21-5 යකුන්ගෙන් රැකුනු දරුවා

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා

යෙසං දිවා ච රත්තො ච නිච්චං බුද්ධගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර බුදුගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ. (බුදුගුණ සලකා ගෙණ යෙහෙන් නිදා යෙහෙන් පුබුදින්නාහ).

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා

යෙසං දිවා ච රත්තො ච නිච්චං ධම්මගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර) ධර්‍මය අරබයා උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා

යෙසං දිවා ච රත්තො ච නිච්චං සඞ්ඝගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් සඟගුණ ඇරබැ උපන් සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා

යෙසං දිවා ච රත්තො ච නිච්චං කායගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (ද්වත්තිංසාකාර වශයෙන් හෝ නවසීවථිකා වශයෙන් හෝ චතුධාතුවවත්‍ථාන වශයෙන් හෝ අජ්ඣත්තික නීලකසිණාදී වශයෙන් හෝ) කය ඇරැබැ උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම් සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා.

යෙසං දිවා ච රත්තො ච අහිංසාය රතො මනො.

යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් අහිංසාභාවනායෙහි (කරුණා භාවනායෙහි) ඇලුනේ ද ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදිත්.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා

යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනො.

යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් (මෙත්) බවුන්හි ඇලුනේ ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා ව පුබුදිත්.

රජගහ නුවර සම්දිටු ගත්තකුගේ පුතෙක, මිසදිටු ගත්තකුගෙ පුතෙකැ යි ලා බාල දරුවෝ දෙදෙනෙක් එක් ව නිතර පන්දු ගසන්නෝ ය. ‍ඒ දෙදෙනා අතුරෙහි සම්දිටු ගත්තහුගේ පුත්‍රයා නූල් පන්ද යවනුයේ “බුදුරජුන්ට නමස්කාර වේවා” යි කියමින් පන්ද යවන්නේ ය. අනෙකා ද තීර්‍ත්‍ථකයන්ගේ ගුණ සිහි කොට “රහතුන්ට නමස්කාරැ”යි පන්ද යවන්නේ ය. උන් දෙන්නා අතුරෙහි සම්දිටු ගත්තහුගේ පුත්‍රයා දිනන්නේ ය. අනෙකා පරදින්නේ ය. පරදින්නේ නො පරදින්නහුගේ නමස්කාරය අසා “මෙතෙමේ මෙසේ සිහි කොට මෙසේ කියා පන්ද යවනුයේ මා පරද වන්නේ ය. මමත් ඌ මෙන් කරන්නෙමි” යි බුද්ධානුස්සතිය පුරුදු කෙළේ ය.

දවසක් ඔහුගේ පියා ගැල යොදා ගෙණ දර ගෙණ එන්නට වලට යන්නේ පුතු ද කැඳවා ගෙණ ගියේ ය. ගොස් එහි දී දර වලින් ගැල පුරවා ගෙණ නික්ම එන්නේ නුවරින් පිටත සොහොනක් ලඟ දී දිය පහසු තැනක ගොනුන් ලිහා හැර බත් කන්නට පටන් ගත්තේ ය. ඔහුගේ මුදා හළ ඒ ගොන්නු ද සවස් වේලෙහි නුවරට වදනා ගොන් රැලක් සමඟ එක් ව නුවරට ඇතුල් වූහ. ගැල්කරු ද ගොන් බලා ඇවිද නුවරට වැද සොයනුයේ රෑ වන්න ලං ව තිබිය දී ගොනුන් දැක අල්වා ගෙණ එන්නේ වාසල් දොර වසන්නට පෙරාතු ව වාසල් දොරට පැමිණෙන්නට නො හැකි විය. ඔහු එහි ලඟා වන්නට පෙර දොර වසා තුබුනේ ය. එහෙයින් ඔහුගේ පුත්‍රයා එකලා ව ම රාත්‍රි කාලයෙහි ගැලයටට වී නිදි ගත්තේ ය. රජගහ නුවර ස්වභාවයෙන් ම යක් රකුස් ඈ අමනුෂ්‍යයෝ බොහෝ ය. මේ දරු ද සොහොන ලඟ නිදි ගත්තේ ය. එහි දී අමනුෂ්‍යයෝ දෙදෙනෙක් එ දරු දුටහ. උන්ගෙන් එකෙක් මිසදිටු ගත්තෙක. සසුනට පටහැනි ය. එකෙක් සම්දිටු ගත්තේ ය. මිසදිටුවා “මේ අපට ගොදුරෙක, මූ කම්හ” යි කී ය. එවිට මිසදිටුවා “වැඩෙක් නැත, එය තට රුචි නො වේවා”යි වළකා ලී ය. එහෙත් ඌ වළකාලන ගමනේ දීත් කන්නට සිතා දරු පයින් ගෙණ ඇද්දේ ය. එ කෙණෙහි දරු ද පිබිද බුදුගුණ සිහි කොට “බුදුරජුන්ට නමස්කාර වේවා”යි හඬ නගා කියේ ය. අමනුෂ්‍ය ද බියපත් ව ආපසු හැරී සිටියේ ය. සම්දිටු ගත් යක්‍ෂ තෙමේ “අප විසින් නො කටයුත්තෙක් කරණ ලද්දේ ය, එයට තට දඬුවම් කරම්”යි දරු රැක සිටියේ ය. නැවැත මිසදිටු ගත් යක්, නුවරට වැද රජගෙට ගොස් රජුගේ බොජුන්පත පුරටවා බත්තලියක් ගෙණායේ ය. යක්කු දෙදෙන ම දරුගේ මවුපියන් මෙන් එ දරු වඩා ගෙණ බත් කවා බත් ගෙණ ආ තලියේ ඒ සියලු පුවත ලියා “රජ තෙමේ ම මේ අකුරු දකීවා, අනෙකෙක් නො දකීවා”යි තලිය, ගැලෙහි තුබූ දර අස්සේ සඟවා තබා මුළු රැය දරුට රැකවල් ගෙණ සිට අලුයම නැගී ගියහ.

