2. 1. 1. 2.
2. පධාන සූත්‍රය
2. “මහණෙනි, ලොව ලබාගැනීමට දුෂ්කරවූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙනෙක් වෙත්. ඒ කවර දෙදෙනෙක්ද යත්, ගිහිගෙයි වාසය කරන්නාවූ ගිහියන් විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් (වාසස්ථාන), ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේ පසය සපයාගනු පිණිස යම් වීර්‍ය්‍යයක් වේනම් (එයද) ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූවන්ගේ සියලු ආශාවන්ගේ බැහැරලීමයයි කියනලද නිර්‍වාණය පිණිස යම් වීර්‍ය්‍යයකුත් වේ නම් එයද (යන මේ දෙකයි.) “මහණෙනි, ලොව මේ වීර්‍ය්‍යය දෙක වනාහි ලබා ගැනීමට දුෂ්කර වෙත්. මහණෙනි, මේ වීර්‍ය්‍ය දෙක අතුරෙන් යම් මේ සියලු ආසාවන්ගේ දුරලීම පිණිස වීර්‍ය්‍යයක් වේද, මෙය අග්‍රයි. මහණෙනි, එහෙයින් මේ කරුණෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) (ස්කන්‍ධාදී) සියලු ආසාවන්ගේ බැහැරලීම පිණිස වීර්‍ය්‍යය කරන්නෙමු (යි කියායි.) මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
2. 1. 1. 3.
3. තපනීය සූත්‍රය
3. “මහණෙනි, (සිත්) තැවීම කරන්නාවූ මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. ඒ දෙදෙන කවරහුද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද, කාය සුචරිතය නොකරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය කරණ ලද්දේ වේද, වාග් සුචරිතය නොකරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය කරණ ලද්දේ වේද, මනො සුචරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ‘මා විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේය’ යි තැවෙයි. ‘කාය සුචරිතය මවිසින් නොකරණ ලද්දේයය’ යි තැවෙයි. ‘වාග් දුශ්චරිතය මවිසින් කරණ ලද්දේය’ යි තැවෙයි. වාග් සුචරිතය මවිසින් නොකරණ ලද්දේය’ යි තැවෙයි. ‘මනො දුශ්චරිතය කරණ ලද්දේය’ යි තැවෙයි. මනො සුචරිතය නොකරණ ලද්දේය’ යි තැවෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන වනාහි තැවීම කරන්නෝය.”
2. 1. 1. 4.
4. අතපනීය සූත්‍රය
4. “මහණෙනි, (සිත්) තැවීම් නොකරන්නාවූ මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනක්ද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙක් විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද, කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, වාක් සුචරිතය කරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනො සුචරිතය කරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ‘මවිසින් කාය සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් කාය දුශ්චරිතය නොකරණ ලද්දේයය’ යි නොතැවෙයි. ‘මවිසින් වාක් සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් වාග් දුශ්චරිතය නොකරණ ලද්දේය’ යි. නොතැවෙයි. ‘මවිසින් මනො සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් මනො දුශ්චරිතය නොකරණ ලද්දේය’ යි නොතැවෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන වනාහි තැවීම නොකරන්නෝ වෙත්.”
2. 1. 1. 5.
5. උපඤ්ඤාත සූත්‍රය
5. “මහණෙනි, මම ධර්‍මයන් දෙදෙනෙක් අවබෝධ කෙළෙමි. කුශල ධර්‍මයන්හි යම් නොසතුටු බවක් වේද, පව් නැසීමට කරනු ලබන වීර්‍ය්‍යයෙහි යම් නොපසුබස්නා බවක් වේද, මහණෙනි, මම නොපසුබස්නා වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍ය කරමි. (කෙසේද?) “ඒකාන්තයෙන් ශරීරයෙහි සමද, නහරද, ඇටද ඉතිරි වේවා’. මස් හා ලේ වියලේවා’. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්‍ය්‍යයාගේ තැවීමක් නොවන්නේය. “මහණෙනි, එසේ වූ මා විසින් සම්‍යක් සම්බොධිය අප්‍රමාදය නිසා අවබෝධ කරණ ලද්දීය. නිරුත්තරවූ යොගක්‍ෂෙමසංඛ්‍යාත නිර්‍වාණය අප්‍රමාදයෙන් අවබෝධ කරණ ලද්දේය.
30. “මහණෙනි, ඒකාන්තයෙන් සිරුරෙහි සමද, නහරද, ඇටද ඉතිරිවේවා.’ මස් හා ලේ වියලේවා.’ පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, යම් ගුණ සමූහයකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්‍ය්‍යයාගේ තැවීමක් නොවන්නේය’ (යිද කියා). 31. “ඉදින් තෙපිද නොපසුබස්නා වීර්‍ය්‍යය කරන්නහු නම්, මහණෙනි, කුලපුත්‍රයෝ යම් ප්‍රයෝජනයක් ලබනු පිණිස මනාකොටම ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙත්ද, තෙපිත් (මග) බඹසර කෙළවරකොට ඇති උත්තරීතරවූ ඒ (අර්‍හත්‍වය) නොබෝ කලකින්ම, මේ ආත්ම භාවයෙහිම තෙපිම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ, ඊට පැමිණ වාසය කරන්නාහුය.
මහණෙනි, එහෙයින් මේ කරුණෙහිලා (තොප විසින්) මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ඒකාන්තයෙන් ශරීරයෙහි සමද, නහරද, ඇටද ඉතිරිවේවා.’. මස් හා ලේ වියලේවා’. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්‍ය්‍යයාගේ නැවැත්ම නොවන්නේය (යි සිතා) නොපසුබස්නා වීර්‍ය්‍යය කරන්නෙමුය’ යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
2. 1. 1. 6.
6. සඤ්ඤොජනීය සූත්‍රය
6. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ (ඉපදීමසට හේතුවූ), ධර්මයන් කෙරෙහි යම්බඳුවූ පස්කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවයක් වේද, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ ධර්මයන් කෙරෙහි යම්බඳුවූ (කළකිරීම්) උකටලීම් වශයෙන් දක්නා ස්වභාවයක් වේද (යන මේ දෙදෙනයි.)
“මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් පස් කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවය ඇතිව වාසය කරණ තැනැත්තේ රාගය දුරු නොකරයි. ද්වේෂය දුරු නොකරයි. මෝහය දුරු නොකරයි. රාගය දුරු නොකොට, ද්වේෂය දුරු නොකොට, මෝහය දුරු නොකොට, ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සොකයෙන්ද, වැළපීම්වලින්ද, කායක දුක්ඛයන්ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද, දැඩි ආයාසයන්ගෙන්ද නොමිදෙයි. (හෙතෙම) සසර දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් නිර්‍වෙද වශයෙන් දක්නා සුළුව වාසය කරණ තැනැත්තේ රාගය දුරු කරයි, ද්වේෂය දුරු කරයි, මෝහය දුරු කරයි. රාගය දුරු කොට, ද්වේෂය දුරුකොට, මෝහය දුරුකොට, ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුඃඛයන්ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද, දැඩි ආයාසයන්ගෙන්ද මිදෙයි. (හෙතෙම) සසර දුකින් මිදේයයිද කියමි. මහණෙනි, මෙසේවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්.”