10. 3. 2. 7.
7. පච්චොරොහණී සූත්රය
119. “එකල්හි වනාහි ජානුස්සෝනි බ්රාහ්මණතෙම එම පොහෝ දිනයෙහි නහා, අළුත් පට්ටාවලින් වියූ වස්ත්ර දෙකක් ඇඳ, තෙත් කුසතණ මිටක් ගෙන, භාග්යවතුන් වහන්සේ ලඟ, එකත්පසෙක සිටියේය.
භාග්යවතුන් වහන්සේ, එසේ සිටි ජානුස්සෝනි බ්රාහ්මණයා දැක, මෙසේ වදාළ සේක:
“බමුණ, කිමෙක්ද? ඔබ මේ පෝය දිනයෙහි අළුත් පට්ටා වස්ත්ර දෙකක් හැඳ, තෙත් කුස තණ මිටක් ගෙන, එකත් පසෙක සිටියේ, අද බමුණු ගෙදර කුමක්දැ” යි ඇසූ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, අද බමුණු ජාතියට නැවත බැසීමය.”
“බමුණ, බමුණන්ගේ පච්චොරොහණිය කෙසේ නම් වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පෝය දිනයෙහි හිස පටන් නහා, අලුත් කොමු පිළි දෙකක් ඇඳ, තෙත් ගොමින් පොළොව පිස දමා, නිල් කුස තණ අතුරා, ගිනිහල් ගෙටත්, මලුවටත් අතර සයනය කරත්. ඔවුහු ඒ රාත්රියෙහි තුන්වරක් නැගිට, ඇඳිලි බැඳ, “පින්වතා නැවත බසීවා, පින්වත් තෙමේ නැවත බසීවා” යි ගිනි දෙවියාට නමස්කාර කරත්. බොහෝ ගිතෙල්, තලතෙල්, වෙඬරුවලින් ගින්න පෝෂණය කරයි. ඒ රාත්රියගේ ඇවෑමෙන්, ප්රණීතවූ, කෑයුතු, බුදිය යුතු, දෙයින් බමුණන් සතුටු කරවත්. භවත් ගෞතමයන් වහන්ස, බ්රාහ්මණයන්ගේ පච්චාරොහණිය (නැවත බැසීම) වේ.
“බමුණ, බමුණන්ගේ පච්චාරොහණිය අනික් ප්රකාරයකින් වේ. ආර්ය්ය විනයෙහි පච්චාරොහණිය අනික් ක්රමයකින් වේ.”
“භාග්යවත් ගෞතමයන් වහන්ස, ආර්ය්යයන් වහන්සේගේ ධර්මයෙහි පච්චාරොහණිය කෙසේද? භවත් ගෞතමයන් වහන්සේ මට, ආර්ය්ය විනයෙහි පච්චාරොහණිය යම් සේ වේද, එසේ බණ කියන්නේ නම් යහපතැ” යි කීයේය.
“බමුණ, එසේ නම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක.
“පින්වතුන් වහන්ස, එසේය” යි ජානුස්සෝනී බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“බමුණ, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවකතෙම වැරදි දැකීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි දැකීම අත්හරියි. වැරදි දැකීමෙන් බසියි.
“බමුණ, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවකතෙම වැරදි සිතීමේ ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි සිතීම අත්හරියි. වැරදි සිතීමෙන් බසියි.
“බමුණ, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවකතෙම වැරදි වචන ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි වචන අත්හරියි. වැරදි වචනයෙන් බසියි.
“බමුණ, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවකතෙම වැරදි කර්මාන්තය ලාමක විපාකය මෙලොවදී, පරලොවදී වෙතියි, මෙසේ සලකයිද, හෙතෙම මෙසේ සලකා වැරදි කර්මාන්තය අත්හරියි. වැරදි කර්මාන්තයෙන් බසියි.