2. අනුස්සති වර්‍ගය
11. 2. 1.
1. පඨමනානා විහරණ සූත්‍රය
11. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. නිමවන ලද චීවර කර්‍මය ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් සැරිසරා වඩින්නේයය එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සිවුරු කටයුතු කරත්. මහානාම ශාක්‍ය රජතෙම, ‘බොහෝවූ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට චීවර කර්‍මයක් කෙරෙත්. නිමවන ලද සිවුරු කම් ඇත් භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් සැරිසරා වඩින්නේය’ යි ඇසුවේමය. ඉක්බිති මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම මහානාම නම් ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීන් වහන්ස, බොහෝවූ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කටයුතු කෙරෙත්. නිමවන ලද සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් සැරිසරා වඩින්නේය, යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීන් වහන්ස, නොයෙක් විහරණ වලින් යුක්තව වාසය කරන්නාවූ ඒ අපට කිනම් විහරණයකින් යුක්තව වාසය කටයුතු වන්නේදැ” යි,
“මහානාමය, යහපත. යහපත, මහානාමය. තෙපි යමක් තථාගතයන් වෙත පැමිණ විචාරන්නාහුද, මෙය වනාහි කුලපුත්‍රවූ තොපට සුදුසුවේ.” “ස්වාමීනි, නොයෙක් විහරණවලින් යුක්තව වාසය කරන්නාවූ ඒ අප කිනම් විහරණයකින් යුක්තව වාසය කටයුතු වන්නේද’ යනුයි.
“මහානාමය, ශ්‍රද්‍ධා ඇත්තේ වනාහි සම්පාදනය කරන්නේ වෙයි. ශ්‍රද්‍ධා නැත්තේ සම්පාදනය නොකෙරෙයි. පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ සම්පාදනය කරන්නේ වෙයි. කුශීතවූයේ සම්පාදනය නොකෙරෙයි. එළඹ සිටි සිහි ඇත්තේ සම්පාදනය කරන්නේ වෙයි. මුළාවූ සිහි ඇත්තේ සම්පාදනය නොකෙරෙයි. එකඟවූ සිත් ඇත්තේ සම්පාදනය කරන්නේ වෙයි. එකඟවූ සිත් නැත්තේ සම්පාදකයා නොවෙයි. ප්‍රඥා ඇත්තේ සම්පාදකයා වේ. ප්‍රඥා නැත්තේ සම්පාදකයා නොවෙයි. මහානාමය, ඔබ මේ පඤ්ච ධර්මයන්හි පිහිටා පඤ්ච ධර්‍මයන් මත්තෙහි වඩන්නෙහිය.
“මහානාමය, මෙහි ඔබ තථාගතයන් සිහි කරන්නෙහි:- ඒ භාග්‍යවත් තෙම මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, අෂටවිද්‍යා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. සුගතය, ලෝකවිදූය. නිරුත්තරවූයේ පුරුෂයන් දමනය කිරීමෙහි ඇදුරුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක්ය. චතුස්සත්‍යය අවබෝධ කෙළේය. භාග්‍යවත්ය.” කියායි.
“මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම තථාගතයන් සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවූම සිතක් වෙයි. මහානාමය, තථාගතයන් අරභයා ඎජුව ගියාවූම සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අත්‍ර්‍ථය නිසා සතුට ලබයි. ධර්‍මය නිසා සතුට ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රමොද්‍යය ලබයි. හටගත් ප්‍රමොද ඇත්හුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සැහැල්ලුවෙයි. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, මේ ආයර්‍යශ්‍රාවක තෙම විෂම බවට පැමිණියාවු ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කෙරෙයි. දුක් සහිතවූ ප්‍රජාවෙහි නිදුක්වූයේ වාසය කරයි. ධර්මශ්‍රොතයට පැමිණියේ බුද්‍ධානුස්මෘතිය වඩායයි කියනු ලැබේ.
“මහානාමය, නැවත අනිකක්ද වේ. ඔබ ධර්මය සිහි කරන්නෙහිය. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. මේ ආත්මයෙහි දැක්ක හැකි විපාක ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලව යන විධියට සුදුසුය. නිවණට පමුණුවන්නේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දත යුතුයයි කියාය. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්මය සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොවෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවූම සිත වෙයි. මහානාමය, ධර්‍මය අරභයා ඎජුව ගියාවූ සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි, අත්‍ර්‍ථය නිසා සතුට ලබයි. ධර්‍මය නිසා සතුට ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සැහැල්ලුවෙයි. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, මේ ආයර්‍යශ්‍රාවක තෙම විෂම බවට ගිය ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කරයි. දුක් සහිතවූ ප්‍රජාවෙහි නිදුක්වූයේ වාසය කරයි. ධර්ම ශ්‍රොතයට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩායයි කියනු ලැබේ.
“මහානාමය, නැවත අනිකක්ද කියමි. ඔබ සංඝයා සිහි කරන්නෙහිය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම ඎජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම න්‍යායවූ පරිදි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ පුරුෂ යුග සතරක් (අට දෙනෙක්) වෙද්ද, පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වෙද්ද, භාග්‍යවත්හුගේ මේ ශ්‍රාවක සංඝතෙම පූජාවට සුදුසුය. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසුය. දක්‍ෂිණාවට සුදුසුවේ. දෑත් හිස තබා වැඳීමට සුදුසුය. ලෝකයාහට නිරුත්තරවූ පින් කෙතයයි’