පසුදා රජගෙයි රජු වළඳනා බොජුන්පත ‍සොරුන් විසින් පැහැර ගන්නා ලදැ’යි මුළුනුවර මහත් සේ කොලාහලයෙක් විය. ආරක්‍ෂක පුරුෂයෝ මිනිසුනට පිටත යා නො දී වාසල සැම තැන දොර යතුරු ලා බලා එහි නො දක්නෝ නුවරින් බැහැර ඈත මෑත පරික්‍ෂා කරන්නාහු ඒ ගැලෙහි දර අස්සේ තුබූ ඒ රන්තලිය දැක “මූ සොරුය යි දරු අල්වා ගෙණ ගොස් රජු ඉදිරියට පමුණුවාලූහ. රජ තෙමේ එහි වූ අකුරු කියවා බලා “දරුව! මේ කිමැ?”යි ඇසී ය. දරු ද “දේවයන් වහන්ස! මම නො දනිමි, මාගේ මවුපියෝ අවුත් රෑ මට බත් කවා රැකවල් ගෙණ සිටියහ, මමත් මාගේ මවුපියෝ මා රකිත්’යි බිය රහිතව නිදා ගත්තෙමි, මෙ පමණක් ම මම දනිමි”යි කි ය. ඉක්බිති එ දරුගේ මවුපියෝ එහි ගියහ. රජ තෙමේ එ පුවත දැන ඒ තිදෙනාත් කැටුව බුදුරජුන් වෙතට ගොස් සියල්ල දන්වා “ස්වාමීනි! කිම? බුද්ධානුස්සතිය ම මහාජනයාට රැකුම් පිණිස වන්නී ද?, නැති, ධම්මානුස්සති ආදීහුත් රැකුම් පිණිස වෙත් දැ?”යි ඇසූයේ ය. බුදුරජානන් වහන්සේ “මහරජ! බුද්ධානුස්සතිය ම පමණක් රැකුම් පිණිස වන්නී නො වේ, යම් කෙනෙකුන් විසින් බුද්ධානුස්සති ආදී වූ සවැදෑරුම් අනුස්සතීන්ගෙන් සිත වඩනා ලද නම් ඔවුනට අන්‍ය වූ රක්‍ෂාවරණයෙකින් හෝ මන්ත්‍රෞෂධයෙකින් වැඩෙක් නැතැ”යි වදාරා ඒ අනුස්සතීන් දක්වන සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා,

යෙසං දිවා ච රත්තො ච නිච්චං බුද්ධගතා සති.

.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා,

යෙසං දිවා ච රත්තො ච නිච්චං ධම්මගතා සති.

.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා,

යෙසං දිවා ච රත්තො ච නිච්චං සඞ්ඝගතා සති.

