2. 1. 2. 5.
15. “මහණෙනි, (විවාදාදී) අධිකරණයන් අතුරෙන් යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්ෂු තෙමේද, චොදක භික්ෂු තෙමේද මනාකොට තමාම (තමන්ගේ දෝෂය) පරීක්ෂා නොකෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා මෙය අවශ්යයෙන් විය යුතුයි. (එනම්) ඒ අධිකරණය දීර්ඝභාවයට, නපුරු බවට, කර්කශ භාවයට පැමිණෙන්නේය. භික්ෂූහු තුමූද සැපසේ වාසය නොකරන්නාහුය (යන මේ වශයෙනි.)
“මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්ෂු තෙමේද, චොදක භික්ෂු තෙමේද මනාකොට තුමූම තමන් පරීක්ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්ඝභාවයට, ක්රූරභාවයට, කර්කශ භාවයට නොපැමිණෙන්නේය. භික්ෂූහු තුමූද සැපසේ වාසය කරන්නාහුය යන මේ කාරණය අවශ්යයෙන් වන්නේය.
“මහණෙනි, ඇවතට පැමිණියාවූ භික්ෂුතෙම කෙසේ නම් තමන්ගේ දෝෂය පරීක්ෂා කෙරේද? වරදට පැමිණි මහණතෙම මෙසේ පරීක්ෂා කෙරෙයි: ‘මම වනාහි කායවාරයෙන් කිසියම් ලෙශමාත්රවූ ඇවතකට පැමිණියෙම්ද, කායවාරයෙන් කිසියම් ලෙශමාත්රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා ඒ (චොදක) භික්ෂුතෙම දුටුවේය. (ඉදින්) මම කාය ද්වාරයෙන් කිසියම් ලෙශ මාත්රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ මහණතෙම කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ මහණතෙම කායද්වාරයෙන් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා නොදක්නේය. යම් හෙයකින් වනාහි මම කායවාරයෙන් කිසියම් ස්වල්ප මාත්රවූ ඇවතකට පැමිණියෙම්ද, එහෙයින්ම ඒ මහණතෙම කයින් කිසියම් ස්වල්ප මාත්රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා දුටුවේය. ඒ භික්ෂුතෙම කයින් කිසියම් ලෙශමාත්රවූ ඇවතකට පැමිණෙන්නාවූ මා දැක නොසතුටු සිත් ඇත්තේ විය. නොසතුටු සිත් ඇත්තේම ඒ මහණතෙම නොසතුටු සිතින් යුත් වචන මට කීවේය. ඒ භික්ෂුව විසින් නොසතුටු සිතින් යුත් වචන කියන ලද්දාවූ මම නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයෙමි. මෙසේ ඒ අධිකරණයෙහිවූ අපරාධය තෙම මාම මැඩගෙන ඉක්මවා ගියේය. (කෙසේදයත්) තීරුව ගෙවිය යුතු තැන පසුකොට තීරුව නොගෙවා ගෙණ ගිය භාණ්ඩයක් නිසා තීරුව දිය යුතු අය (තමා කළ) ඒ අපරාධයෙන් මඩිනු ලබන්නාක් මෙනි.”
“මහණෙනි, මෙසේ ඇවතටද පැමිණියාවූ මහණතෙම මනාකොට තෙමේම පරීක්ෂා කෙරෙයි. මහණෙනි, චොදක භික්ෂු තෙමේ මනාකොට තෙමේම තමන් කෙසේ නම් පරීක්ෂා කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි චෝදක භික්ෂුතෙම මෙසේ පරීක්ෂා කෙරෙයි. (කෙසේද?) වරදකළ මේ භික්ෂුතෙම වනාහි කාය ද්වාරයෙන් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිණියේය. කයින් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිණෙන්නාවූ ඒ මේ මහණ (මම) දුටුයෙමි. මේ මහණතෙම කයින් කිසියම් ලෙශමාත්රවූ අකුශලයකට ඉදින් නොපැමිණියේ නම්, කයින් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිනෙන්නාවූ මේ මහණ (මම) නොදක්නෙමි. යම් හෙයකින් වනාහි මේ මහණතෙම කයින් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිණියේද, එහෙයින්ම කයින් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මේ මහණ (මම) දුටුයෙමි. කයින් කිසියම් ලේශමාත්රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මේ මහණ දැක (මම) නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම මම මේ මහණහුට නොසතුටු සිතින් යුත් වචන කීයෙමි. මේ මහණතෙම විසින් නොසතුටු තෙපුල් කියනලද්දේම නොසතුටු සිත් ඇත්තෙක් වූයේය. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයේය. මෙසේ භාණ්ඩයක් නිසා (වරදට පැමිණි) සුංවත් දෙන්නෙකු මැඩගෙණ (තමා කළ අපරාධය) යන්නාක් මෙන් මා කළ දෙයෙහි දෝෂය මා ම මැඩගෙණ සිටියේය’ කියායි. “මහණෙනි, මෙසේ චොදක භික්ෂු තෙම (වනාහි) තමාම තමන් ප්රත්යවෙක්ෂා කෙරෙයි.
“මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි (ඇවැත්) භික්ෂුතෙමේද, චොදක භික්ෂුතෙමේද, මනාකොට තමාම තමන් ප්රත්යවෙක්ෂා නොකරත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්ඝභාවයට, රළුබස් ඇතිබවට, අතින් පයින් පහරදීම් ආදියට පැමිනෙන්නේයයිද, භික්ෂු තුමූත් සැපසේ වාසය නොකරන්නාහුයයිද අවශ්යයෙන් බලාපොරොත්තු විය යුතුයි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්ෂු තෙමේද, චොදක භික්ෂු තෙමේද, මනාකොට තුමූද තමන් ප්රත්යවෙක්ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්ඝභාවයට, රළුබස් ඇති බවට, අත් පා ආදියෙන් පහරදීම් ආදී කර්කශ භාවයට නොපැමිණෙන්නේයයිද, භික්ෂූහුත් සැපසේ වාසය කරන්නාහුයයිද, අවශ්යයෙන් බලාපොරොත්තු විය යුතුයි.”