24-12 අඞ්කුරගේ දානය

තිණදොසානි ඛෙත්තානි රාගදොසා අයං පජා

තස්මා හි වීතරාගෙසු දින්නං හොති මහප්ඵලං.

කෙත්හු (මාරතු කුඩුමැටි ආදි) තණ දොස් ඇත්තාහු ය. එසේ ම මේ සත්ත්‍වප්‍රජාව ද රාගය දොස් කොට ඇත්තේ ය. එ හෙයින් පහ වූ රාගය ඇතියන් කෙරෙහි (රහතුන් කෙරෙහි) දුන් දන මහත් පල වේ.

තිණදොසානි ඛෙත්තානි දොසදොසා අයං පජා

තස්මා හි වීතදොසෙසු දින්නං හොති මහප්ඵලං.

කෙත්හු තණ දොස් ඇත්තෝ ය. මේ සත් කැල ද ද්වේෂ සංඞ්ඛාත දෝෂය ඇත්තාහ. එ හෙයින් පහ වූ ද්වේෂය ඇතියන් (ක්‍ෂීණාස්‍රවයන්) කෙරෙහි දුන් දන මහත්පල වේ.

තිණදොසානි ඛෙත්තානි මොහදොසා අයං පජා

තස්මා හි වීතමොහෙසු දින්නං හොති මහප්ඵලං.

ක්‍ෂේත්‍රයෝ (සාමාකාදී) තෘණයන් දොස් කොට ඇත්තෝ වෙත්. (ශෂ්‍යඵල සමෘද්ධ නො වෙයි). මේ සත්ත්‍වප්‍රජාව (තත්ත්‍වප්‍රතිච්ඡාදක) මෝහය දොස් කොට ඇත්තේ ය. එ හෙයින් මෝහය දුරැලූ අශෛක්‍ෂවරයන්හට දෙන ලද්ද මහත්ඵල වෙයි.

තිණදොසානි ඛෙත්තානි ඉච්ඡාදොසා අයං පජා.

තස්මා හි විගතිච්ඡෙසු දින්නං හොති මහප්ඵලං.

ක්‍ෂේත්‍රයෝ (සාමාකාදී) තෘණයන් දොස් කොට ඇත්තෝ වෙත්. (ශෂ්‍යඵල සමෘද්ධ නො වෙයි.) මේ සත්ත්‍වප්‍රජාව ඉච්ඡාව දෝෂ කොට ඇත්තේ ය. එහෙයින් තෘෂ්ණාව දුරැලූ අශෛක්‍ෂවරයන්හට දෙන ලද්ද මහත්ඵල වෙයි.

ඉන්‍දක තෙමේ, පිඬු සිඟා ඇතුළු ගමට පිවිසැ සිටි අනුරුද්ධ මහතෙරුන් දැක තමන්ට දෙන්නට ආ සැන්දක් පමණ බත්ටික උන්වහන්සේට පිළිගැන් වී ය. එසේ අනුරුද්ධ මහතෙරුන්ට බත් හැන්ද පිදීමෙන් ඉන්‍දික ලත් පිණ, අඞ්කුර විසින් අවුරුදු දසදහසක් මුළුල්ලෙහි දොළොස් යොදුන් තැන ලිප් බඳවා දුන් මහාදානයට වඩා ඉතා මහත් පල ඇත්තේ වී ය. කතා පුවත “යෙ ඣානපසුතා ධීරා” යන ගාථායෙහි ලා ආයේ ය. ඉන්‍දක අරබයා මෙය වදාළ සේක. එහි දී බුදුරජානන් වහන්සේ අඞ්කුර අමතා “අඞ්කුර! දන්දීම සොයා බලා පරීක්‍ෂා කොට කළයුතු ය, එසේ සොයා බලා පරීක්‍ෂා කොට දෙන දානය සරු කෙතක වපුළ බත් බිජුවට සේ මහත් පල ඇත්තේ වන්නේ ය, ඔබ ‍එසේ නො කළහු ය, එයින් ඔබගේ දානය මහත් පල ඇතියේ නො වී ය”යි මෙය පවසනු පිණිස:

“විචෙය්‍ය දානං දාතබ්බං යත්‍ථ දිනනං මහප්ඵලං,

විචෙය්‍ය දානං සුගතප්පසත්‍ථං

යෙ දක්ඛිණෙය්‍යා ඉධ ‍ජිවලොකෙ,

එතෙසු දින්නානි මහප්ඵලානි

බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ”

යනු වදාරා මත්තෙහි මේ ධර්‍මදේශනාව කළ සේක.