.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා,

යෙසං දිවා ච රත්තො ච නිච්චං කායගතා සති.

.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා,

යෙසං දිවා ච රත්තො ච අහිංසාය රතො මනෝ.

.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා,

යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනෝ.

යම් කෙනකුන්හට දහවලත් රෑත් නිතර බුදුගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, (ඒ) ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යම් කෙනකුන්හට දහවලත් රෑත් නිතර දහම්ගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, (ඒ) ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යම් කෙනකුන්හට දහවලත් රෑත් නිතර සඟගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, (ඒ) ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යම් කෙනකුන්හට දහවලත් රෑත් නිතර කය ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, (ඒ) ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යම් කෙනකුන්ගේ සිත දහවලත් රෑත් නිතර අහිංසාභාවනායෙහි ඇලුනේ ද, (ඒ) ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යම් කෙනකුන්ගේ සිත දහවලත් රෑත් භාවනායෙහි ඇලුනේ ද, (ඒ) ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා = සියලු කල්හි ගෞතමශ්‍රාවකයෝ මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

ගොතමසාවකා, යන සමස්තයෙහි එන ‍ ගොතම ශබ්දයෙන් අපගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ගැණෙන සේක. උන් වහන්සේ ගෞතම ශබ්දයෙන් හඳුන්වන ලද සේක් උන්වහන්සේගේ වංශයෙහි ආදිම පුරුෂ ගෞතමර්ෂි බැවිනි. ගෞතමර්ෂි පරම්පරායෙහි පහළ වූ දස දහස් ගණනක් රාජපුරුෂයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ස්ථානය දිනුවෝ බුදුරජානන් වහන්සේ ය. ගෞතමගේ පුත්‍රපෞත්‍රයෝ ගොතම - ගෞතම නමින් ප්‍රකට වූහ. ගෞතමර්ෂි තෙමේ සප්තර්ෂීන් අතුරෙහි එකෙකි. හරිවංශයෙහි සප්තර්ෂීහු මෙසේ දක්වන ලදහ.

“අත්‍රිර්‍වශිෂ්ඨො භගවාන් කාශ්‍යපශ්ව මහානෘෂිඃ,

ගෞතමශව භරද්වාජො විශ්වාමිත්‍රස්තථෛව ච.

.

තථෛව පුත්‍රො භගවාන් ඍවීකස්‍ය මහාත්මනඃ

සප්තමො ජමදග්නිශ්ව ඍෂයඃ සාමප්‍රතං දිවි” යි.

තව ද පූර්‍වයුගයෙහි, එකත - ද්විත - ත්‍රිත යි සහෝදරයෝ තිදෙනෙක් වූහ යි ද, ඔවුන්ගේ තපස් තෙදින් හා කායසංයමයෙන් හා ඉන්‍ද්‍රිය දමනයෙන් හා ගෞතම පහළ වී ය යි මහභාරතයෙහි කියන ලද්දේ ය. මේ එය:

“ආසන් පූර්‍වයුගෙ රාජන් මූනයො භ්‍රාතරස්ත්‍රයඃ,

එකතශ්ව ද්විතශ්චෛ ව ත්‍රිතශ්වාදිත්‍යසන්නිභාඃ

.

තෙෂාං තු තපසා ප්‍රීතො නියමෙන දමෙන ච,

අභවද්ගෞතමො නිත්‍යං පිතා ධර්‍මරතඃ සදා” යි.

ගෞතම, බ්‍රහ්මපුත්‍රයෙකැ යි කියනා ලද්දේ ය.

ආදියෙහි ගෞතම නමින් පළට වූ මේ පුත්‍රපෞත්‍රපරම්පරායෙහි වූවෝ කලින් කල විවිධහේතූන් නිසා ගෝත්‍රනාම විසින් විවිධත්‍වයට පැමිණියහ. බුදුරජුන්ගේ පියමුතුපරපුර පසු කාලයෙහි ශාක්‍යවංශ නමින් හැඳුනුනේ ද එහෙයිනි. පූර්විකගෝත්‍ර නාම විසින් ගෞතම යනුත් පශ්චිම නාම විසින් ශාක්‍ය යනුත් උන්වහන්සේ කෙරෙහි නැගුනේ ය. ඉක්‍ෂවාකු - සූර්‍ය්‍ය - චන්‍ද්‍ර ආදී ගෝත්‍රයෝ ද ගෞතමගෝත්‍රයට අයත් වෙති. මද්ධ්‍යමකාලයෙහි උපන් කපිල මුනිහුගේ අසපුවෙහි ශාකවෘක්‍ෂ ඇසුරු කොට ඒ අසල විසූ බැවින් පසු කාලයෙහි ශාක්‍ය නම් වූහ.

