මාතරං පිතරං හන්ත්‍වා රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණො.
(තෘෂ්ණා නැමැති) මව ද, (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතදෘෂ්ටි උච්ඡේදදෘෂ්ටි නැමැති) ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද (රහත්මඟ නැණ නැමැති) කගින් වනසා, (නන්‍දිරාග නැමැති) අයකැමියා සහිත (ද්වාදශායතන නැමැති) රට ද වනසා, බාහිතපාප බ්‍රාහ්මණ තෙම (රහත් තෙම) නිදුක් වැ (නිවන් පුර) යන්නේ ය.
මාතරං පිතරං හන්ත්‍වා රාජානො ද්වෙ ච සොත්තියෙ
වෙය්‍යග්ඝපඤ්චමං හන්ත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණො.
(තෘෂ්ණා නැමැති) මව ද (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි නැමැති) බමුණු රජුන් දෙදෙනා ද (රහත්මඟ නුවණ නැමැති කගින්) නසා, (විචිකිච්ඡා නැමැති) ව්‍යාඝ්‍රසංචාර මාර්‍ගය පස්වනු කොටැති නීවරණ ද නසා, (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ තෙමේ නිදුක් වූයේ නිවන්පුර යෙයි.
එක් දවසෙක බුදුරජුන් දක්නට බොහෝ ආගන්තුක භික්‍ෂූහු දෙවරම් වෙහෙරට පැමිණියහ. ඔවුහු එහි දිවාස්ථානයෙහි වැඩහුන් බුදුරජුන් වෙත එළැඹැ වැඳ එකත් පසෙක හුන්හ. ඒ වේලෙහි ලකුණ්ටක භද්දිය ස්ථවිරයන් වහන්සේ බුදුරජුන්ට නො දුරෙහි ගියහ. බුදුරජානන් වහන්සේ එහි පැමිණ හුන් ඒ ආගන්තුක භික්‍ෂූන්ගේ සිත්හසර දැන “මහණෙනි! බලවු, මේ මහණ, ලකුණ්ටක භද්දිය මවුපියන් නිසා නිදුක් ව යන්නේ ය”යි වදාළ විට ඒ භික්‍ෂුහු “බුදුරජානන් වහන්සේ මේ කුමක් වදාරණ සේක් දැ”යි සැකයට වැටුනෝ එකෙකා උනුන් මුහුණ බලා “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ කුමක් වදාරණ සේක් දැ?”යි අසා සිටියහ. එකල්හි උන්වහන්සේ මේ ධර්‍මදේශනාව කළ සේක.
මාතරං පිතරං හනත්‍වා රාජානො ද්වෙ ච ඛත්තියෙ,
රට්ඨං සානුචරං හනත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණොතීති.
මව ද පියා ද ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද නසා අය කැමියා සහිත වූ රට ද නසා බ්‍රාහ්මණ තෙමේ නිදුක් ව යන්නේ ය.
මාතරං පිතරං හනත්‍වා රාජානො ද්වෙ ච ඛත්තියෙ = මව ද පියා ද රජුන් දෙදෙනා ද නසා.
මාතු - පිතු යන ප්‍රකෘති දෙකින් මාතරං, පිතරං යි ආයේ හනත්‍වා යනු බලා ය. “තණ්හා ජනෙති පුරිසං” යි වදාළ බැවින් භවත්‍රයයෙහි සත්ත්‍වයන් උපදවන තෘෂ්ණාව මාතා නමි. “තිසු භවෙසු සත්තානං ජන්නතො තණ්හා මාතු නාම” යනු ව්‍යක්තිය යි. [1] “අසුවල් රජුගේ රජ ඇමතිහුගේ පුත් වෙමි” යි පියා නිසා පුතුට මානය උපදනා බැවින් නවවිධ වූ අසම්මානය පිතු නමි. මේ එහි ව්‍යක්තිය. “අහං අසුකස්ස නාම රඤ්ඤො වා රාජ මහාමත්තස්ස වා පුත්තොති පිතරං නිස්සාය අසමිමානස්ස උප්පජ්ජන්තො අසමිමානො පිතා නාම” යනු. [2]
මෙහි වූ ‘ඛත්තියෙ’ යනු ‘රාජානො’ යනු වෙසෙසා සිටියේ ය. දාන - ප්‍රියවචන - අර්‍ත්‍ථචර්‍ය්‍යා - සමානාත්මතා යන සිවු සඟරාවතින් මහදනා තමන් කෙරෙහි රඳවනුයේ රාජ නමි. “දානඤ්ච පියවචනඤ්ච අත්‍ථචරියා ච සමානත්තා චාති චාතූහි සඞ්ගහවත්‍ථූහි අත්තනි ජනං රඤ්ජෙති ති = රාජා” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි. “අතිතෙජවන්තතාය විසෙසෙන රාජතෙ දිප්පතෙති” යි කී බැවින් අතිශය තෙජවත් භාවයෙන් වෙසෙසින් බබලා නු යි ‘රාජ’ නමි. මුර්ද්ධාභිෂික්ත තෙමේ ම රාජා යි ගණු ලැබේ. ක්‍ෂත්‍රියජාති ඇතියේ රාජන්‍ය - ක්‍ෂත්‍රිය යි ගැණේ. මෙය මෙසේ කිහ.
