2. ජාණුස්සොණි වග්ගය
10. 4. 2. 1.
බ්‍රාහ්මණ පච්චොරොහණී සූත්‍රය
එකල්හි ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙම තදහුපොසථ දිනයෙහි හිස සෝදා නා, අලුත් වස්ත්‍ර යුවළක් හැඳ, තෙත කුස තණ මිටියක් ගෙන භාග්‍යවතුන් වහන්සේට අවිදූරයෙහි එකත්පසෙක සිටියේ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ තදහුපොසථ දිනයෙහි හිස සෝදා නා, අලුත් වස්ත්‍ර යුවළක් හැඳ, තෙත කුස තණ මිටියක් ගෙන එකත්පසෙක සිටි ජාණුස්සොණි බ්‍රාහ්මණයා දැක ජාණුස්සොණි බ්‍රාහ්මණයාට මෙසේ වදාළ සේක:
“බ්‍රාහ්මණය, ඔබ තදහුපොසථ දිනයෙහි හිස සෝදා නා, අලුත් වස්ත්‍ර යුවළක් හැඳ, තෙත කුස තණ මිටියක් ගෙන එකත්පසෙක සිටියේ මන්ද? බ්‍රාහ්මණය, අද බ්‍රාහ්මණ කුලයේ කවරක් නම් ඇද්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, අද බ්‍රාහ්මණ කුලයේ පච්චොරොහණිය (බැසගැන්ම) වෙයි.”
“බ්‍රාහ්මණය, කෙසේ නම් බ්‍රාහ්මණයන්ගේ පච්චොරොහණිය වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි බ්‍රාහ්මණවරු තදහුපොසථ දිනයෙහි හිස සෝදා නා, අලුත් වස්ත්‍ර යුවළක් හැඳ, තෙත ගොමෙන් පොළොව පිරිබඩ ගා, නිල් කුස තණ අතුරා, වේලාවත් ගිනිහලත් අතර සයනය කරති. ඔවුහු එරాత్రి තෙවරක් නැඟිට දොහොත් මුදුන් දී ‘භවතා බැසගනිමු, භවතා බැසගනිමු’ යි ගින්න නමදිති. බොහෝ ගිතෙලින් හා වෙඬරුයෙන් ගින්න සතප්පති. ඒ රාත්‍රියගේ ඇවැෑමෙන් ප්‍රණීතවූ කෑ යුතු බිඳිය යුතු දෙයින් බ්‍රාහ්මණයන් සතප්පති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ පච්චොරොහණිය මෙසේ වෙයි.”
“බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ පච්චොරොහණිය අන් එකකි. ආර්‍ය්‍ය විනයෙහි පච්චොරොහණිය අන් එකකි.”
“භවත් ගෞතමයන් වහන්ස, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි පච්චොරොහණිය වේද? යම් පරිද්දකින් ආර්‍ය්‍ය විනයෙහි පච්චොරොහණිය වේ නම්, භවත් ගෞතමයන් වහන්සේ මට ඒ ධර්මය දේශනා කරන සේක්වා!”
“බ්‍රාහ්මණය, එසේ වී නම් අසව, මැනවින් මෙනෙහි කරව, දේශනා කරන්නෙමි”යි වදාළ සේක. “එසේය, භවතාණෙනි” යි ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“බ්‍රාහ්මණය, මෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. සතුන් මැරීමේ ලාමක විපාකය මෙලොවදීත්, පරලොවදීත් වේ. හෙතෙම මෙසේ සලකා සතුන් මැරීම දුරු කරයි. සතුන් මැරීමෙන් බසී. නුදුන් දෙය ගැනීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමේ, බොරු කීමේ, කේළාම් කීමේ, පරුෂ වචන කීමේ, හිස් වචන කීමේ, විෂම ලෝභයේ, ක්‍රෝධයේ, වැරදි දැකීමේ, ලාමක විපාකය මෙලොවදීත්, පරලොවදීත් වේ. හෙතෙම මෙසේ සලකා සතුන් මැරීම දුරුකරයි. සතුන් මැරීමෙන් බසී. නුදුන් දෙය ගැනීම දුරුකරයි. නුදුන් දෙය ගැනීමෙන් බසී. කාමයන්හි වැරදි හැසිරීම දුරුකරයි. කාමයන්හි වැරදි හැසිරීමෙන් බසී. බොරු කීමදුරුකරයි. බොරු කීමෙන් බසී. කේළාම් කීම දුරුකරයි. කේළාම් කීමෙන් බසී. පරුෂ වචන කීම දුරුකරයි. පරුෂ වචන කීමෙන් බසී. හිස් වචන කීම දුරුකරයි. හිස් වචන කීමෙන් බසී. විෂම ලෝභය දුරුකරයි. විෂම ලෝභයෙන් බසී. ක්‍රෝධය දුරුකරයි. ක්‍රෝධයෙන් බසී. වැරදි දැකීම දුරුකරයි. වැරදි දැකීමෙන් බසී. බ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යයන් වහන්සේගේ විනයෙහි පච්චෝරොහණිය (බැස ගැනිම) වේ.”
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන්ගේ බැසගැන්ම අන් විධියකින් වේ. ආර්‍ය්‍යයන් වහන්සේගේ විනයෙහි බැසීම අන් විධියකින් වේ. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි බැසගැන්මෙන් සොලොස් කලාවෙන් කලාවටවත් බමුනන්ගේ බැසගැන්ම නොඅගනේය.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ...පෙ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මා දරණ සේක්වා!”