, උත්සාහ ඇත්තාහු වෙත්ද, ඔවුහු පෙර නොපැමිණෙන ලද්දට පැමිණීම පිණිසත්, අනධිගත (අවබෝධ නොකරණ ලද) ධ්‍යානාදීන්ගේ අවබෝධය පිණිසත්, (කායික, චෛතසික) වීර්‍ය්‍යය පටන් නොගනිත්.” “පශ්චිම ජන සමූහයාද, තමන් දුටු දේ අනුව පිළිපැදීමට පැමිණේ.(සැරසේ) ඕතොමෝද (ඒ පශ්චිම ජනතාවද), (ප්‍රත්‍ය) බහුලාදියෙන් යුක්තවූවා, සස්න ලිහිල්කොට ගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණ ධර්‍ම පූරණයෙහි පෙරටුව යන්නී, නිර්‍වණයෙහි බහා තබන ලද උත්සාහ ඇත්තී, පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ගුණ විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද, (කායික, චෛතසික) වීර්‍ය්‍යය පටන් නොගණී. මහණෙනි, මේ අග්‍ර නොවූ පුද්ගලයන් ඇති පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, උතුම් පුද්ගලයන් ඇති පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්‍ෂූහු (ප්‍රත්‍ය) බාහුල්‍යයෙන් යුක්ත නොවෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ (ශික්‍ෂාගරුකයෝ) වෙත්ද, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයෙහි හරණ ලද වීර්‍ය්‍ය ඇත්තෝ වෙත්ද, නිර්‍වාණ ධර්‍මයෙහි පූර්‍වඞ්ගම (පෙරදැරි) වූවෝ වෙත්ද, ඔවුහු නොලැබූ ගුණයන් ලැබීම පිණිසද, අවබෝධ නොකරණලද ධර්‍මයන් අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකරණලද ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද වීර්‍ය්‍යය පටන් ගණිති. “පශ්චිම ජන සමූහයාද ඔවුන්ගේ දෘෂ්ටිය (තමන් දුටු දේ) අනුව යාමට සැරසේ. ඕ තොමෝද ප්‍රත්‍ය බාහුල්‍යයෙන් යුක්ත නොව සස්න ලිහිල් කොට නොගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණධර්‍ම පූරණයෙහි පෙරටුව නොයන්නී නිර්‍වාණයෙහි බහා නොතබනලද උත්සාහ ඇත්තී පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ගුණ විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද, (කායික, චෛතසික) වීර්‍ය්‍යය පටන් ගණී. මහණෙනි, මේ අග්‍රවතී (උතුමන් ඇති) පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ අග්‍රවතී පිරිසක් වේද, මෙය උතුම්වේ.”
2. 1. 5. 4.
45. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආර්‍ය්‍යවූ පිරිසද, අනාර්‍ය්‍ය (පෘථග්ජන) වූ පිරිසද (යන දෙදෙනයි.)
“මහණෙනි, අනාර්‍ය්‍ය (පෘථග්ජන) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු මේ (පඤ්චස්කන්‍ධය) දුක්යයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණාව) දුක් හටගැනීමේ හේතුවයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීමයයි ඇති සැටියෙන් නොදනිත්ද, මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) දුක් නිරුද්‍ධ කිරීමට පමුණුවන පිළිවෙතයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය නොවූ පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, ආර්‍ය්‍ය පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිත්ද, මේ දුක් උපදින හේතුවයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමේ පිළිවෙතයයි තතුසේ දනිත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස දෙක අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය පිරිසක් වේද, ඒ අග්‍ර වේ.
2. 1. 5. 5.
46. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කසට (හිස්) පිරිසද, මණ්ඩ (සාර) පිරිසද (යන දෙදෙනයි.)
“මහණෙනි, කසට (බොල් හෙවත් නිස්සාර) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත්ද, ද්වේෂයෙන් අගතියට යෙත්ද, මෝහයෙන් අගතියට යෙත්ද, භයින් අගතියට යෙත්ද, මහණෙනි, මේ කසට (හිස්) පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, ප්‍රසන්න (සාර) වු පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නොයත්ද, ද්වේෂයෙන් අගතියට නොයත්ද, මෝහයෙන් අගතියට නොයත්ද, භයින් අගතියට නොයත්ද, මහණෙනි, මේ ප්‍රසන්නවූ පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය පිරිසක් වේද, ඒ අග්‍රයි.”
2. 1. 5. 6.
47. “මහණෙනි, පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, හික්මවන්නට නොහැකිවූ, ධර්‍මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිසද, ධර්‍මය අසා දැනගෙන හික්මුනාවූ, සුවිනීතවූ පිරිසද වෙත්.
“මහණෙනි, හික්මවන්නට නොහැකිවූ, ධර්මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අර්ත්‍ථ ඇත්තාවූ, ලෝකෝත්තරාර්‍ථ දක්වන්නාවූ, ශුන්‍යතාප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නො අසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැණීම පිණිස සිත එළවා නොතබද්ද, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතුය, පුහුණු කළ යුතුයයි නොහඟිද්ද, (බාහිර) කවීන් විසින් කරන ලද. කවීන් පිළිබඳ විසිතුරු අකුරු ඇත්තාවූ. විසිතුරු ව්‍යඤ්ජනයන් ඇත්තාවූ. ශාසනයෙන් බැහැරවූ බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම්, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් අසත්ද. කන් යොමු කරත්ද. දැනගැණීම පිණිස සිත එළවා තබත්ද. ඒ ධර්මයන් ඉගෙණගතයුතුයයි ප්‍රගුණ කටයුතුයයි හගිත්ද. ඔවුහු ඒ ධර්‍මය ප්‍රගුණකොට, ‘කෙසේද, මේ පද වචනාදිය කුමක්ද? මෙහි අර්ත්‍ථය කවරේදැ?’ යි ඔවුනොවුන්ගෙන් නොවිචාරත්ද, (එසේ විචාරීම පිණිස) ඔබ මොබ නොහැසිරෙත්ද, ඔවුහුතුමූ වැසුණාවූ අර්ත්‍ථ විවෘත නොකෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්‍මයන් කෙරෙහි සැකය පහ නොකෙරෙත්ද, මහණෙනි, මේ (පිරිස) දුර්විනීතවූ (අසා දැනගැනීමෙන්) නොහික්මුනාවූ පිරිසයයි කියනු ලැබේ.