2. 1. 2. 6.
16. එකල්හි (නාම ගොත්‍රයෙන් අප්‍රසිද්‍ධවූ) එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ (සතුටුසාමීචි) කථාව ඉවරකොට, එකත් පසෙක හුන්නාවූ ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව යමක් හේතුකොටගෙණ ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපදිත් නම්, ඒ හේතුව කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බ්‍රාහ්මණය, අධර්‍මචර්‍ය්‍යාව හේතුකොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතමයන් වහන්ස, එසේනම් යමක් හේතුකොටගෙණ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත් නම්, ඒ හේතු කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බ්‍රාහ්මණය, ධර්‍මචර්‍ය්‍යා නම් සමචර්‍ය්‍යාව හේතුකොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති නම් ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතමයන් වහන්ස, (නුඹ වහන්සේගේ දේශනාව) ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.”
2. 1. 2. 7.
17. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ (සතුටු සාමීචි) කථාව ඉවරකොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ඒ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, මෙලොව යමක් හේතුකොටගෙණ ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපදිත් නම්, ඒ හේතුව කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතමයන් වහන්ස, එසේනම් යමක් හේතුකොටගෙණ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත් නම්, ඒ හේතු කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, සුගති නම්වූ, ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතමයන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අර්ත්‍ථය විභාග නොකරණ ලද්දාවූ, මේ ධර්‍මයාගේ අර්‍ථය විස්තර වශයෙන් මම නොදනිමි. භවත් ගෞතමයන් වහන්නේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අර්ත්‍ථය විභාග නොකරණ ලද්දාවූ, මේ ධර්‍මයාගේ අර්ත්‍ථය විස්තර වශයෙන් යම්සේ මම දැනගනිම්ද, ඒ භවත් ගෞතම තෙම මට ධර්‍මය දේශනා කරණ සේක් නම් ඒ ඉතා මැනව.”
“බ්‍රාහ්මණය, එසේවීනම් අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි.” ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ, “පින්වතුන් වහන්ස, එසේ යහපතැ” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවත් තෙමේ මේ වදාළසේක.
“බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද. කාය සුචරිතය නොකරණ ලද්දේ වේද. වාග් දුශ්චරිතය කරණ ලද්දේ වේද. වාග් සුචරිතය නොකරණ ලද්දේ වේද. මනෝ දුශ්චරිතය කරණලද්දේ වේද. මනෝ සුචරිතය නොකරණ ලද්දේ වේද. බ්‍රාහ්මණය. මෙසේ වනාහි කළ බැවින්ද නොකළ බැවින්ද මෙඍේ මෙලොව ඇතැම් ඍත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ නිරයෙහි උපදිත්.
බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙකු විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද. කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. වාග් සුචරිතය කරණ ලද්දේ වේද. වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. මනෝ සුචරිතය කරණලද්දේ වේද. මනෝ දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. බ්‍රාහ්මණය. එපරිද්දෙන් කරණ ලද හෙයින්ද, නොකරණ ලද හෙයින්ද, මෙඍේ මෙලොව ඇතැම් ඍත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්‍ග නම්වූ, ලෝකයෙහි උපදිත්.”
[බ්‍රාහ්මණයා:]
“භවත් ගෞතමයන් වහන්ස, (නුඹ වහන්සේගේ දේශනාව) ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද කරණ යෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.”
2. 1. 2. 8.
18. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවත් බුදුරජ යම් තැනෙක්හිද, එහි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ආනන්‍දය, කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි මම කියමි.”