10. 3. 2. 8.
8. අරියපච්චාරොහණී සූත්‍රය
120. “මහණෙනි, තොපට ආර්‍ය්‍ය බැසගැනීම දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්” යයි වදාළ සේක. “මහණෙනි, ආර්‍ය්‍ය බැසගැන්ම කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි දැකීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි දැකීම අත්හරියි. වැරදි දැකීමෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි සිතීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි සිතීම අත්හරියි. වැරදි සිතීමෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි වචනයේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි වචනය අත්හරියි. වැරදි වචනයෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි කර්‍මාන්තයේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි කර්‍මාන්තය අත්හරියි. වැරදි කර්‍මාන්තයෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි ජීවිකාවේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි ජීවිකාව අත්හරියි. වැරදි ජීවිකාවෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි වෑයමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි වෑයම අත්හරියි. වැරදි වෑයමෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි සිහිකිරීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි සිහිකිරීම අත්හරියි. වැරදි සිහිකිරීමෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි සිත එකඟ කිරීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි වැරදි සිත එකඟ කිරීම අත්හරියි. වැරදි වැරදි සිත එකඟ කිරීමෙන් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි නුවණේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි නුවණ අත්හරියි. වැරදි නුවණින් බසියි. “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි. කෙසේද, වැරදි මිදීමේ ලාමක විපාකය මෙලොවදීද, පරලොවදීද වේ. හෙතෙම මෙසේ සලකා වැරදි මිදීම අත්හරියි. වැරදි මිදීමෙන් බසියි. මහණෙනි, මේ ආර්ය පච්චොරොහණිය යි කියනු ලැබේ.”
10. 3. 2. 9.
9. උදය පුබ්බඞ්ගම සූත්‍රය
“මහණෙනි, සූර්‍ය්‍යයාගේ උදාවට යම් මේ අරුණ නැගීමක් ඇද්ද, මෙය පෙර ගමනයි. පෙර නිමිත්තයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි දැකීමක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා දැනීමෙන් මනා සිතීම ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි සිතීමක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා සිතීමෙන් මනා වචන ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි වචනයක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා වචනයෙන් මනා කර්‍මාන්තය ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි කර්‍මාන්තයක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා කර්‍මාන්තයෙන් මනා ජීවිකාව ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි ජීවිකාවක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා ජීවිකාවෙන් මනා වෑයම ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි වෑයමක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා වෑයමෙන් මනා සිහිකිරීම ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි සිහිකිරීමක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා සිහිකිරීමෙන් මනා සිත එකඟ කිරීම ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි සිත එකඟ කිරීමක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා සිත එකඟ කිරීමෙන් මනා නුවණ ශක්තිමත් වෙයි. “මහණෙනි, එසේම යම් මේ නිවැරදි නුවණක් ඇද්ද, කුශල ධර්‍මයන්ට එය පෙර ගමනයි. එය පෙර නිමිත්තයි. මහණෙනි, මනා නුවණින් මනා මිදීම ශක්තිමත් වෙයි.”
10. 3. 2. 10.
10. දසආසවක්ඛය ධම්ම සූත්‍රය
122. “මහණෙනි, මේ ධර්‍ම දහය වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, පව් ගෙවීම පිණිස පවතී. කවර දසයක්ද යත්,
මනා දැකීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම.
“මහණෙනි, මේ දශධර්‍මයෝ වඩන ලද්දාහු, බහුල කරණ ලද්දාහු, පව් ගෙවීම පිණිස පවතිත්.”
පච්චොරොහණී වර්ගය දෙවැනියි.
එහි උද්දානය:
අධර්ම සූත්‍ර තුනද, අජිත, සඞ්ගාරව සහ ඔරිමතීර සූත්‍ර ද, පච්චොරොහණී සූත්‍ර දෙකක් ද, පුබ්බඞ්ගම හා ආසව සූත්‍රය දැ යි මෙහි සූත්‍ර දහයකි.