2. 1. 4. 1.
[සැවැත් නුවර නිදානයි]
32. “මහණෙනි, අසත්පුරුෂ භූමියද, සත්පුරුෂ භූමියද තොපට දේශනා කරන්නෙමි. ඒ අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්රකටකොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළ ගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය අසත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය සම්පූර්ණයෙන් අසත්පුරුෂ භූමි නම් වේ.”
“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි කළ උපකාර දන්නේ වෙයි. කළගුණ ප්රකටසේ දන්නේ වෙයි. යම් මේ කළ ගුණ දන්නා බවක්, ප්රකටසේ දන්නා බවක් වේද, මේ කාරණය සත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ දන්නා භාවයක් වේද, කළගුණ ප්රකටසේ දන්නා භාවයක් වේද, සම්පූර්ණයෙන් මේ කාරණය සත්පුරුෂ භූමි නම් වේ.”
2. 1. 4. 2.
33. “මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසු සේ කළගුණ සැළකීම නොකළ හැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්. තමන් දාකළ මවටද, ජනක පියාටද වෙත්. මහණෙනි, වර්ෂ සියයක් ආයු ඇත්තාවූ, වර්ෂ සියයක් ජීවත් වන්නාවූ (පුතෙක්) එක් අංශයකින් මව පෝෂණය කරන්නේද, එක් අංශයකින් පියා පෝෂණය කරන්නේද, හෙතෙම ඔවුන්ගේ ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන්, නෑවීමෙන්, අත් පා මැඩීම් කිරීමෙන් ඔවුන්ට උපස්ථාන කෙරේද, එකී දෙමව්පියෝ එහිම හුන්නාහු මල මූත්ර පහ කෙරෙත්ද, මහණෙනි, (එපමණකිනුදු) මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ නොවේමය.
“මහණෙනි, යම් පුත්රයෙක් මව් පිය දෙදෙනා බොහෝ සප්තවිධ රත්නයන් ඇත්තාවූ, මේ මහා පෘථුවියෙහි ඉසුරු බව හා අධිපති බව ඇත්තාවූ චක්රවර්ති රාජ්යයෙහි පිහිටුවන්නේද, එපමණකිනිදු මහණෙනි, මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ කළ ගුණ සලකන ලද්දේ හෝ නොවේමය. ඊට හේතු කවරේද? මහණෙනි, මව් පිය දෙදෙනා පුත්රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුන් වර්ධනය කරන්නෝය. පෝෂණය කරන්නෝය. මේ ලෝකය දක්වන්නෝය. එහෙයිනි.”
මහණෙනි, යමෙක් වනාහි ශ්රද්ධාව නැති මව්පියන් ශ්රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; දුස්සීල මව්පියන් සීල සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; මසුරු මව්පියන් ත්යාග සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; දුෂ්ප්රඥ මව්පියන් ප්රඥා සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; මහණෙනි, මෙපමණකින් මව්පියන්ට උපකාර කරන ලද්දේද වේ. පෙරළා උපකාර කරන ලද්දේද වේ. වැඩියෙන් උපකාර කරන ලද්දේද වේ.
2. 1. 4. 3.
34. ඉක්බිති එක්තරා බ්රාහ්මණයෙක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු සාමීචි කථා කොට එක් පසෙක උන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ බ්රාහ්මණ තෙම භාගයවතුන් වහන්සේට මේ කාරණය සැළකෙලේය: “භවත් ගෞතම තෙමේ කිනම් ලබ්ධි ඇත්තේද? කිනම් ප්රතිපත්තියක් ප්රකාශ කරන්නේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“බ්රාහ්මණය, මම ක්රියාවාදී වෙමි. අක්රියාවාදීද වෙමි.”
[බ්රාහ්මණයා:]
“භවත් ගෞතම තෙමේ කෙසේ නම් ක්රියාවාදීත් වේද, අක්රියාවාදීත් වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“බ්රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතයාගේද, වාග්දුශ්චරිතයාගේද, මනොදුශ්චරිතයාගේද, නොකටයුතු බව කියමි. නොයෙක් ආකාර ලාමකවූ අකුශලධර්මයන් නොකට යුතු බව කියමි. බ්රාහ්මණය, මම වනාහි කායසුචරිතයාගේද, වාක්සුචරිතයාගේද, මනොසුචරිතයාගේද, කිරීම කියමි. තුන් වැදෑරුම් වූ කුශලධර්මයන් කිරීම කියමි. බ්රාහ්මණය, මෙසේ මම වනාහි ක්රියාවාදීත් වෙමි, අක්රියාවාදීත් වෙමි”