2. 1. 1. 6.
6. සඤ්ඤොජනීය සූත්‍රය
6. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ (ඉපදීමසට හේතුවූ), ධර්මයන් කෙරෙහි යම්බඳුවූ පස්කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවයක් වේද, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ ධර්මයන් කෙරෙහි යම්බඳුවූ (කළකිරීම්) උකටලීම් වශයෙන් දක්නා ස්වභාවයක් වේද (යන මේ දෙදෙනයි.)
“මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් පස් කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවය ඇතිව වාසය කරණ තැනැත්තේ රාගය දුරු නොකරයි. ද්වේෂය දුරු නොකරයි. මෝහය දුරු නොකරයි. රාගය දුරු නොකොට, ද්වේෂය දුරු නොකොට, මෝහය දුරු නොකොට, ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සොකයෙන්ද, වැළපීම්වලින්ද, කායක දුක්ඛයන්ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද, දැඩි ආයාසයන්ගෙන්ද නොමිදෙයි. (හෙතෙම) සසර දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් නිර්‍වෙද වශයෙන් දක්නා සුළුව වාසය කරණ තැනැත්තේ රාගය දුරු කරයි, ද්වේෂය දුරු කරයි, මෝහය දුරු කරයි. රාගය දුරු කොට, ද්වේෂය දුරුකොට, මෝහය දුරුකොට, ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුඃඛයන්ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද, දැඩි ආයාසයන්ගෙන්ද මිදෙයි. (හෙතෙම) සසර දුකින් මිදේයයිද කියමි. මහණෙනි, මෙසේවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්.”
2. 1. 1. 7.
7. කණ්හ සූත්‍රය
7. “මහණෙනි, කළුවූ, අකුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්. (පව් කිරීමෙහි) ලජ්ජා රහිත භාවයද, (පව් කිරීමෙහි) බිය නොවන භාවයද වෙත්. මහණෙනි, මේ ධර්ම දෙක කළුවූ ධර්මයෝයි.”
2. 1. 1. 8.
8. සුක්ක සූත්‍රය
8. “මහණෙනි, සුදුවූ, කුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්, (පව් කිරීමෙහි) ලජ්ජාවද, (පව් කිරීමෙහි) බියද, යන දෙදෙනයි. මහණෙනි, මේ ධර්ම දෙක සුදුවූ ධර්මයෝ වෙත්.”
2. 1. 1. 9.
9. චරියා සූත්‍රය
9. “මහණෙනි, මේ සුදුවූ කුසල් ධර්‍මයෝ දෙදන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද? ලජ්ජාවද, බියද (යන දෙකයි.) මහණෙනි, මේ සුදුවූ කුසල ධර්ම දෙක ලොව පාලනය නොකරන්නාහු නම්, මෙහි වැදු මව කියා හෝ, කුඩා මව කියා හෝ, නැන්දනිය කියා හෝ, ගුරුවරයාගේ භාර්‍ය්‍යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යාවය කියා හෝ නොපෙණෙන්නේය. ලෝ වැසි තෙම එළුවන්, බැටළුවන් මෙන්ද, කුකුළන්, ඌරන් මෙන්ද, බලු, හිවලුන් මෙන්ද සංකරයට පැම්ණෙන්නේය. මහණෙනි, යම් හෙයකින් මේ සුදුවූ කුසල් ධර්ම දෙක ලෝකයා පාලනය කෙරෙත්ද, එහෙයින් මව කියා හෝ, කුඩා මව කියා හෝ, නැන්දනිය කියා හෝ, ගුරුවරයාගේ භාර්‍ය්‍යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාර්‍ය්‍යාව කියා හෝ හැඟීමක් ඇතිවන්නේය.”
2. 1. 1. 10.
10. වස්සූපනායික සූත්‍රය
10. “මහණෙනි, මේ වස් එළඹීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, පෙරවස් එළඹීමද, පසු වස් එළඹීමද යන දෙකයි. මහණෙනි, මේ දෙක වස් එළඹීම් වෙති.”
පළමුවෙනි කම්මකාරණ වර්‍ගය නිමි.
එහි උද්දානය:
වජ්ජ, පධාන, තපනීය හා අතපනීය සූත්‍රද, පස්වැන්න උපඤ්ඤාත සූත්‍රයද, සඤ්ඤොජන, කණ්හ, සුක්ක, චරියා සහ වස්සූපනායික සූත්‍රයෙන් වර්ගය නිමියේය.