තිණදොසානි බෙත්තානි රාගදොසො අයම්පජා,

තස්මා හි වීතරාගෙසු දින්නං හොති මහප්ඵලං.

.

තිණදොසානි ඛෙත්තානි දො‍සදොසා අයම්පජා,

තස්මා හි වීතදොසෙසු දින්නං හොති මහප්ඵලං.

.

තිණදොසානි ඛෙත්තානි මොහදොසා අයම්පජා,

තස්මා හි වීතමොහෙසු දින්නං හොති මහප්ඵලං.

.

තිණදොසානි ඛෙත්තානි ඉච්ඡාදොසා අයම්පජා,

තස්මා හි විගති‍ච්ඡෙසු දින්නං හොති මහප්ඵලන්ති.

ක්‍ෂෙත්‍රයෝ (කුඹුරු) තෘණදෝෂ ඇත්තාහු ය. (එසේ ම) මේ සත්ත්‍ව ප්‍රජාව රාගදෝෂ ඇත්තී ය. එහෙයින් පහ වූ රාග ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත්පල ඇත්තේ වේ.

ක්‍ෂෙත්‍රයෝ තෘණදෝෂ ඇත්තාහු ය. (එසේ ම) මේ සත්ත්‍ව ප්‍රජාව ද්වේෂදෝෂ ඇත්තී ය. එහෙයින් පහ වූ ද්වේෂදෝෂ ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත්පල ඇත්තේ වේ.

ක්‍ෂෙත්‍රයෝ තෘණදෝෂ ඇත්තාහු ය. (එසේ ම) මේ සත්ත්‍ව ප්‍රජාව මෝහදෝෂ ඇත්තී ය. එහෙයින් පහ වූ මෝහදෝෂ ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත්පල ඇත්තේ වේ.

ක්‍ෂෙත්‍රයෝ තෘණදෝෂ ඇත්තාහු ය. (එසේ ම) මේ සත්ත්‍ව ප්‍රජාව ඉච්ඡාදෝෂ ඇත්තී ය. එහෙයින් පහ වූ ඉච්ඡාදෝෂ ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත්පල ඇත්තේ වේ.

තිණදොසානි ඛෙත්තානි = කුඹුරු තණදොස් ඇත්තා හ.

‘තිණ’ නම්: ගව මහිෂාදීන් විසින් කනු ලබන තණකොළ වල් පැලෑටි ආදිය යි. “තිණීයතෙ තිණහක්ඛෙහි ගොණාදීහි ආදීයතෙ භක්ඛීයතෙති = තීණං” යන විවෘත්ති විසින් ඒ දන්නා ලද්දේ ය. තණ වල් පැලෑටි නැගීමෙන් ප්‍රකෘතියෙන් සරු කෙත් ද නිසරු වන්නේ ය. එබැවින් තෘණ, තෘණදොෂැ යි ගණිත්. කරමැටි බොරළු ගල්කැට ආදිය නිසාත් කෙත් දූෂිත වන බැවින් නිසරු වන බැවින් ඒ කරමැටි ආදියත් තෘණ දෝෂයෙහි ඇතුළත් ය.

‘ඛෙත්ත’ නම්: හැල් - වී - හමු - තිරිඟු - වරා - යව - තණ - උඳු - මුං ඈ වපුරණ ගොඩගොයම් මඩගොයම් කරණ තැන් ය. “බීජානා ඛිපීයන්ති ඛ්පන්ත්‍යසමින්ති වා ඛෙත්තං” යන විදැහීමෙන් එය පැහැදිලි ය.

රාගදොසො අයම්පජා = මේ සත්ත්‍වප්‍රජාව රාගදෝස ඇත්තී ය.

කුඹුරු, තණ වල් පැලෑටි කරමැටි ආදිය නැගීමෙන් දූෂිත වන්නා සේ නිසරු වන්නා සේ මේ ලෝකයෙහි ඇති තාක් සත්ත්‍වයෝ රාගයෙන් දූෂිතයහ. රාගයෙන් රත් ව ගියහ. මනවඩන සිත්කලු රූපශබ්දාදිය අරමුණු කොට රූපශබ්දාදියෙහි එල්බ ගැණීමෙන් සිතෙහි උපදනා ඇල්ම බැඳීම ‘රාග’ නම්. [1] පෘථග්ජන සන්තානයෙහි ඉතා පහසුවෙන් උපදනා මේ ඇල්ම සසරදුකින් ගැලවී යනතුරු ම අර්‍හනමාර්‍ගඥානය ලබන තෙක් ම සත්ත්‍වයා දූෂිත කරන්නේ ය. සත්ත්‍වයා නො මග යවන්නේ ය. අයුත්තෙහි යොදන්නේ ය.