“ශාකවෘක්‍ෂප්‍රතිච්ඡන්නං වාසං යස්මාත් ප්‍රවක්‍රිරෙ,

තස්මාදික්‍ෂවාකුවංශ්‍යාස්තෙ භුවි ශක්‍යා ඉති ශ්‍රැතාඃ”

යි එය කීහ.

“නො ගෙවෙන යශස් ඇති සූර්‍ය්‍යවංශයෙහි සූවාසූ දහසක් රජ දරුවනට කෙළවර විජය නම් රජෙක් විය. ඔහුට දරුමුනුබුරන් ඇතුළු ව රජදරුවෝ පසළොස් දෙනෙක් වූහ. මේ හැමට බාල සුදර්‍ශන නම් රජුගේ පුත්, ඉක්‍ෂවාකු නමින් පළ වූයේ ය. ඔහුගේ පුත්‍රපෞත්‍රපරම්පරාව එතැන් සිට එනමින් ප්‍රක‍ට වූ ය. අප මහ බෝසත් තෙමේ මේ වංශයෙහි මහාසම්මත නම් ව මඛාදෙව නම් ව නිමි නම් ව කුස නම් ව රාම නම් ව ඉපිද ආයේ ය. මහාසම්මත වංශයෙහි වූ ඉක්‍ෂවාකු රජුගේ අගමෙහෙසියට පුත්‍රයෝ සතර දෙනෙක් ද දූවරු පස් දෙනෙක් ද වූහ. ඒ සහෝදරයෝ සිවු දෙන තම සොහොයුරියන් පස් දෙනා හා ඇමැතියන් අට දෙනෙකු ගෙණ මහත් පිරිසක් ද කැටුව හිමවතට අභිමුඛ ව ගොස් රෝහිණී ගං ඉවුරෙහි කපිල ඍෂීන් විසින් මෙහෙයන ලදු ව තමන්ට නිසි රාජකන්‍යාවන් නැති බැවින් හා රජදූන්ට නිසි රාජපුත්‍රයන් නැති බැවින් හා කුලවංශය රකිනු පිණිස බාලබුහුන අගමෙහෙසිය කොට දෙටු බුහුන මවුතනතුරෙහි තබා වැඩි මහලු සොහොයුරු රජබැව්හි තබා විසූහ. ඔහු උල්කාමුඛ නම් ය. උන් කතා කරන්නට පටන්ගත් කල්හි අන්‍ධකාරයෙහි දිලියෙන දඬුවැට පහනක් මෙන් ‍ඔහුගේ මුවින් කාන්තිය නික්මෙන්නී ය. හේ උල්කාමුඛ වූයේ එහෙයිනි. ඔවුන් එසේ නුවරක් ඉදි කොට වසනබව අසා ඉක්‍ෂාවක්‍ර රජු තම දූ පුතුන් තම වංශය රක්නට සමර්‍ත්‍ථයහ යි සතුටු ව “සක්‍යා වත භො රාජකුමාරා පරමසක්‍යා වත හො රාජකුමරා” යි ඇනූ උදන් වාක්‍ය විසින් ශාක්‍ය නම් වූහ”යි ද පොතපතෙහි එන්නේ ය.

ඒ මේ ගෞතමගෝත්‍රයෙහි උපන් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගොතමසාවක නම් වෙත්. [1]

යෙසං දිවා ච රත්තො ච නිච්චං බුද්ධගතා සති = යම් කෙනෙකුන් හට දහවලත් රෑත් නිතර බුදුගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ වේ ද.

දිවා රාත්‍රි දෙක්හි නිතර බුදුගුණ සිහි කරණ ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි බුදුගුණ සිතින් ගෙණ නිදා පුබුදින බැවින් සැපසේ නිදා සැපසේ පුබුදින්නාහ.

