11. 2. 7.
ගොපාලකඞ්ග සූත්‍රය
17. “මහණෙනි, කරුණු එකොළොසකින් යුක්තවූ ගොපළු තෙම ගව සමුහයා පරිහරණය කරන්ට, සමෘද්‍ධ කරන්ට සුදුසු නොවේ. කවර එකොළොසකින්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි ගොපළු තෙම රූපය දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට නොවළකන්නේද, වණය වසා බඳින්නේ නොවේද, දුම් කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පැන් බිවහු නොදනීද, යායුතු මග නොදනීද, ගොදුරු තැන් දැනීමෙහි දක්‍ෂ නොවේද? ඉතිරි නොකොට කිරි දොවන්නේත් වේද, යම් ඒ ගව පිතෘවූ, ගව පරිනායක වූ, වෘෂභයෝ වෙද්ද, ඔවුන් වැඩියක් පිදීමෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ ගොපළු තෙම ගවයා පරිහරණය කරන්ට, සමෘද්‍ධ කරන්ට සුදුසු නොවේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම එකොළොස් කරුණකින් යුක්තවූ භික්‍ෂුතෙම මේ ශාසනයෙහි වෘද්‍ධියට, වැඩීමට, මහත්බවට, පැමිණෙන්ට සුදුසු නොවේ. කවර එකොළොසකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම රූපය දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට වළකන්නේ නොවේද, වණය වසා බඳින්නේ නොවේද, දුම් කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පානය කළාහු නොදනීද, ගමන් කළ යුතු මග නොදනීද, ගොචර ස්ථානයෙහි දක්‍ෂ නොවේද, ශෙෂ රහිතව දොවින්නේත් වේද, රාත්‍රඥවූ, පැවිදිවී බොහෝ කල් ගියාවූ සඞ්ඝ පීතෘවූ, සඞ්ඝ පරිනායක යම් මේ ස්ථවිර භික්‍ෂූහු වෙද්ද, ඔවුන් වැඩියක් පූජායෙන් පුදන්නේ නොවේද?
1. “මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම රූප දන්නේ නොවේද: මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය, සතර මහ භූතයෝද, සතර මහ භූතයන්ගෙන් හටගත් රූපයද වේ යයි තත්වූ පරිද්දෙන් දැන නොගනියි. මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම රූප දන්නේ නොවෙයි.
2. මහණෙනි, කෙසේ නම් භික්‍ෂුතෙම ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද: මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම අඥානතෙම කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේය. පණ්ඩිත තෙම කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දැන නොගනීද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේ.
3. “මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම මැසි බිජුවට හෙවත් ඉහඳ තිබිම වළකන්නේ නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම උපන්නාවූ කාම විතර්‍කය ඉවසාද, හැර නොදමාද, දුරු නොකෙරේද, විනාශ නොකෙරේද. නැවත අභාවයට නොපමුණුවාද, උපන්නාවූ ව්‍යාපාද විතර්‍කය, උපන්නාවූ විහිංසා විතර්‍කය, උපනුපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, නැවත අභාවයට නොපමුනුවාද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂුතෙම ඉහඳ තිබීම වළකන්නේ නොවෙයි.