11. 2. 5.
මෙත්තානිසංස සූත්‍රය
මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්. කවර එකොළොසක්ද යත්:
සුවසේ නිදයි, සුවසේ පුබුදියි, පවිටු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, දේවතාවෝ රක්‍ෂා කෙරෙත්, මොහුට ගින්න හෝ, විස හෝ, ආයුධයක් හෝ නොවදියි, වහා සිත එකඟ වෙයි, මුඛ වර්‍ණය තෙම විශේෂයෙන් ප්‍රසන්න වෙයි, මුළාවට නොපැමිණියේ කළුරිය කරයි, මත්තෙහි අර්හත් මාර්‍ග ප්‍රතිවේධය නොකරන්නේ, බඹලොව උපදින්නේ වෙයි.
මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්.
11. 2. 6.
අට්ඨකනාගර සූත්‍රය
එක් කාලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම විසාලා මහනුවර, බේලුව නම් ගමෙහි වාසය කරයි. එකල්හි වනාහි අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, කිසියම් කටයුත්තක් සඳහා පැළලුප් නුවර පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, කුක්කුටාරාමය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුහට මෙය කීයේය. “ස්වාමිනි, කොහි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම මෙකල්හි වාසය කෙරේද? ස්වාමිනි, අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දකිනු කැමැත්තෙම්හ” යි “ගෘහපතිය, මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ විසල් නුවර බේලුව නම් ගමෙහි වාසය කෙරේ” යි කීයේය.
ඉක්බිති අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, පැළලුප් නුවර ඒ කටයුත්ත නිමවා විසල් පුර බේලුව නම් ගම යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, ආයුෂ්මත් අනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්‍ෂුහුගේ නොමිදුනාවූ හෝ සිත කෙලෙසුන් කෙරෙන් මිදේද? ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ හෝ උතුම්වූ නිවණට අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියලු ධර්‍මයන් දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරණ ලද්දාවූ එක් ධර්මයක් ඇත්තේදැ” යි ඇසීය.
“ගෘහ පතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්නාවූ භික්‍ෂුහුගේ නොමිදුණාවූ සිත හෝ කෙළෙසුන් කෙරෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියලු ධර්මයන් දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද්දාවූ, එක් ධර්මයෙක් ඇතැ” යි කීයේය.