“මුද්ධභිසිත්තො රාජාති කථිතො ඉතරො පන,
රාජඤ්ඤො ඛත්තියො චාති වුත්තො ඛත්තියජාතිකො” යි.
“ඛත්තස්ස අපච්චං = ඛත්තියො” යනු ද සිහියට ගන්නේ ය. ආදාකල්පිකමනුෂ්‍ය තෙමේ ක්‍ෂෙත්‍රයනට අධිපති ව සිටියේ ක්‍ෂත්‍රිය යි ද කියනු ලැබේ. “ක්‍ෂදති රක්‍ෂති ජනාන් = ක්‍ෂත්‍රඃ” ජනයා රකිනුයේ ක්‍ෂත්‍ර. “ක්‍ෂතාත් ත්‍රායතේ ඉති = ක්‍ෂත්‍රඃ” රණබිමෙහි ලා ක්‍ෂතයෙන් රකිනුයේ ක්‍සත්‍ර. ක්‍ෂත්‍රම ක්‍ෂත්‍රිය නම්. ක්‍ෂත්‍රියයෝ දෙන්නෝ ය. නො ද ඉල්ලන්නෝ ය. යාග කරන්නෝ ය. යාග නො ද කරවන්නෝ ය. ඉගෙණ ගන්නෝ ය. නො ද උගන්වන්නෝ ය. ප්‍රජාවන් රකින්නෝ ය. රණබිමෙහි පරාක්‍රමය දක්වන්නෝ ය. මොවුහු දෙශදෙශයෙන් නාම විසින් විවිධය හ. පලක්‍ෂද්වීපයෙහි ක්‍ෂත්‍රියයෝ පතඞ්ග නම්. ශාල්මලද්වීපයෙහි ක්‍ෂත්‍රියයෝ වීර්‍ය්‍යධර නම්. කුසද්වීපයෙහි වූවෝ කොවිද නම්. ක්‍රෞඤ්චද්වීපයෙහි වූවෝ ඍෂභ නම්. ශාකද්වීපයෙහි වූවෝ සත්‍යව්‍රත නම්. ගෝත්‍ර විසිනුදු මොවුන්ගේ භේද බොහෝ ය. ඒ හැම ග්‍රන්‍ථාන්තරයෙන් දත හැක්කේ ය.
මෙහි ලෝවැසියනට ආශ්‍රය වූ රජුන් මෙන් සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටීන්ට ආශ්‍රයස්ථාන වූ ශාශ්වත - උච්ඡෙද දෘෂ්ටි දෙක ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා කොට වදාළ සේක. මේ අටුවා: ලොකො විය රාජානං යස්මා සබ්බාදිට්ඨිගතානි ද්වෙ සස්සතුච්ඡෙදදිට්ඨියෝ භජන්ති, තස්මා ද්වෙ සස්සතුච්ඡෙදදිට්ඨියො ද්වෙ ඛත්තියරජානො” යනු. [3]
රට්ඨං සානුචරං හනත්‍වා = අයකැමි සහිත රට ද නසා
චක්ඛු - සෝත - ඝාන - ජිහ්වා - කාය - මන - රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන ආද්ධ්‍යාත්මික - බාහිර ආයතන දොළොස, පැතිර පවත්නා අරුතින් රටක් වැනි නු යි රට්ඨ. ඒ ආයතනයන් ඇසුරු කොට පවත්නා නන්‍දිරාගය අනුචරයකු වැනි නු යි අනුචර. මේ අටුවා: “ද්වාදසායතනා ති විත්‍ථතට්ඨෙන රට්ඨ සදිසත්තා රට්ඨං නාම, ආයාසාධකො ආයුත්තකපුරිසො විය තං නිස්සිතො නන්‍දිරාගො අනුචරො නාම” යනු. [4]
මෙහි දෙතැනක යෙදී සිටි හනත්‍වා යන පූර්‍වක්‍රියා දෙකින් වදාරණ ලද්දේ තෘෂ්ණාවත් අසම්මානයත් ආයතන ඇසුරු කොට පවත්නා නන්‍දිරාගයත් රහත්මගනැණින් නැසී යන බව ය.
අනීඝො යාති බ්‍රාහ්මණො = බ්‍රාහ්මණ තෙමේ නිදුක් ව යන්නේ ය.
නීඝ නම්: පාපය යි. පින් නසන්නේ පාපය යි. අධිගමයෙහි වීර්‍ය්‍ය රහිත වූයේ ද නීඝ යි කියනු ලැබේ. “නිහන්ති පුඤ්ඤං හිංසතීති වා = නීඝො, නත්‍ථි අධිගමත්‍ථ ඊහා එත්‍ථානි” යනු එයරුත් පැහැදිලි කරන්නේ ය. පින් නසාලන, අධිගමයෙහි පැවැති වීර්‍ය්‍යය සිඳලන පව් නැතියේ ‘අනීඝ’ නම් වේ. ‘බ්‍රාහ්මණො’ යනු වෙසෙසෙන්නේ ය. බ්‍රාහ්මණ නම්: මෙහි පව් බැහැර කළ රහතුන් වහන්සේ ය.