“ඉතිපි සො භගවා අරහං” යනාදී විසින් කියූ බුදුගුණ අරමුණු කොට උපදනා සිහිය බුද්ධගතාසති නම්. බුද්ධානුස්සති යනු ද මේ ය. “බුද්ධං ආරබ්භ උප්පන්නානුස්සති = බුද්ධානුස්සති, බුද්ධගුණාරම්මණාය සතියා එතං අධිවචනං” යනු පොතෙහි ආයේ ය. ‘බුදුරජානන් වහන්සේගේ අපරිමිත ගුණය නැවැත නැවැත සිහි කිරීම බුද්ධානුස්සතිය යි. බුදුරජුන්ගේ පමණ නොකළැකි ගුණ අරමුණු ‍කළ සිහියට මේ ‍නමෙකි, යනු අරුත්

එහි කෙලෙසුන් කෙරෙන් දුරුවීම, කෙලෙස් සතුරන් නැසීම, සංසාරචක්‍රයෙහි දැවි බිඳ හැරීම, ආමිෂ - ප්‍රතිපත්තිපූජාවනට සුදුසු වීම, රහසිනුදු පව් නො කිරීම යන මේ රහත්ගුණයෙන් අඩු නැති ව පිරී සිටි සේක් බුදුරජානන් වහන්සේ අර්‍හත් වන සේක. “ආරකත්තා, අරීනං අරානං හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාප කරණෙ රහාහාවා = අරහං” යන මෙයින් පැහැදිලි වනුයේ ඒ වග යි. යට කියන ලද්දේ ය. [2]

වෙනසක් නො කොට ඇති සැටියෙන් තතු ලෙසින් තමන් විසින් ම පරොපදෙශරහිත ව දතයුතු සියලු දහම්, දතයුතු දහම් වසයෙන්, පිරිසිඳ දතයුතු සියලු දහම්, පිරිසිඳ දතයුතු දහම් වසයෙන්, දුරලිය යුතු සියලු දහම්, දුරලිය යුතු දහම් වසයෙන්, වැඩිය යුතු සියලු දහම්, වැඩිය යුතු දහම් වසයෙන්, දැනීම - පිරිසිඳීම - දුරැලීම - වැඩීම යන මේ සම්පත් සම්බුද්ධගුණයෙන් පිරීසිටි සේක් බුදුරජානන් වහන්සේ සම්‍යක්සම්බුද්ධ වන සේක. “සම්මා සාමං සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධො” යනු නිරුක්ති.

එහි බුදුරජානන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දතයුතු වූ චතරාර්‍ය්‍යසත්‍යය පූව්‍රභාගයෙහි විදර්‍ශනාප්‍රඥායෙන් හා අධිගමකාලයෙහි මාර්‍ගඥානයෙන් හා අපරභාගයෙහි සර්‍වඥතාඥානයෙන් හා දැන වදාළ සේක.

දුකැ යි හාත්පසින් දතයුතු වූ දුඃඛසත්‍යය, හාත්පසින් දතයුතු විසින්, දුරැලිය යුතු ය යි දතයුතු වූ සමුදයසත්‍යය, දුරැලිය යුතු විසින්, අස්හමුවෙහි කළ යුතු ය යි දතයුතු වූ නිරෝධසත්‍යය, ඇස් හමුවෙහි කළ යුතු විසින්, වැඩිය යුතු ය යි දතයුතු වූ මාර්‍ගසත්‍යය, වැඩිය යුතු විසින්, ලක්ඛණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන විසින් දතයුතු වූ සියලු ධර්‍ම එසේ අනිත්‍ය - දුඃඛ - අනාත්ම ලක්‍ෂණ විසින් දතයුතු වූ දුක් සැහැවි ඇති ධර්‍ම එසේ, ප්‍රත්‍යක්‍ෂ කළයුතු වූ සතර ඵල නිර්‍වාණධර්‍ම එසේ, වැඩිය යුතු වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගධර්‍ම එසේ පිළිවෙළින් දැනීම - වෙන් කොට ගැණීම - ඇස්හමුයෙහි කිරීම - වැඩීම කළ සේක. එය මෙසේ වදාළ සේක.

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවෙතබ්බං ච භාවිතං,

පහාතබ්බං පහීණං මෙ තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ” යි.

බමුණ! මා විසින් වෙසෙසින් දතයුතු වූ දුඃඛසත්‍යය වෙසෙසින් දන්නා ලද්දේ ය. හාත්පසින් දුරැලිය යුතු වූ සමුදයසත්‍යය දුරු කරණ ලද්දේ ය. ඇස්හමුයෙහි කළ යුතු වූ නිරෝධසත්‍යය ඇස් හමුයෙහි කරණ ලද්දේ ය. වැඩිය යුතු වූ මාර්‍ගසත්‍යය වඩන ලද්දේ ය, යනු අරුත්.

