11. 2. 4.
සුභූති සද්ධාපදාන සූත්රය
ඉක්බිති ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම සද්ධ නම් භික්ෂුව සමග භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් සුභූති ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“සුභූතිය, මේ භික්ෂු තෙම කිනම්ද?”
“ස්වාමීනි, මේ භික්ෂු තෙම සද්ධ නම් වේ. සද්ධ නම් උපාසකයාගේ පුත්ර තෙම ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේය.”
“කිමෙක්ද සුභූතිය, මේ සද්ධ නම් භික්ෂු තෙම සද්ධ නම් උපාසකයාගේ පුත්රවූයේ, ශ්රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ ශ්රද්ධාපදානයන්හි (ශ්රද්ධාවන්තයන්ගේ ලක්ෂණවල) දක්නා ලැබේද,”
“භාග්යවතුන් වහන්සේ ශ්රද්ධාවන්තයාගේ ලක්ෂණ වදාරන්නේය යන යමක් වේද, භාග්යවතුන් වහන්ස, එයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, එයට මේ සුදුසු කල වේ. දැන්මම දැනගන්නෙමි. මේ භික්ෂුතෙම ශ්රද්ධා ලක්ෂණයන්හි ඉදින් දක්නා ලැබෙයි හෝ නොහොත් දක්නා නොලැබෙයි.” කියායි.
“සුභූතිය, එසේ වී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි.”
“එසේය පින්වතුන් වහන්සැ” යි කියා ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම, භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
1. “සුභූතිය, මේ ශාසනයෙහි භික්ෂු තෙම සිල්වත් වෙයි. ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයි. ආචාර ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්පමාත්රවූ වැරැදිවල භය දක්නා සුලුවූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි. සුභූතිය, භික්ෂු තෙම සිල්වත් වෙයි. ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයි. ආචාර ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්පමාත්රවූ වැරැදිවල භය දක්නා සුලුවූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි, යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්රද්ධා ඇත්හුගේ ලක්ෂණය වේ.
2. “නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්ෂු තෙම ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම් ඇත්තේ බහුශ්රුත වෙයි. මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්ර්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්ම කෙනෙක් සියල්ලෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්රහ්මචර්ය්යාව ප්රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දෘෂ්ඨියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දාහු වෙත්ද, සුභූතිය, භික්ෂු තෙම ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම් ඇත්තේ බහුශ්රුත වෙයි. මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්ර්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්ම කෙනෙක් සියල්ලෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්රහ්මචර්ය්යාව ප්රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දෘෂ්ඨියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දාහු වෙත්ද, බහුශ්රුතවූයේ වෙයි. දෘෂ්ඨියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දාහු වෙත් යන යමක් වේද, සුභූතිය, මෙයද ශ්රද්ධා ඇත්හුගේ ශ්රද්ධා ලක්ෂණය වේ.
3. “නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්ෂුතෙම කල්යාණ මිත්රයන් ඇත්තේ, යහපත් යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි. සුභූතිය, භික්ෂුතෙම කල්යාණ මිතුරන් ඇත්තේ, සොඳුරු යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි යන යමක් වේද, සුභූතිය, මෙයද ශ්රද්ධා ඇත්හුගේ ශ්රද්ධා ලක්ෂණය වේ.
4. “නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්ෂුතෙම කීකරුවූයේ, සුවච භාවය කරන්නාවූ කරුණුවලින් යුක්තවුයේ, ඉවසන්නේ, අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නේ වෙයි. සුභූතිය, භික්ෂුතෙම කීකරුවූයේ, සුවච බැව් කරණ කරුණුවලින් යුක්තවූයේ, ඉවසන්නේ, අනුශාසනය පැදකුණු කිරීමෙන් ගන්නේ වෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්රද්ධා ඇත්තහුගේ ශ්රද්ධා ලක්ෂණය වේ.