2. 1. 4. 2.
33. “මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසු සේ කළගුණ සැළකීම නොකළ හැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්. තමන් දාකළ මවටද, ජනක පියාටද වෙත්. මහණෙනි, වර්‍ෂ සියයක් ආයු ඇත්තාවූ, වර්‍ෂ සියයක් ජීවත් වන්නාවූ (පුතෙක්) එක් අංශයකින් මව පෝෂණය කරන්නේද, එක් අංශයකින් පියා පෝෂණය කරන්නේද, හෙතෙම ඔවුන්ගේ ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන්, නෑවීමෙන්, අත් පා මැඩීම් කිරීමෙන් ඔවුන්ට උපස්ථාන කෙරේද, එකී දෙමව්පියෝ එහිම හුන්නාහු මල මූත්‍ර පහ කෙරෙත්ද, මහණෙනි, (එපමණකිනුදු) මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ නොවේමය.
“මහණෙනි, යම් පුත්‍රයෙක් මව් පිය දෙදෙනා බොහෝ සප්තවිධ රත්නයන් ඇත්තාවූ, මේ මහා පෘථුවියෙහි ඉසුරු බව හා අධිපති බව ඇත්තාවූ චක්‍රවර්ති රාජ්‍යයෙහි පිහිටුවන්නේද, එපමණකිනිදු මහණෙනි, මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ කළ ගුණ සලකන ලද්දේ හෝ නොවේමය. ඊට හේතු කවරේද? මහණෙනි, මව් පිය දෙදෙනා පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුන් වර්‍ධනය කරන්නෝය. පෝෂණය කරන්නෝය. මේ ලෝකය දක්වන්නෝය. එහෙයිනි.”
මහණෙනි, යමෙක් වනාහි ශ්‍රද්ධාව නැති මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; දුස්සීල මව්පියන් සීල සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; දුෂ්ප්‍රඥ මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයිද, පිහිටුවයිද, මනාව පිහිටුවයිද; මහණෙනි, මෙපමණකින් මව්පියන්ට උපකාර කරන ලද්දේද වේ. පෙරළා උපකාර කරන ලද්දේද වේ. වැඩියෙන් උපකාර කරන ලද්දේද වේ.
2. 1. 4. 3.
34. ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු සාමීචි කථා කොට එක් පසෙක උන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ බ්‍රාහ්මණ තෙම භාගයවතුන් වහන්සේට මේ කාරණය සැළකෙලේය: “භවත් ගෞතම තෙමේ කිනම් ලබ්ධි ඇත්තේද? කිනම් ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන්නේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදී වෙමි. අක්‍රියාවාදීද වෙමි.”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතම තෙමේ කෙසේ නම් ක්‍රියාවාදීත් වේද, අක්‍රියාවාදීත් වේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතයාගේද, වාග්දුශ්චරිතයාගේද, මනොදුශ්චරිතයාගේද, නොකටයුතු බව කියමි. නොයෙක් ආකාර ලාමකවූ අකුශලධර්‍මයන් නොකට යුතු බව කියමි. බ්‍රාහ්මණය, මම වනාහි කායසුචරිතයාගේද, වාක්සුචරිතයාගේද, මනොසුචරිතයාගේද, කිරීම කියමි. තුන් වැදෑරුම් වූ කුශලධර්‍මයන් කිරීම කියමි. බ්‍රාහ්මණය, මෙසේ මම වනාහි ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියාවාදීත් වෙමි”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙක් කොට මා දරණ සේක්වා.”
2. 1. 4. 4.
35. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය: “ස්වාමීනි.ලොව ඍැදැහැවතුන්ගේද දන් ලැබීමට සුදුස්සෝ කීදෙනෙක් වෙත්ද? කොතැන්හි හෙවත් කවර පුද්ගලයෙකුට දන්දිය යුතුදු?’
“ගෘහපතිය. දෙදෙනෙක් වනාහි ලොව දක්ෂිණාර්‍හයෝවෙත්. (එනම්) ශෛක්‍ෂපුද්ගල තෙමේද (සිල්වත් පෘථග්ජනයා සහ සෝවාන් පුද්ගලයා පටන් අර්‍හත් මාර්‍ගය පිළිපන් පුද්ගලයා), අශෛක්‍ෂ රහත් පුද්ගලතෙමේද (යන දෙදෙනයි.) ගෘහපතිය. මේ දෙදෙන වනාහි දන්දීමට සුදුස්සෝය. තවද මේ පුද්ගලයන් කෙරෙහි දානය දිය යුතුයි” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරා නැවත මේ ගාථාවද වදාළ සේක.
“මෙලොව (සප්තවිධ) ශෛක්‍ෂ පුද්ගල තෙමේද, අශෛක්‍ෂ පුද්ගල තෙමේද, දන් දෙන්නවුන්ගේ දන් පිළිගැනීමට සුදුස්සෝ වෙත්. ඔවුහු කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද ඎජු වූවෝය. දන් දෙන්නවුන්ට ඔවුහු පින් කෙතයි. එහි දෙන ලද්ද මහත් ඵල වේ.”
2. 1. 4. 5.
36. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මිගාරමාතු නම්වූ (විශාඛා) උපාසිකාව විසින් කරවා පිළිගන්වන ලද ප්‍රාසාදයෙහි වැඩ වාසය කෙරෙයි. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි, මහණෙනි,” කියා භික්‍ෂූන් ඇමතූයේය. ඒ භික්‍ෂූහු තුමූ, “ඇවැත්නි” කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම මෙසේ ප්‍රකාශ කෙළේය:
“ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇති පුද්ගලයාද (අධ්‍යාත්ම නම් කාම භවයෙහි ඡන්‍දරාගය ඇත්තාවූ පුද්ගලයාද) බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයාද (බහිද්ධා නම් රූපා රූප භවයන්හි ඡන්‍දරාග ඇත්තාවූ පුද්ගලයාද) ප්‍රකාශ කරන්නෙමි. ඒ ශ්‍රවණය කරව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” ඒ භික්‍ෂූහු තුමූ “එසේය, පින්වතුන් වහන්සැ” යි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම මෙසේ වදාළේය:
“ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇත්තාවූ පුද්ගල තෙම කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද, හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි අධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ, යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගල තෙමේයයි කියනු ලැබේ.