තස්මා හි වීතරාගෙසු දින්නං හොති මහප්ඵලං = එහෙයින් පහ වූ රාග ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත් පල ඇත්තේ වේ.

අර්‍හනමාර්‍ගඥානයෙන් රාගය නසා සිටි රහතුන් වහන්සේලාට දෙන ලද දානය ම ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්තිවිපාක දානයෙන් මහත් පල ඇත්තේ වේ. රාගයෙන් දූෂිත වූවනට රාගයෙන් රත් වූවනට දෙනලද දැනය එබඳු මහත් පල මහත් අනුසස් ඇත්තේ නො වේ.

තිණදොසානි ඛෙත්තානි = කුඹුරු තණදොස් ඇත්තාහ.

දො‍සදොසා අයං පජා = මේ සත්ත්‍වප්‍රජාව ‍ද්වේෂදෝෂ ඇත්තී ය.

කුඹුරු, තණදොසින් ගැවසී ගත්තා සේ මේ ලෝකයෙහි ඇති තාක් සත්ත්‍වයෝ ‍ද්වේෂයෙන් දුෂ්ටයහ. ද්වේෂයෙන් දූෂිතයහ.

සිත් නො ගත් සිත් නො ද පිණවන අරමුණු කරණ කොට සිත්හි උපදනා සැඩගතිය ‘දොස’ නම්. [2] මෙ ද සසරදුක් නසාලන තුරු ම මුල් නො තබා සිතින් ගලවාලනතුරු ම සත්ත්‍වයා දූෂිත කරන්නේ ය. සත්ත්‍වයා මිනීමරුවකු කරන්නේ ය. සැඩ ගතිය සිත්හි නැගී ආවිට මව මරන්නේ ය. පියා මරන්නේ ය. රහතුන් මරන්නේ ය. අන්හු මරණු කියනු ම කිම;

තස්මා හි වීතදොසෙසු දින්නං හොති මහප්ඵලං = එහෙයින් පහ වු ‍ද්වේෂ ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත් පල ඇත්තේ වේ.

අර්‍හනමාර්‍ගඥානයෙන් ද්වේෂය නසා සිටි රහතුන් වහන්සේලාට දෙනලද දානය ම ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්තිවිපාක දානයෙන් මහත් පල ඇත්තේ වේ. ද්වේෂයෙන් දුෂ්ට වූවනට ‍ද්වේෂයෙන් චණ්ඩ වූවනට දෙනලද දානය එබඳු මහත් පල මහත් අනුසස් ඇත්තේ නො වේ.

තිණදොසානි ඛෙත්තානි = කුඹුරු තණදොස් ඇත්තාහ.

මොහදොසා අයං පජා = මේ සත්ත්‍වප්‍රජාව මෝහදෝස ඇත්තී ය.

කුඹුරු, තණදොසින් ගැවසී ගත්තා සේ මේ ලෝකයෙහි ඇති තාක් සත්ත්‍වයෝ මෝහයෙන් දූෂිතයහ. මෝහයෙන් මුළා වූහ. මෝහයෙන් අන්‍ධයහ.

අරමුණු තතු නො දැනීම අරමුණු වල සත්ත්‍වයන් මුළා කරණ කුසල් - අකුසල් - හොඳ නො‍ හොඳ - යුතු - අයුතු - ගුණ - අගුණ නො වැටහෙන් ගතිය ‘මොහ’ නම්. [3] මෙ ද සසර දුක් ගෙවාලන තුරු ම, මුල් නො තබා සිතින් උදුරා දමන තුරු ම සත්ත්‍වයා දූෂිත කරන්නේ ය. සත්ත්‍වයා ජඩ කරන්නේ ය. ගොත් කරන්නේ ය.

තස්මා හි වීතමොහෙසු දින්නං හොති මහප්ඵලං = එහෙයින් පහ වූ මොහ ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත් පල ඇත්තේ වේ.

අර්‍හනමාර්‍ගඥානයෙන් මෝහය නසා සිටි රහතුන් වහන්සේලාට දෙන ලද දානය ම ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්තිවිපාකදානයෙන් මහත් පල ඇත්තේ ‍වේ. මෝහයෙන් මූඪ වූවනට මෝහයෙන් ජඩ වූවනට දෙන ලද දානය එබඳු මහත් පල මහත් අනුසස් ඇත්තේ ‍නො වේ.

තිණදොසානි ඛෙත්තානි = කුඹුරු තණදොස් ඇත්තාහ.

