3. බාල වර්‍ගය
2. 1. 3. 1.
[සැවැත් නුවර නිදානයි]
21. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් නොදකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් නොපිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ වෙත්.”
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් දකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් පිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 1. 3. 2.
22. “මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: අභ්‍යන්තරයෙහි පිහිටි දොස් ඇත්තාවූ, ද්වේෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේද, නොමනාව ගන්නාලද බැවින් (නුවණ නැති) සැදැහැවත් පුද්ගල තෙමේද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”
2. 1. 3. 3.
23. “මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, මහණෙනි, මොහු දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”
“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”
2. 1. 3. 4.
24. “මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තය පමුණුවන ලද්දාවූ අර්ත්‍ථ විස්තර ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, යමෙක් අර්ත්‍ථ ඇති, විස්තර කියා දෙන ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්.”
2. 1. 3. 5.
25. “මහණෙනි, මේ දෙදෙනෙක් තුමූ තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තය විස්තර කියා දෙන ලද සූත්‍රාන්තයයි දක්වයිද, යමෙක් විස්තර කරණ ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තයයි දක්වයිද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”
2. 1. 3. 6.
26. “මහණෙනි, වැසුනාවූ හෙවත් පාප කර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. (එනම්) නරකය හා තිරිසන් යෝනිය (යන දෙකින් එකකි.)”
2. 1. 3. 7.
27. “මහණෙනි, (නොවැසුනාවූ) හෙවත් කුශලකර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දේව ගතිය හා මනුෂ්‍ය ගතිය (යන දෙකින් එකකි.)”
2. 1. 3. 8.
28. “මහණෙනි, මිසදිටු ගත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. නරකය හෝ තිරිසන් යෝනිය හෝ (යන දෙකින් එකකි.)”