2. 1. 3. 8.
28. “මහණෙනි, මිසදිටු ගත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. නරකය හෝ තිරිසන් යෝනිය හෝ (යන දෙකින් එකකි.)”
2. 1. 3. 9.
29. “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දේව ගතිය හා මානුසික ගතිය (යන දෙකින් එකකි.)”
2. 1. 3. 10.
30. “මහණෙනි, දුශ්ශීල පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. (එනම්) නරකය හා තිරිසන් යෝනිය ය. “මහණෙනි, සිල්වත් පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. දෙව්ලොව හා මිනිස් ලොවය.”
2. 1. 3. 11.
31. “මහණෙනි, මම කරුණු දෙකක් බලමින් ආරණ්‍ය සේනාසනයන්ද, මනුෂ්‍ය වාසයෙන් තොරවූ තැන්හි සේනාසනයන්ද, ගම්වලින් ඉතා දුරින් පිහිටි සේනාසනයන්ද සෙවනය කරමි. කවර කරුණු දෙකක්ද යත්, මගේම මෙලොව සැප විහරණය හා පසුව ඇතිවෙන ජන සමූහයාහට අනුකම්පාවය. මහණෙනි, මම මේ කරුණු දෙක දකිමින් වනාන්තර වනපෙත් සහ දුර සෙනසුන් ඇසුරු කරමි.”
2. 1. 3. 12.
32. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් (මාර්‍ගඥානය නම්) විද්‍යාව භජනය කරන්නෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සමථය නම් හිතේ එකඟ භාවයද, විදර්‍ශනාව යයි කියන ලද සංස්කාර ඥානයද යන දෙදෙනයි. මහණෙනි, සමථය වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සම්පාදනය කරයිද? චිත්තය වැඩෙයි. (මාර්‍ග) චිත්තය වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සලසාද? යම් රාගයක්හි ඇලේද, ඒ රාගය පහවෙයි. “මහණෙනි, විදර්‍ශනාව වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සම්පාදනය කෙරේද? ප්‍රඥාව (මාර්ග ප්‍රඥාව) වැඩෙයි. ප්‍රඥාව වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සිද්‍ධ කෙරේද? යම් අවිද්‍යාවක් වේද, එය ප්‍රහීණ වෙයි. මහණෙනි, රාගයෙන් කිලුටු කරණ ලද්දාවූ සිතද (කෙලෙසුන් කෙරෙන්) නොමිදෙයි. අවිද්‍යාවෙන් කිලුටු කරණ ලද්දාවූ ප්‍රඥාවද නොවැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයෙහි නොඇලීමෙන් චිත්ත විමුක්තියද, (ඵල සමාධියද) අවිද්‍යා විරාගයෙන් ප්‍රඥා විමුක්තියද ඇතිවේ.”
තුන්වැනි බාල වර්‍ගය නිමි.
4. සමචිත්ත වර්‍ගය
2. 1. 4. 1.
[සැවැත් නුවර නිදානයි]
32. “මහණෙනි, අසත්පුරුෂ භූමියද, සත්පුරුෂ භූමියද තොපට දේශනා කරන්නෙමි. ඒ අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්‍රකටකොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළ ගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය අසත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය සම්පූර්‍ණයෙන් අසත්පුරුෂ භූමි නම් වේ.”