2. 1. 1. 1.
1. වජ්ජ සූත්රය
1. “මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි, භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මේ දෙදෙන දෝෂ (අපරාධ) යෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, මේ ආත්මයෙහි උපදින විපාක ඇති (දෘෂ්ටධර්මක) දෝෂයද, පරලෙව්හි උපදින විපාක ඇති (සම්පරායික) දෝෂයද (යන දෙකයි.) “මහණෙනි, දෘෂ්ටධර්මික දෝෂය කවරේද? “මහණෙනි, මෙලොව රජවරු (නිලධාරීහු) අපරාධකාරීවූ සොරෙකු අල්වාගෙන නොයෙක් කම්කටුළු කරවත්නම් (එබඳු සොරා) ඇතැමෙක් දකී. “(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. (ඔහුගේ) අතද, සිඳිත්. පයද කපත්. අත්පාද සිඳිත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හිස් කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්. හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහක් දැල්වීමද කරත්. තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්. අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම් උපුටා යොතින් බැඳ ඇදීමද කරත්. බෙල්ල පටන් කටිය දක්වාද, කටිය පටන් ගොප් මස දක්වාද සම උගුළුවා, වැහැරි සිවුරක් සේ පැළඳවීමද කරත්. දෙ දණ, දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්. මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්. භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්. සිවි සම නොසිඳෙන සේ දාගලින් ඇට සුනු කොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළාදැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්. බල්ලන් ලවාද කවත්. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. “මේ කම්කටොලු දක්නා තැනැත්තාහට මෙබඳු සිතක් වෙයි. “ලාමකවූ (පාප) කර්මයන්ගේ හේතුවෙන්, මහණෙනි, මෙලොව රජවරු (නිලධාරීහු) අපරාධකාරීවූ සොරෙකු අල්වාගෙන නොයෙක් කම්කටුළු කරවත්නම් (එබඳු සොරා) ඇතැමෙක් දකී. “(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. (ඔහුගේ) අතද, සිඳිත්. පයද කපත්. අත්පාද සිඳිත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හිස් කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්. හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහන් දැල්වීමද කරත්. තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්. අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම් උපුටා යොතින් බැඳ ඇදීමද කරත්. බෙල්ල පටන් කටිය දක්වාද, කටිය පටන් ගොප් මස දක්වාද සම උගුළුවා, වැහැරි සිවුරක් සේ පැළඳවීමද කරත්. දෙ දණ, දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්. මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්. භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්. සිවි සම නොසිඳෙන සේ දාගලින් ඇට සුනු කොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළාදැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්. බල්ලන් ලවාද කවත්. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. “මමද මෙබඳුවූ පාප කර්මයක් කරන්නේ නම් මා ද රජවරු ගෙණ මෙබඳුවූ නා නා ප්රකාරවූ කම්කටුළු කරවන්නහුය. “(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. (ඔහුගේ) අතද, සිඳිත්. පයද කපත්. අත්පාද සිඳිත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හිස් කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්. හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහන් දැල්වීමද කරත්. තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්. අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම් උපුටා යොතින් බැඳ ඇදීමද කරත්. බෙල්ල පටන් කටිය දක්වාද, කටිය පටන් ගොප් මස දක්වාද සම උගුළුවා, වැහැරි සිවුරක් සේ පැළඳවීමද කරත්. දෙ දණ, දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්. මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්. භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්. සිවි සම නොසිඳෙන සේ දාගලින් ඇට සුනු කොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළාදැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්. බල්ලන් ලවාද කවත්. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්. “හෙතෙම මේ ආත්මයෙහි විපාක දෙන දෝෂයට බියවූයේ අනුන්ගේ බඩු පැහැර ගනිමින් නොහැසිරෙයි. මහණෙනි, මේ මේ ආත්මයෙහි විපාකදෙන දෝෂයයි කියනු ලැබේ.
