10. 4. 2. 9.
සපරික්කමන ධම්ම සූත්රය
“මහණෙනි, මේ ධර්මය පරික්රමණ සහිතය. මේ ධර්මය පරික්රමණ රහිත වේ. මහණෙනි, කෙසේ නම් මේ ධර්මය පරික්රමණ සහිත වේද, පරික්රමණ රහිත වේද?
“මහණෙනි, සතුන් මරන්නාට, සතුන් මැරීමෙන් වෙන්වීම පරික්රමණය වේ. නුදුන් දෙය ගන්නාට නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම පරික්රමණය වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තාට, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම පරික්රමණය වේ. බොරු කියන්නාට, බොරු කීමෙන් වෙන්වීම පරික්රමණය වේ.
කේළාම් කියන්නාට, කේළාම් කීමෙන් වෙන්වීම පරික්රමණය වේ. ඵරුෂ වචන කියන්නාට, ඵරුෂ වචනයෙන් වෙන්වීම පරික්රමණය වේ. හිස් වචන කියන්නාට, හිස් වචන කීමෙන් වෙන්වීම පරික්රමණය වේ. දැඩි ලෝභකම ඇත්තාට, දැඩි ලෝභකම නොවීම පරික්රමණය වේ. ක්රොධ ඇත්තාට, ක්රෝධය නොවීම පරික්රමණය වේ. වැරදි දැකීම් ඇත්තාට නිවැරුදි දැකීම පරික්රමණය වේ.”
මහණෙනි, මෙසේ වනාහි මේ ධර්මය පරික්රමණ සහිතය. මේ ධර්මය පරික්රමණ රහිත නොවේ.
10. 4. 2. 10.
චුන්දසොචෙය්ය සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ පාවානුවර චුන්ද නම් කර්මාර (ලෝකරු) පුත්රයාගේ අඹ වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති චුන්ද කර්මාර පුත්ර තෙම, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චුන්ද කර්මාර පුත්රයාට භාග්යවතුන් වහන්සේ, “චුන්දය, ඔබ කවරෙකුගේ පිරිසිදුකම රුචි කෙරෙහිදැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, පසු බිම්හි සිටින (ද්විජව උපන්) කෙණ්ඩි දරණ, සෙවෙල් මල්දම් ඇති, ගිනි දෙවියා පුදන, දියෙහි ගිලෙන බමුණෝ පිරිසිදුකම් පණවත්ද, මම ඒ පිරිසිදුකම රුචිකරමි” යි කීයේය.
“චුන්දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියේ ගිලෙන බමුණෝ කෙසේ වනාහි පිරිසිදුකම් පණවත්දැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියෙහි ගැලෙන, ඒ බ්රාහ්මණයෝ ශ්රාවකයන් මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය.