11. 2. 6.
අට්ඨකනාගර සූත්රය
එක් කාලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම විසාලා මහනුවර, බේලුව නම් ගමෙහි වාසය කරයි. එකල්හි වනාහි අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, කිසියම් කටයුත්තක් සඳහා පැළලුප් නුවර පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, කුක්කුටාරාමය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්ෂුහට මෙය කීයේය. “ස්වාමිනි, කොහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙකල්හි වාසය කෙරේද? ස්වාමිනි, අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දකිනු කැමැත්තෙම්හ” යි “ගෘහපතිය, මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ විසල් නුවර බේලුව නම් ගමෙහි වාසය කෙරේ” යි කීයේය.
ඉක්බිති අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, පැළලුප් නුවර ඒ කටයුත්ත නිමවා විසල් පුර බේලුව නම් ගම යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, ආයුෂ්මත් අනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුනාවූ හෝ සිත කෙලෙසුන් කෙරෙන් මිදේද? ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ හෝ උතුම්වූ නිවණට අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියලු ධර්මයන් දක්නාවූ, අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, ඒ භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට ප්රකාශ කරණ ලද්දාවූ එක් ධර්මයක් ඇත්තේදැ” යි ඇසීය.
“ගෘහ පතිය, යම් ධර්මයෙක්හි අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුණාවූ සිත හෝ කෙළෙසුන් කෙරෙන් මිදේද, ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂය වීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියලු ධර්මයන් දක්නාවූ, අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, ඒ භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද්දාවූ, එක් ධර්මයෙක් ඇතැ” යි කීයේය.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්රමාදව, කෙළෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙළෙසුන්ගෙන් මිදේද, ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂයවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, ඒ භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණ ලද්දාවූ, එක් ධර්මය තෙම කවරේදැ” යි ඇසිය.
“ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවන ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. මේ ප්රථම ධ්යානයද වනාහි අභිසංස්කරණය කරණ ලද්දක්ය. සිතින් නිපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි රැස්කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්යය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැන ගණියි. හෙතෙම එහි පිහිටියේ, ආශ්රවයන් නැසීමට පැමිණෙයි. ඉදින් ආශ්රවයන් නැසිමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහිවූ රාගයෙන්ම, ඒ ධර්මයෙහි වු සතුටෙන්ම, ඔරම්භාගීය සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකවූයේ, එහි පිරිණිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරළ නොඑන ස්වභාව ඇත්තේ වෙයි.
ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙලෙසුන්ගෙන් මිදේද? ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, ඒ භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට ප්රකාශ කරණ ලද්දාවූ මේ ධර්මය තෙමේද එක් ධර්මයක් වේය” යි කීයේය.
නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, භික්ෂු තෙම විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තමා කෙරෙහි පැහැදිම ඇත්තාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, දෙවන ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුත්ර්ථ ධ්යානයට පැමිණ වෙසේද, සතරවන ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සළකයි. මේ සතරවන ධ්යානයද වනාහි රැස්කරණ ලද්දක. සිතින් නිපදවන ලද්දක. යම් කිසිවක් වනාහි රැස්කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්යය, නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැන ගණියි. හෙතෙම එහි පිහිටියේ, ආශ්රවයන් නැසීමට පැමිණෙයි. ඉදින් ආශ්රවයන් නැසිමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම, ඒ ධර්මයෙහි සතුටින්ම, ඔරම්භාගීයවූ සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකවූයේ, එහි පිරිණිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන ස්වභාවය ඇත්තේ වෙයි.
ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්රමාදව, කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන භික්ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙලෙසුන්ගෙන් මිදේද? ක්ෂය නොවූ ආශ්රව හෝ ක්ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ උතුම්වූ නිවණට හෝ අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, ඒ භාග්යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණ ලද්දාවූ මේ ධර්මයද වනාහි එක් ධර්මයක් වේය” යි කීයේය.