2. 1. 1. 7.
7. කණ්හ සූත්රය
7. “මහණෙනි, කළුවූ, අකුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්. (පව් කිරීමෙහි) ලජ්ජා රහිත භාවයද, (පව් කිරීමෙහි) බිය නොවන භාවයද වෙත්. මහණෙනි, මේ ධර්ම දෙක කළුවූ ධර්මයෝයි.”
2. 1. 1. 8.
8. සුක්ක සූත්රය
8. “මහණෙනි, සුදුවූ, කුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්, (පව් කිරීමෙහි) ලජ්ජාවද, (පව් කිරීමෙහි) බියද, යන දෙදෙනයි. මහණෙනි, මේ ධර්ම දෙක සුදුවූ ධර්මයෝ වෙත්.”
2. 1. 1. 9.
9. චරියා සූත්රය
9. “මහණෙනි, මේ සුදුවූ කුසල් ධර්මයෝ දෙදන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද? ලජ්ජාවද, බියද (යන දෙකයි.) මහණෙනි, මේ සුදුවූ කුසල ධර්ම දෙක ලොව පාලනය නොකරන්නාහු නම්, මෙහි වැදු මව කියා හෝ, කුඩා මව කියා හෝ, නැන්දනිය කියා හෝ, ගුරුවරයාගේ භාර්ය්යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාර්ය්යාවය කියා හෝ නොපෙණෙන්නේය. ලෝ වැසි තෙම එළුවන්, බැටළුවන් මෙන්ද, කුකුළන්, ඌරන් මෙන්ද, බලු, හිවලුන් මෙන්ද සංකරයට පැම්ණෙන්නේය. මහණෙනි, යම් හෙයකින් මේ සුදුවූ කුසල් ධර්ම දෙක ලෝකයා පාලනය කෙරෙත්ද, එහෙයින් මව කියා හෝ, කුඩා මව කියා හෝ, නැන්දනිය කියා හෝ, ගුරුවරයාගේ භාර්ය්යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාර්ය්යාව කියා හෝ හැඟීමක් ඇතිවන්නේය.”
2. 1. 1. 10.
10. වස්සූපනායික සූත්රය
10. “මහණෙනි, මේ වස් එළඹීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, පෙරවස් එළඹීමද, පසු වස් එළඹීමද යන දෙකයි. මහණෙනි, මේ දෙක වස් එළඹීම් වෙති.”
පළමුවෙනි කම්මකාරණ වර්ගය නිමි.
එහි උද්දානය:
වජ්ජ, පධාන, තපනීය හා අතපනීය සූත්රද, පස්වැන්න උපඤ්ඤාත සූත්රයද, සඤ්ඤොජන, කණ්හ, සුක්ක, චරියා සහ වස්සූපනායික සූත්රයෙන් වර්ගය නිමියේය.
2. අධිකරණ වර්ගය
2. 1. 2. 1.
[සැවැත් නුවර නිදානයි]
11. “මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙකයි. “මහණෙනි, පරීක්ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්ෂාකිරීමේ බලයයි කියනු ලැබේ. “මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ බල දෙක අතුරෙන් යම් මේ භාවනා බලයක් වේද. මේ බලය (අර්හත්වයට නොපැමිණ සෝවාන් ආදී මාර්ගයන්හි හැසිරෙන) ශෛක්ෂයන් සම්බන්ධ ඥානබලය වේ. මහණෙනි, හෙතෙම ශෛක්ෂ බලය නිසා රාගය දුරුකරයි. ද්වේෂය දුරුකරයි. මෝහය දුරුකරයි. රාගය දුරුකොට, ද්වේෂය දුරුකොට, මෝහය දුරුකොට, යමක් අකුසල් වේද, එය නොකෙරෙයි. යමක් පව් වේද, එය සේවනය නොකෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු දෙදෙන වනාහි භාවනා බලයෝ වෙති.”
2. 1. 2. 2.
12. “මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි. “මහණෙනි, පරීක්ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය තෙම මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්ෂාකිරීමේ බලයයි කියනු ලැබේ. “මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ස්මෘති සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ධර්මවිචය සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ වීර්ය්යය සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ප්රීති සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ පස්සද්ධි සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ සමාධි සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ උපෙක්ෂා සම්බොධ්යාඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. “මහණෙනි, මොහු වනාහි බලයෝ දෙදෙන වෙත්.