10. 4. 2. 11.
ජාණුස්සොණී සුත්තං
ඉක්බිති ජානුස්සෝණී බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සෝණී බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීවේය:
“පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්රාහ්මණයෝ වෙමු. ‘මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයන්ට පැමිණේවා. මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයෝ වළඳත්වා’ යි දන් දෙමු. මතකබත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ඒ දානය පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට පැමිණේද, කිමෙක්ද, පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ඒ දානය පැමිණේදැ” යි ඇසීය.
“බමුණ, ස්ථානයෙහි ලැබෙයි. අස්ථානයෙහි නොලැබේය” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේද, අස්ථානය කවරේදැ” යි ඇසූයේය.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්යාදෘෂ්ටික වේද, හෙතෙම කරජකායයාගේ (ශරීරය) බිඳීමෙන් මරණින් මතු නරකයෙහි උපදී. නරකයෙහි සත්ත්වයන්ගේ යම් ආහාරයක් වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේද, බමුණ, මෙයද අස්ථානයයි.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු තිරිසන් අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි සත්ත්වයන්ට යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේද, බමුණ, මෙයද අස්ථානයකි.
“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්රෝධ සිත් නැත්තේ වේද, සම්යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු මනුෂ්යයන් අතර උපදී. මනුෂ්යයන්ගේ යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේද, බමුණ, මෙයද අස්ථානයකි.