10. 4. 2. 7.
7. අත්ථානත්ථ සූත්රය
“මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්ථයද දතයුතුය. අර්ත්ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්ථයද දැන, අර්ත්ථයද දැන, අර්ත්ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය.
“මහණෙනි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්ථය කවරේද? අර්ත්ථය කවරේද? මහණෙනි, සතුන් මැරීම අධර්මයයි. සතුන් මැරීමෙන් වෙන්වීම ධර්මයයි. සතුන් මැරීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. සතුන් මැරීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්වයට යත්ද, මේ අර්ථයයි.
“මහණෙනි, නුදුන් දේ ගැනීම අධර්මයයි. නුදුන් දේ ගැනීමෙන් වෙන්වීම ධර්මයයි -පෙ- කාමයන්හි වරදවා හැසිරීම අධර්මයයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම ධර්මයයි -පෙ- බොරු කීම අධර්මයයි. බොරු කීමෙන් වෙන්වීම ධර්මයයි -පෙ- කේළාම් කීම අධර්මයයි. කේළාම් කීමෙන් වෙන්වීම ධර්මයයි -පෙ- ඵරුෂ වචන කීම අධර්මයයි. ඵරුෂ වචන කීමෙන් වෙන්වීම ධර්මයයි -පෙ- ප්රලාප දෙඩීම අධර්මයයි. ප්රලාප දෙඩීමෙන් වෙන්වීම ධර්මයයි -පෙ- තෘෂ්ණාව අධර්මයයි. තෘෂ්ණාවෙන් වෙන්වීම ධර්මයයි -පෙ- ක්රෝධය අධර්මයයි. ක්රෝධයෙන් වෙන්වීම ධර්මයයි -පෙ- වැරදි දැකීම අධර්මයයි. යහපත් දැකීම ධර්මයයි, වැරදි දැකීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. සම්මා දිට්ඨිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්වයට යත්ද, මේ අර්ථයයි.
“මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දත යුතුය. අනර්ත්ථයද දතයුතුය. අර්ත්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්ථයද, අර්ත්ථයද දැන, ධර්මයවූ පරිදි, අර්ත්ථය වූ පරිදි, පිළිපැදිය යුතුයයි මෙසේ යමක් වදාරණ ලද නම් එය මේ සඳහාම වදාරණ ලදී.
10. 4. 2. 8.
තිවිධ පාණාතිපාත සූත්රය
“මහණෙනි, මම සතුන් මැරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. නුදුන් දෙය ගැනීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. කාමයන්හි වැරදි හැසිරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. බොරු කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. කේළාම් කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. පරුෂ වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. හිස් වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. දැඩි ලෝබකමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. ක්රෝධයද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. වැරැදි දැකීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.
“මහණෙනි, මෙසේ වනාහි ලෝභය කර්මයන්ට මුල්වේ. ද්වේෂය කර්මයන්ට මුල්වේ. මෝහය කර්මයන්ට මුල්වේ. ලෝභය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. ද්වේෂය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. මෝහය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ” යයි වදාළ සේක.
10. 4. 2. 9.
සපරික්කමන ධම්ම සූත්රය
“මහණෙනි, මේ ධර්මය පරික්රමණ සහිතය. මේ ධර්මය පරික්රමණ රහිත වේ. මහණෙනි, කෙසේ නම් මේ ධර්මය පරික්රමණ සහිත වේද, පරික්රමණ රහිත වේද?
“මහණෙනි, සතුන් මරන්නාට, සතුන් මැරීමෙන් වෙන්වීම පරික්රමණය වේ. නුදුන් දෙය ගන්නාට නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම පරික්රමණය වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තාට, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම පරික්රමණය වේ. බොරු කියන්නාට, බොරු කීමෙන් වෙන්වීම පරික්රමණය වේ.