“මහණෙනි, පරලොව විපාක ඇත්තාවූ දෝෂය කවරේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙසේ නුවණින් සලකා බලයි. (කෙසේද) ‘කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මම වනාහි කයින් දුශ්චරිත කරන්නෙම්නම්, වචනයෙන් දුශ්චරිත කරන්නෙම් නම්, සිතින් දුශ්චරිත කරන්නෙම් නම්, යම් හෙයකින් මම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ, විකාරව වැටෙන්නාවූ නරකයෙහි නූපදින්නෙමි නම්, එසේ වීමට කිනම් කරණයක් ඇද්ද, හෙතෙම (මෙසේ) සලකා පරලෙව්හි විපාක ඇති දෝෂය ගැන බියපත්වූයේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්මයක් පරිහරණය කෙරෙයි. “මහණෙනි, මේ පරලෙව්හි විපාක ඇති දෝෂයයි කියනු ලැබේ. මහණෙනි, මේ දෙක වනාහි දෝෂයෝ වෙත්. මහණෙනි, එහෙයින් මේ කාරණයෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මේ ආත්මභාවයෙහි විපාක ඇත්තාවූ දෝෂයට බියවන්නෙමු. පරලොවෙහි විපාක ඇත්තාවූ දෝෂයට බිය වන්නෙමු. වරදට බියවන ස්වභාව ඇත්තෝ වරදෙහි බිය දක්නා ස්වභාව ඇත්තෝ වන්නෙමු’ යි (කියායි.) “මහණෙනි, තොප විසින් මෙසේ හික්මියයුතුයි. මහණෙනි, වරදෙහි බියවන සුළුවූ, වරදෙහි බිය දක්නා සුළුවූ තැනැත්තෝ සියලු වරදින් මිදෙත් යන මේ කාරණය අවශ්යයෙන් සිදුවිය යුත්තෙකි.
2. 1. 1. 2.
2. පධාන සූත්රය
2. “මහණෙනි, ලොව ලබාගැනීමට දුෂ්කරවූ මේ වීර්ය්යයෝ දෙදෙනෙක් වෙත්. ඒ කවර දෙදෙනෙක්ද යත්, ගිහිගෙයි වාසය කරන්නාවූ ගිහියන් විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් (වාසස්ථාන), ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේ පසය සපයාගනු පිණිස යම් වීර්ය්යයක් වේනම් (එයද) ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූවන්ගේ සියලු ආශාවන්ගේ බැහැරලීමයයි කියනලද නිර්වාණය පිණිස යම් වීර්ය්යයකුත් වේ නම් එයද (යන මේ දෙකයි.) “මහණෙනි, ලොව මේ වීර්ය්යය දෙක වනාහි ලබා ගැනීමට දුෂ්කර වෙත්. මහණෙනි, මේ වීර්ය්ය දෙක අතුරෙන් යම් මේ සියලු ආසාවන්ගේ දුරලීම පිණිස වීර්ය්යයක් වේද, මෙය අග්රයි. මහණෙනි, එහෙයින් මේ කරුණෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) (ස්කන්ධාදී) සියලු ආසාවන්ගේ බැහැරලීම පිණිස වීර්ය්යය කරන්නෙමු (යි කියායි.) මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
2. 1. 1. 3.
3. තපනීය සූත්රය
3. “මහණෙනි, (සිත්) තැවීම කරන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. ඒ දෙදෙන කවරහුද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද, කාය සුචරිතය නොකරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය කරණ ලද්දේ වේද, වාග් සුචරිතය නොකරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය කරණ ලද්දේ වේද, මනො සුචරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ‘මා විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේය’ යි තැවෙයි. ‘කාය සුචරිතය මවිසින් නොකරණ ලද්දේයය’ යි තැවෙයි. ‘වාග් දුශ්චරිතය මවිසින් කරණ ලද්දේය’ යි තැවෙයි. වාග් සුචරිතය මවිසින් නොකරණ ලද්දේය’ යි තැවෙයි. ‘මනො දුශ්චරිතය කරණ ලද්දේය’ යි තැවෙයි. මනො සුචරිතය නොකරණ ලද්දේය’ යි තැවෙයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි තැවීම කරන්නෝය.”
2. 1. 1. 4.
4. අතපනීය සූත්රය
4. “මහණෙනි, (සිත්) තැවීම් නොකරන්නාවූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනක්ද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙක් විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද, කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, වාක් සුචරිතය කරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනො සුචරිතය කරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ‘මවිසින් කාය සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් කාය දුශ්චරිතය නොකරණ ලද්දේයය’ යි නොතැවෙයි. ‘මවිසින් වාක් සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් වාග් දුශ්චරිතය නොකරණ ලද්දේය’ යි. නොතැවෙයි. ‘මවිසින් මනො සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් මනො දුශ්චරිතය නොකරණ ලද්දේය’ යි නොතැවෙයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි තැවීම නොකරන්නෝ වෙත්.”