10. 4. 2. 6.
6. අධම්මා ධම්ම සූත්රය
172. “මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්ථයද දතයුතුය. අර්ත්ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්ථයද දැන, අර්ත්ථය දැන, අර්ත්ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.
ඉක්බිති ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් නික්ම ගිය භාග්යවතුන් වහන්සේ ගැන මෙබඳු සිතක් විය: “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ අපට ‘මහණෙනි, අධර්මයද දතයුතුය, ධර්මයද දතයුතුය, අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේක.”
භාග්යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැයි?
ඉක්බිති ඒ භික්ෂූන්ට මේ සිත විය:
“මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්ර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේට මෙය කීහ:
“ඇවැත්නි, මහාකච්චානයෙනි, අපට භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ” යි. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් අපට, “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ ධර්මයද, අධර්මයද දතයුතුයයි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය බෙදා නොදී, අස්නෙන් නැගිට, විහාරයට ඇතුළුවූ සේක.
“භාග්යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැ” යි.
“ඇවැත්නි, අපට මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙමේ, භාග්යවතුන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලදී. ප්රශංසා කරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරණ ලද, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැ” යි සිතූහ. “ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ අපට ප්රකාශ කරන්නේ යම්සේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ බෙදා දක්වන සේක්වා” යි කීහ.
“ඇවැත්නි, හරයෙන් ප්රයෝජන ඇති, හරය සොයන පුරුෂයෙක් යම් සේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ පවත්නාවූ, හර ඇත්තාවූ මහත් වෘක්ෂයක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතුකොළ ඉක්මවා හරය සෙවීම යුතුකොට සිතන්නේය. මේ කාරණය එසේ දතයුතුයි. ආයුෂ්මතුන්ට බුදුන් හමුවෙහි ඒ භාග්යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතු කොට සිතව්ද. ඇවැත්නි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්මයට ස්වාමීවූ, තථාගතවූ, ඒ භාග්යවතුන් වහන්සේ දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, තෙපි භාග්යවතුන් වහන්සේ කරාම පැමිණ මෙය විචාරන්නාහු නම්, එයට එම කාලය විය. අපගේ භාග්යවතුන් වහන්සේ ඔබහට ප්රකාශ කරන්නේ යම්සේද, එසේ එය දරව්” යයි කීයේය.