2. 1. 4. 8.
[සැවැත් නුවර නිදානයි]
39. “මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි රජවරු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්‍මාන්තයන් පරීක්‍ෂා කිරීමට හෝ පහසු නොවෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි පාප භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි ප්‍රියශීලී භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි ප්‍රියශීලී භික්‍ෂූහු නිශ්ශබ්දවූවාහු, සඟ මැද තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. පසල් දනව් හෝ සොයා යත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ථය පිණිස, දෙව්මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස වේ.”
“මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්‍වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්‍මාන්තයන් පරීක්‍ෂා කරන්නට හෝ පහසු වෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි ප්‍රියශීලී භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු සඟ මැද අතිශයින් නිශ්ශබ්දව, තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. කොතැන්හි හෝ පලා යෙත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස වේ.”
2. 1. 4. 9.
40. “මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ මිත්‍යා ප්‍රතිපත්තිය වර්‍ණනා නොකරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපැදීමේ කාරණය හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය (විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්‍ගය) සම්පාදනය කරන්නෙක් නොවේ.”
“මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්‍ණනා කරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මනාකොට පිළිපන්නේ වේද, හෙතෙම මනාකොට පිළිපැදීම් හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය (විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්‍ගය) සම්පාදනය කරන්නෙක් වේ.”
2. 1. 4. 10.
41. “මහණෙනි, යම් භික්‍ෂූහු වරදවා ගන්නා ලද්දාවූ, අකුරෙන් පමණක් සමානවූ, අර්ත්‍ථයෙන් අසමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අර්ත්‍ථයත්, පාළි ධර්‍මයක් ඉවත දමත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්‍ධර්‍මයද අතුරුදහන් කරන්නාහු වෙත්.”
“මහණෙනි, යම් භික්‍ෂූහු මනාකොට ගන්නා ලද්දාවූ, ව්‍යඤ්ජනයෙන්ම නොව අර්ත්‍ථයෙන්ද සමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අර්ත්‍ථ කථාවද, පාළි ධර්‍මයද, සුදුසුසේ තබත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු තුමූ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ කුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්‍ධර්‍මය පිහිටුවත්. “
සතරවෙනි සමචිත්ත වර්‍ගය නිමි.
5. පිරිස් වර්‍ගය
2. 1. 5. 1.
[සැවැත් නුවර නිදානයි]
42. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: ප්‍රකටවූ (මතුපිට පෙණෙන) පිරිසද, ගැඹුරුවූ පිරිසද (යන දෙකයි).
“මහණෙනි, ප්‍රකටවූ පිරිස කවරේද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු වූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ ඇත්තාහු, චපල වූවාහු, ක්‍රූර වචන ඇත්තාහු, ප්‍රලාප වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥාව නැත්තාහු, එකඟ සිත් නැත්තාහු, විශේෂයෙන් කලබල සිත් ඇත්තාහු, සංවරයට නොපැමිණි ඉඳුරන් ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ වනාහි මතුපිටවූ (නොගැඹුරුවූ) පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, ගැඹුරුවූ පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු නොවූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ නැත්තාහු, චපල නොවූවාහු, රළු බස් නැත්තාහු, ප්‍රලාප වචන නැත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥා ඇත්තාහු, තැන්පත් සිත් ඇත්තාහු, එකඟවූ සිත් ඇත්තාහු, සංවරණය කරණ ලද ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ ගැඹුරු පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ ගැඹුරුවූ පිරිසක් වේද, මේ පිරිස ශ්‍රේෂ්ඨයි.”
2. 1. 5. 2.
43. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: වර්‍ගවූ අසමගි පිරිසද, සමගිවූ පිරිසද (යන දෙදෙනයි).
“මහණෙනි, වර්‍ගවූ පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ හටගත් ඩබර ඇත්තාහු, හටගත් කෝලාහල ඇත්තාහු, විරුද්‍ධ වාදයට පැමිණියාහු, එකිනෙකා වචන නමැති සැත්වලින් විදිමින් වාසය කොරත්ද, මහණෙනි, මේ වර්‍ගවූ පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, සමගි පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමගි වූවාහු, (එක්ව) සතුටු වූවාහු, විරුද්‍ධ වාද නොකරන්නාහු, කිරි හා ජලය මෙන් එක් වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කෙරෙත්ද, මහණෙනි, මේ සමගි පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ සමගි පිරිසක් වේද, එය ශ්‍රේෂ්ඨයි.”