ඉච්ඡාදොසා අයං පජා = මේ සත්ත්‍වප්‍රජාව ඉච්ඡා දෝස ඇත්තී ය.

ඉච්ඡා, යනු තෘෂ්ණාවට නමෙකි. තෘෂ්ණාව, කුදු මහත් කිසිවක් නො හැර හැම දැයක් ම සොයන බැවින් හැම දැයක් පතන බැවින් ඉච්ඡා නම් වේ. මෙ ද සසරදුක් නසාලන තුරු ම මුල් නො තබා සිඳ හරින තුරු ම සත්ත්‍වයා දූෂිත කරන්නේ ය. සත්ත්‍වයා කුදු මහත් හැම දැයෙහි ප්‍රේතයකු කරන්නේ ය. කැතකම් කරන්නකු කරන්නේ ය. [4]

තස්මා හි විගතිච්ඡෙසු දින්නං හොති මහප්ඵලං = එහෙයින් පහ වූ ඉච්ඡාදෝස ඇතියවුන් කෙරෙහි දුන් දන ම මහත් පල ඇත්තේ වේ.

අර්‍හනමාර්‍ගඥානයෙන් ඉච්ඡාව නසා සිටි රහතුන් වහන්සේලාට දෙනලද දානය ම ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්තිවිපාක දානයෙන් මහත්පල ඇත්තේ වේ. ඉච්ඡායෙන් බඩජහරි වූවනට ඉච්ඡායෙන් කෙල වගුරන්නවුනට දෙන ලද දානය එබඳු මහත් පල මහත් අනුසස් ඇත්තේ නො වේ.

අර්‍හනමාර්‍ගඥානයෙන් සිදුවන කෙලෙස් නැසීම එකවට ම වනු මුත් රාගය නැසී ගියපසු ද්වේෂයත් ද්වේෂය නැසී ගියපසු මෝහයත් නැසී යනු නො වන්නේ ය.

අර්‍හනමාර්‍ගඥානය තමා රාගද්වේෂමෝහාදී වූ සත්ත්‍වයන්ගේ සිත් තුළ කෙළවරක් නො කියැකි කාලයක පටන් තදබද ව සිටුනා සියලුම කෙලෙස් එකවට සිඳලන්නේ ය. ශ්‍රාවකයන්ගේ අවබෝධය පහසු කරණු පිණිස බුදුරජානන් වහන්සේ රාග දෝස මෝහ ඉච්ඡා යන මේ කෙලෙස් සතර වෙන් වෙන් කොට දක්වා වදාළ සේක. අර්‍හනමාර්‍ගඥානයෙන් රාගය මුළුමනින් නැසී ගිය පසු දෝෂමෝහයන්ගේ ඉතිරිවීමෙක් නො වන්නේ ය. හෙන පහරින් මුළුගස ඇද වැටෙන්නා සේ අර්‍හනමාර්‍ගඥානයෙන් සියලු කෙලෙස් නැසී යන්නේ ය. එහෙයින් රාග දෝෂ මෝහ ඉච්ඡා යන කෙලෙස් නසා සිටි මහරහතුන් වහන්සේට ම දෙනලද දානය ප්‍රතිස්න්‍ධි ප්‍රවෘත්තිවිපාක වශයෙන් ප්‍රධාන විසින් මහත් පල වේ ය, යි දත යුතු ය.

මේ මෙසේ වත් ම චතුර්විද මාර්‍ගඥානය පිණිස පිළිවෙත් පුරණ අන්සව්වකහට ද මහරහතුන් වහන්සේගේ ගුණයෙහි බැඳී සිට දෙනු ලබන දානය ද මහත් පල වනු පිණිස බුදුරජානන් වහන්සේ විසින් ශාසනක්‍ෂෙත්‍රය සකස් කොට වදාළෝ ය.

මේ ගාථා සතරෙහි යෙදී සිටි ‘හි’ යනු නිපාත ය. එය රාග - ද්වේෂ - මෝහ - තෘෂ්ණාක්ලේශ ධර්‍ම නසා සිටි මහරහතුන් වහන්සේට දෙන ලද දානය ම මහත් පල මහත් අනුසස් ඇත්තේ ය යනු එකාන්ත විසින් තීරණය කරන්නේ ය. නිශ්චිත කරන්නේ ය. එහි වෙනසක් නො වන බව කියා ලන්නේ ය.

අඞ්කුරවස්තුව නිමි.

  1. 15-4 ‘නත්‍ථි රාගසමො අග්ගි’ යනු බලනු.

  2. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

  3. 14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

  4. 14-6 ‘දුක්ඛසමුප්පාදං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.