තවද චක්‍ෂුරායතනය දුඃඛසත්‍යය යි ද, එහි ඉපැත්මට මූලකාරණ වූ තෘෂ්ණාව සමුදයසත්‍යය යි ද, චක්‍ෂුරායතනයාගේ හා තෘෂ්ණාවගේ නො පැවැත් ම නිරෝධසත්‍යය යි ද, ඒ නිරෝධය ප්‍රතිවේධ කරන්නා වූ ප්‍රතිපත්තිය මාර්‍ගසත්‍යය යි ද මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් දත් සේක්, බුදුරජානන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ වන සේක.

සෝතායතන - ඝානායතන - ජිහ්වායතන - කායායතන - මනායතන ද චක්‍ෂුරායතනයෙහිලා කියූ ලෙසින් දතයුතු ය. රූපයතනාදී වූ බාහිරායතන සය, චක්ඛුවිඤ්ඤාණාදී වූ විඤ්ඤාණ සය, චක්ඛුසම්ඵස්සාදී වූ ඵස්ස සය, චක්ඛුසම්ඵස්සජාවේදනාදී වූ වේදනා සය, රූපසඤ්ඤා දී වූ සඤ්ඤා සය, රුපසඤ්චේතනාදී වූ චේතනා සය, රුපතණ්හාදී වූ තණ්හා සය, රුපවිත්ක්කාදී වූ විතක්ක සය, රුපවිචාරාදී වූ විචාර සය, රුපක්ඛන්‍ධාදී වූ ස්කන්‍ධ පසය, පඨවිකසිණාදී වූ කසිණ දසය, බුද්ධානුස්සති ආදී වූ අනුස්සති දසය, උද්ධුමාතකාදී වූ සඤ්ඤා දසය, කෙසාදී වූ කුණප කොට්ඨාස දෙතිසය, චක්‍ෂුරාදී වූ ආයතන දොළොසය, චක්ඛුදාතු ආදී වූ ධාතු අටළොසය, කාමභවාදී වූ භව නවය, පඨමජ්ඣනා දී වූ ධ්‍යාන සතරය, මෙත්තා දී වූ අප්පමඤ්ඤා සතරය, ආකාසානඤ්චායතනාදී වූ අරූපසමාපත්ති සතරය, ප්‍රතිලෝම වශයෙන් ජරාමරණාදී වූ ද, අනුලෝම වශයෙන් අවිද්‍යා දී වූ ද පටිච්චසමුප්පාදඞ්ග දැයි එක් එක් ධර්‍මය උද්ධරණය කොට තමන් වහන්සේ ම මෙසේ අවබෝධකළ සේක්, බුදරජානන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ වන සේක.

විපස්සනාඤාණ - මනෝමයිද්ධි - දිබ්බසෝත - පරචිත්තවිජානන - පුබ්බෙනිවාසානුස්සති - දිබ්බචක්ඛු - ආසවක්ඛය යන මේ ඥානාෂ්ටකය විද්‍යා ය. විඳ ගතයුතු වූ නිවන්රසය තතු පරිදි ඇති ලෙසින් විඳ ගන්නා අරුතින් හෝ අවිඳු අදුරු නසාලන අරුතින් හෝ විද්‍යා නම්.

සීලසංවර - ඉන්‍ද්‍රියසංවර - භොජනෙමත්තඤ්ඤුතා - ජාගරියානුයෝග - සද්ධා - හිරි - ඔත්තප්ප - බාහුසච්ච - විරිය - සති - පඤ්ඤා - චතුර්විධධ්‍යාන යන මේ ‍ධර්‍මපසළොස චරණ ය. යම් ධර්‍මසමූහයක් කරණ කොට ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිවනට යන්නේ ද නිවනට යෑමට උපකාර වූ ඒ ධර්‍ම චරණ නම්. මේ අෂ්ටවිද්‍යා පඤ්චදශවරණධර්‍මයන් ගෙන් පිරී සිටි සේක්, බුදුරජානන් වහන්සේ විද්‍යාචරණසම්පන්න වන සේක. “විජ්ජාහි පන චරණෙන ච සම්පන්නත්තා = විජ්ජාචරණ සම්පන්නො” යනු විවෘතිය. [3]

ශෝභන ගමන් ඇතිබව සොඳුරු තැනට ගියබව, මනා කොට ගියබව, මනා තෙපුල් ඇතිබව යන මේ සුගතත්‍වගුණයෙන් පිරී සිටි සේක්, බුදුරජානන් වහන්සේ සුගත වන සේක. “සොභනගමනත්තා, සුන්‍දරං ඨානං ගත්තතා, සම්මා ගතත්තා, සම්මා ච ග දත්තාසුගතො” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි.

