10. 4. 2. 10.
චුන්‍දසොචෙය්‍ය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර චුන්‍ද නම් කර්‍මාර (ලෝකරු) පුත්‍රයාගේ අඹ වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චුන්‍ද කර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ, “චුන්‍දය, ඔබ කවරෙකුගේ පිරිසිදුකම රුචි කෙරෙහිදැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, පසු බිම්හි සිටින (ද්විජව උපන්) කෙණ්ඩි දරණ, සෙවෙල් මල්දම් ඇති, ගිනි දෙවියා පුදන, දියෙහි ගිලෙන බමුණෝ පිරිසිදුකම් පණවත්ද, මම ඒ පිරිසිදුකම රුචිකරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියේ ගිලෙන බමුණෝ කෙසේ වනාහි පිරිසිදුකම් පණවත්දැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියෙහි ගැලෙන, ඒ බ්‍රාහ්මණයෝ ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්‍ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්‍ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය.
ඉදින් අමු තණ ස්පර්ශ නොකරන්නෙහි නම්, ගිනි පුදන්නේය. ඉදින් ගිනි නොපුදන්නේ නම්, ඇඳිලි බැඳ හිරු වඳින්නේය. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවඳින්නේ නම්, සවස් කාලය තුන්වෙනිකොට ජලයෙහි ගිලෙන්නෙහිය.’ ස්වාමීනි, මෙසේ වනාහි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියෙහි ගිලෙන, බමුණෝ පිරිසිදුකම පණවත්. මම ඔවුන්ගේ පිරිසිදුකම රුචි කරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියේ ගිලෙන, බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් පිරිසිදුකම් පණවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් පිරිසිදුබව වේ.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි පිරිසිදුබව යම් පරිද්දෙකින් වේද, එසේ ධර්‍ම දේශනා කරනු මැනවි.”
“චුන්‍දය, එසේ නම් අසව, යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“චුන්‍දය, තුන් පරිද්දෙකින් කයේ අපිරිසිදුබව වේ. සතර පරිද්දෙකින් වචනයේ අපිරිසිදුබව වේ. තුන් පරිද්දෙකින් සිතින් අපිරිසිදුකම වේ.
චුන්‍දය, කෙසේ කයින් ත්‍රිවිධ අපිරිසිදුබව වේද:
1. චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි.
2. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ.
3. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද,
චුන්‍දය, මෙසේ වනාහි කයින් තුන් වැදෑරුම් අපිරිසිදුකම දත යුතුය.