2. 1. 4. 7.
38. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙම මධුරා නම් නුවර ගුන්දා වනයෙහි වාසය කෙරෙයි. එකල්හි, කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙමේ මහා කාත්‍යායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ එකත්පස්ව උන්නේය. එකත්පසෙක උන්නාවූ කණ්ඩරායන බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ට මෙසේ සැලකෙළේය.
“භවත් කාත්‍යායනයෙනි, මවිසින් මෙසේ අසන ලද්දේය. (කෙසේද යත්) ‘මහා කාත්‍යායන ශ්‍රමණතෙමේ (ජරාවෙන්) ජීර්‍ණවූ, ජාතිමහල්ලකවූ, දීර්‍ඝ කාලයක් ඉක්මුණාවූ, පශ්විම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි. දැක හුනස්නෙන්ද නැගී නොසිටියි. ආසනයෙන්ද නොපවරයි.’ (කියායි.) භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කරුණු එසේමය. භවත් කාත්‍යායනයෝ, (ජරාවෙන්) ජීර්‍ණවූ, වයොවෘද්‍ධවූ, ජාතිමහල්ලකවූ, දීර්‍ඝ කාලයක් ඉක්මුණාවූ, පශ්විම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි. දැක හුනස්නෙන්ද නැගී නොසිටියි. ආසනයෙන්ද නොපවරත්ද, “භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කාරණය නුසුදුසුමය.”
“බ්‍රාහ්මණය, (දතයුතු සියලු දේ) දන්නාවූ, (සියල්ල) දක්නාවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ, වෘද්‍ධයන් වන කාරණයද, තරුණයන් වන කාරණයද ඇත. බ්‍රාහ්මණය, ඉදින් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස් ඇත්තාවූ හෝ උත්පත්තියෙන් අවුරුදු සියයක් ඇත්තාවූ හෝ වෘද්‍ධයෙක් වේද, එහෙත් හෙතෙමේ කාමයන් පරිභෝග කෙරේද, ද්විවිධවූ කාමයන් මධ්‍යයෙහි වාසය කෙරේද, කාම දැවිල්ලෙන් හාත්පසින් දැවේද, කාම විතර්‍කයන් විසින් කනු (පෙළනු) ලැබේද, නොයෙක් කාමයන් සෙවීමෙහි උත්සාහවත් වේද, එසේ ඇති කල්හි, හෙතෙම බාලය. වෘද්‍ධ නැත, යන කොටසට යෙයි. (බාලයයි සලකනු ලැබේ.) “බ්‍රාහ්මණය, ඉදින් තරුණ බැව් ඇති, මනාව කළුවූ කෙස් ඇති, සොඳුරු යොවුන් වියෙන් සමන්විතවූ, (තෙතිස් වයස් නොඉක්මවූ) පළමුවෙනි වයසින් යුක්තවූ, තරුණයෙක් වේද, එහෙත් හෙතෙම ද්විවිධ කාමයන් පරිභෝග නොකෙරේද, කාමයන් මධ්‍යයෙහි නොවසාද, කාම දැවිල්ලෙන් හාත්පස නොදැවේද, කාම විතර්‍කයන්ගෙන් කනු (පෙළනු) නොලැබේද, කාමයන් සෙවීමෙහි උත්සාහවත් නොවේද, එසේ ඇති කල්හි, හෙතෙම පණ්ඩිතය, ස්ථවිරය යන කොටසට පැමිණේ.”
මෙසේ වදාළ කල්හි කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට පොරවා, ‘තරුණවූ, භික්‍ෂූන්ගේ පාදයන් හිසින් වඳී. පින්වතුන් වහන්සේලා වෘද්‍ධයෝය. වෘද්‍ධ භූමියෙහි සිටියෝය. අපි තරුණයෝ වම්හ, තරුණ භූමියෙහි සිටුම්හ. ‘භවත් කාත්‍යායනස්ථවිරයන් වහන්ස, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙනි, මුව යටිකුරුකොට තබන ලද්දක් යම්සේ මුව උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද, එපරිද්දෙන් භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් කාත්‍යායන ස්ථවිර තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.”
2. 1. 4. 8.
[සැවැත් නුවර නිදානයි]
39. “මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි රජවරු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්‍මාන්තයන් පරීක්‍ෂා කිරීමට හෝ පහසු නොවෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි පාප භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි ප්‍රියශීලී භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි ප්‍රියශීලී භික්‍ෂූහු නිශ්ශබ්දවූවාහු, සඟ මැද තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. පසල් දනව් හෝ සොයා යත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ථය පිණිස, දෙව්මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස වේ.”
“මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්‍වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්‍මාන්තයන් පරීක්‍ෂා කරන්නට හෝ පහසු වෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි ප්‍රියශීලී භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු සඟ මැද අතිශයින් නිශ්ශබ්දව, තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. කොතැන්හි හෝ පලා යෙත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස වේ.”
2. 1. 4. 9.
40. “මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ මිත්‍යා ප්‍රතිපත්තිය වර්‍ණනා නොකරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපැදීමේ කාරණය හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය (විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්‍ගය) සම්පාදනය කරන්නෙක් නොවේ.”
“මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්‍ණනා කරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මනාකොට පිළිපන්නේ වේද, හෙතෙම මනාකොට පිළිපැදීම් හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය (විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්‍ගය) සම්පාදනය කරන්නෙක් වේ.”
2. 1. 4. 10.
41. “මහණෙනි, යම් භික්‍ෂූහු වරදවා ගන්නා ලද්දාවූ, අකුරෙන් පමණක් සමානවූ, අර්ත්‍ථයෙන් අසමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අර්ත්‍ථයත්, පාළි ධර්‍මයක් ඉවත දමත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්‍ධර්‍මයද අතුරුදහන් කරන්නාහු වෙත්.”