3. තෙවන පණ්ණාසකය
(11) 1. සමණසඤ්ඤා වර්ගය
10. 3. 1. 1.
1. සමණසඤ්ඤා සූත්රය
101. “මහණෙනි, මේ ශ්රමණ සංඥා තුනක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් සම්පූර්ණ කරත්. කවර තුනක්ද යත්,
“වෙනස් වර්ණයකට පැමිණියෙමි. මාගේ ජීවිකාව අනුන්ට අයත්ය. මා විසි්න් අනික් ආකාරයක් කටයුතුය. මහණෙනි, මේ ශ්රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ධර්ම සතක් පුරවත්. කවර සතක්ද යත්?
නිතර සන්සුන් කටයුතු කරන්නෙක් වේ. සීලයන්හි සන්සුන් පැවැත්ම ඇත්තේ වේ. තෘෂ්ණා බහුලකොට නැත්තේ වේ. ව්යාපාද නැත්තේ වේ. අතිමාන්නය නැත්තේ වේ. ශික්ෂාපද කැමැත්තේ වේද, ජීවිතයන්හි හෝ පරිෂ්කාරයන්හි මේ ප්රයෝජනයයි ඔහුට අදහස් වේ. පටන් ගන්නා ලද වීර්ය්ය ඇතිව වාසය කරයි. මහණෙනි, මේ ශ්රමණ සංඥා තුන වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මේ ධර්ම සත පුරවත්ය” යි වදාළ සේක.
10. 3. 1. 2.
2. බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්රය
102. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද මේ බොජ්ඣඞ්ග සත ත්රිවිද්යාවන් සම්පූර්ණ කරයි. කවර සතක්ද යත්?
අවබෝධයට කාරණාවු සිහිය, අවබෝධයට උපකාරවූ ප්රඥාව, අවබෝධයට කාරණාවූ වීර්ය්යය, අවබෝධයට කාරණාවූ ප්රීතිය, සිත කය දෙකේ බර ඇරීම, එකඟකම, මැදහත් බව, යන සතයි. වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත ත්රිවිද්යාවන් සම්පූර්ණ කරත්. කවර විද්යා තුනක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නානාප්රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්රුත වේද, ධර්ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්රකාර පූර්වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්රාහ්මණ වර්ගයේ, 8 සූත්රයේ 4 ඡේදය යෙදිය යුතුයි.) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්රකාර පූර්වෙනිවාසය සිහි කරයි.
පිරිසිදුවූ මනුෂ්යත්වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්වයන් දනී.
“ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්රව රහිත ඵල සමාධියද, ඵල ප්රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි.
මහණෙනි, මේ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ බොජ්ඣඞ්ග සත, මේ ත්රිවිද්යාවන් සම්පූර්ණ කරත්.”
10. 3. 1. 3.
3. ආරාධන විරාධනා සූත්රය
103. “මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්ණවීම නොවේ. “මහණෙනි, කෙසේ බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේද. සම්පූර්ණවීම නොවේද?
මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්මාන්ත සම්පූර්ණවේ. වැරදි කර්මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්ණවේ. මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්ණවීම නොවේ.
“මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්ණවීම වේ. වැලැක්ම නොවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන කෙසේ සම්පූර්ණ වේද, වැලැක්ම නොවේද?
මහණෙනි, සම්යක් දෘෂ්ටිකයාට සම්යක් කල්පනාව සම්පූර්ණවේ. සම්යක් කල්පනාව ඇත්තාට සම්යක් වචන සම්පූර්ණවේ. සම්යක් වචන ඇත්තාට සම්යක් කර්මාන්ත සම්පූර්ණවේ. සම්යක් කර්මාන්ත ඇත්තාට සම්යක් ජීවිකාව සම්පූර්ණවේ. සම්යක් ජීවිකාව ඇත්තාට සම්යක් වෑයම සම්පූර්ණවේ. සම්යක් වෑයම ඇත්තාට සම්යක් එකඟ කම සම්පූර්ණවේ. සම්යක් එකඟකම ඇත්තාට සම්යක් නුවණ සම්පූර්ණවේ. සම්යක් නුවණ ඇත්තාට සම්යක් මිදීම සම්පූර්ණවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්ණවීම වේ. වැලැක්ම නොවේ.”