2. 1. 4. 6.
37. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිර තෙම චරණ නම් නුවර, කද්දම නම් විල්තෙර වාසය කරයි. එකල්හි වනාහි ආරාමදණ්ඩ නම් බ්රාහ්මණ තෙම ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිරයන් වෙත පැමිණ සතුටු සාමීචි කථාකොට එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ ආරාමදණ්ඩ බමුණු මහාකච්ඡාන ස්ථවිරයන්ට මේ කරුණ සැළකළේය.
“භවත් කච්චායනයෙනි, යමක් හේතුකොටගෙන ක්ෂත්රියයෝත් ක්ෂත්රියයන් සමග විවාද කෙරෙත්ද, බ්රාහ්මණයෝත් බ්රාහ්මණයන් සමග විවාද කෙරෙත්ද, ගෘහපතියෝත් ගෘහපතියන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?
[මහා කච්චාන තෙරණුවෝ:]
බ්රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ හේතුකොටගෙණ, ක්ෂත්රියයෝත් ක්ෂත්රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත්, බමුණන් සමග විවාද කෙරෙති, ගහපතියෝත් ගහපතියන් සමග විවාද කෙරෙති.”
[ආරාමදණ්ඩ බ්රාහ්මණයා:]
“භවත් කච්චායනයෙනි, යමක් හේතුකොටගෙන ශ්රමණයෝත් ශ්රමණයන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?
[මහා කච්චාන තෙරණුවෝ:]
“බ්රාහ්මණය, දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ හේතු කොට ගෙන ශ්රමණයෝත්, ශ්රමණයන් සමග විවාද කෙරෙත්.”
[ආරාමදණ්ඩ බ්රාහ්මණයා:]
“භවත් කච්චායනයෙනි, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද? මෙම දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද?”
[මහා කච්චාන තෙරණුවෝ:]
“බ්රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද කිසිවෙක් ලෝකයෙහි ඇත්තේය.
[ආරාමදණ්ඩ බ්රාහ්මණයා:]
“භවත් කච්චායනයෙනි, මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද යම් කිසිවෙක් ලොව ඇත්නම් හෙතෙම කවරේද?”
[මහා කච්චාන තෙරණුවෝ:]
“බ්රාහ්මණය, පූර්වදිශා ජනපදයන්හි සැවැත් නම් නුවරෙක් ඇත. අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන් වහන්සේ එහි දැන් වාසය කරණ සේක. බ්රාහ්මණය, ඒ භාග්යවතුන් වහන්සේ වනාහි මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගියසේක.. මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේද ඉක්මගිය සේක.
මෙසේ කී කල්හි ආරාමදණ්ඩ නම් බ්රාහ්මණ තෙම හුනස්නෙන් නැගිටපියා, උතුරු සළුව එකස්කොට, දකුණු දණමඬල බිම ගසා භාග්යවතුන් වහන්සේ යම් දිසාවෙක්හිද, ඒ දිශාවට වැඳ නමස්කාරකොට (ඇඳිලි බැඳ) (මෙසේ) ප්රීතිවාක්යය පහළ කෙළේය. (කෙසේදයත්) “යම් ඒ භාග්යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය, මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගිය සේක්ද, ඒ භාග්යවත්, අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්යවත්, අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්යවත්, අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.