තවත් දවසෙක බුදුරජුන් දැකීමට පැමිණි ආගන්තුක භික්‍ෂූන්ගේ සිත්හසර දුටු බුදුරජානන් වහන්සේ එ වේලෙහි තමන් වහන්සේට නො දුරෙහි ගිය ලකුණ්ටකභද්දිය තෙරුන් දැක මේ ධර්‍මදේශනාව ද කළ සේක.
මාතරං පිතරං හනත්‍වා රාජානො ද්වෙ ච සොත්‍ථියෙ,
වෙය්‍යග්ඝපඤ්චමං හනත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණොති.
මව ද, පියා ද බමුණු රජුන් දෙදෙනා ද නසා ව්‍යාඝ්‍රසඤ්චාරමාර්‍ගය පස්වනු කොට ඇති නීවරණ ද නසා බ්‍රාහ්මණ තෙමේ නිදුක් ව යන්නේ ය.
මෙහි ද මාතරං - පිතරං යනු යට කියූ සේ දත දතු ය. රාජානො - සොත්‍ථියෙ යන දෙ පදයෙන් ශාශ්වත - උච්ඡෙදදෘෂ්ටි ගැණේ. ශාශ්වත - උච්ඡෙදදෘෂ්ටි දෙක බමුණු රජුන් දෙදෙනෙකු කොට වදාළෝ බුදුරජානන් වහන්සේ තමන් ධර්‍මෙශ්වර බැවින් හා දේශනා විධියෙහි දක්‍ෂ බැවිනි.
සොත්‍ථිය, යනු වෛදිකබ්‍රාහ්මණයන් කෙරෙහි ආයේ ය. මෙය සංස්කෘතයෙහි ශ්‍රොත්‍රිය නම්. ශ්‍රෝත්‍ර යනු මෙහි වෙදය යි. “ශ්‍රොත්‍රං වෙත්ති අධීතෙ වා = ශ්‍රොත්‍රියඃ” වෙද හදාරණුයේ ශ්‍රොත්‍රිය නම්. බ්‍රාහ්මණ වනුයේ උත්පත්තියෙනි. ද්විජ වනුයේ සංස්කාරවිධියෙනි. විප්‍ර වනුයේ විද්‍යාභ්‍යාසයෙනි. උත්පත්ති - සංස්කාරවිධි - විද්‍යාභ්‍යාස යන මෙයින් ශ්‍රෝත්‍රිය වන්නේ ය. මේ එය කී සැටි:
“ජන්මතා බ්‍රාහ්මණො ඥෙයඃ සංස්කාරෛර්ද්විජ උච්‍යතෙ,
විද්‍යාභ්‍යාසී භවෙද්විප්‍රඃ ශ්‍රොත්‍රියස්ත්‍රිහිරෙව හි” යි.
වෙය්‍යග්ඝපඤ්චමං හනත්‍වා = ව්‍යාඝ්‍රසඤ්චාරමාර්‍ගය පස්වනු කොට ඇති නීවරණ ද නසා.
ව්‍යාඝ්‍රසඤ්චාරය ඇති භය සහිත වූ නො බැසිය හැකි මග වෙය්‍යග්ඝ නම්. “එත්‍ථ ව්‍යග්ඝානුචරිතො සප්පටිභයො දුප්පටිපජ්ජො මග්ගො වෙය්‍යග්ඝො නාම” යනු අටුවා. විචිකිච්ඡානීවරණය ද ඒ හා සමාන බැවින් ‘වෙය්‍යග්ඝ’ නම් වේ. වෙය්‍යග්ඝ නම් වූ ඒ විචිකිච්ඡානීවරණය පස්වනු වූයේ කාමච්ඡන්දනීවරණයන්ට ය. එහෙයින් කාමච්ඡන්දාදීනීවරණ පඤ්චකය වෙය්‍යග්ඝපඤ්චමැ යි වදාළ සේක. “විචිකිච්ඡානීවරණම්පි තෙන සදිසතාය වෙය්‍යග්ඝං නාමං, තං පඤ්චමං අස්සාති = වෙය්‍යග්ඝපඤ්චමං, නීවරණ පඤ්චකං වෙය්‍යග්ඝපඤ්චමං නාම” යනු අටුවා. [5] මෙ ද නැසිය යුත්තේ රහත්මග නැණින් ය. හනත්‍වා යනු වදාළෝ එහෙයිනි.
අනීඝො යාති බ්‍රාහ්මණො = බ්‍රාහ්මණ තෙමේ නිදුක් ව යන්නේ ය.
තෘෂ්ණාවත් අසමිමානයත් මිත්‍ථ්‍යාදෘෂ්ටියත් නීවරණත් නසා රහතුන් වහන්සේ නිවන්පුරයට වදනා සේක.
ලකුණ්ටකභද්දියස්ථවිර වස්තුව නිමි.