බුදුරජානන් වහන්සේගේ ගමන් හොබනේ ය. පිරිසිදු ය. නිවරද ය. ඒ නම්, ආර්‍ය්‍යමාර්‍ගය යි. ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් කිසි තැනෙක නො ලැගෙමින් නො ගැටෙමින් නිවන් දිගට ගිය බැවින් ශොභන ගමන් ඇති සේක්, උන්වහන්සේ සුගත නම් වෙති.

ලෝකය බිය සහිත ය. ලෝකයා බියරහිත වන්නට නම් පඤ්චස්කන්‍ධලෝකයෙන් එතෙර විය යුතු ය. එ තෙර ව පිහිටිය යුතු තැන නිවන ය. ඒ ය නිර්‍භයස්ථාන ය. සොඳුරු තැනත් ඒ ය. ඒ සොඳුරු තැනට ගිය බැවින් උන්වහන්සේ සුගත නම් වෙති.

සෝවන්මඟින් නැසිය යුතු, සෙදගැමිමගින් නැසිය යුතු, අනැගැමි මගින් නැසිය යුතු, රහත්මගින් නැසිය යුතු කෙලෙස් කිසිවක් යන්තමකිනුදු ඉතිරි නො කොට නසා ඔවුන් කරා පෙරළා නො පැමිණි බැවින් උන්වහන්සේ සුගත නම් වෙති. මේ මෙහිලා සාධක: “සොතාපත්තිමග්ගෙන යෙ පහීණා තෙ ‍කිලෙශෙ න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡතිති සුගතො, සකදාගාමිමග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡතීති සුගතො, අනාගාමිමග්ගෙන යෙ‍ කිලෙසා පහිණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡතීති සුගතො, අරහත්තමග්ගෙන යෙ‍ කිලෙසා පහීණා තෙ කිලෙස න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡතීති සුගතො” යනු.

දීපඞ්කරපාදමූලයෙහි පටන් බෝමැඩ දක්වා සමත්‍රිංශත් පරමීධර්‍මසඞෟඛ්‍යාත සම්‍යක් ප්‍රතිපත්තියෙන් මුළු ලොවට හිත සුව එළවමින් ශාශ්වත - උච්ඡෙද වශයෙන් හෝ කාමසුඛ - අත්තකිලමථ වශයෙන් හෝ අන්තද්වයට නො පැමිණ ගිය බැවින් උන්වහන්සේ සුගත නම් වෙති.

තමන් වහන්සේ දන්නා යම් වචනයෙක් අසත්‍ය ද, අර්‍ත්‍ථරහිත ද, අන්හට අප්‍රිය එබඳු වචන නො වදාරණ බැවින්, තමන් වහන්සේ දන්නා වචනයෙක් සත්‍ය ද, එහෙත් අර්‍ත්‍ථරහිත ද, අන් හට අප්‍රිය ද එබඳු බචන නො වදාරණ බැවින්, යම් වචනයෙක් සත්‍ය ද, අර්‍ත්‍ථසහිත ද, අන්හට අප්‍රිය ද එබඳු වචන කීමෙහි ලා කල් බලන බැවින්, යම් වචනයෙක් අසත්‍ය ද, අර්‍ත්‍ථඑහිත ද, එය අන්හට ප්‍රිය වුව ද නො වදාරණ බැවින්, යම් වචනයෙක් සත්‍ය ද, අනර්‍ත්‍ථයෙන් යුක්ත ද, අන්හට ප්‍රිය වුවද නො වදාරණ බැවින්, යම් වචනයෙක් සත්‍ය ද, අර්‍ත්‍ථයෙන් යුක්ත ද, අන්හට ප්‍රිය ද එබඳු වචන කීමෙහිලා කල් බලන බැවින්, මෙසේ මනා තෙපුල් ඇති බැවින් උන්වහන්සේ සුගත නම් වෙති. මේ මෙහි සාධක:

“යං තථාගතො වාචං ජානාති අභුතං අත්චඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථා‍ගතො වාචං භාසති.

යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති.

යං ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තත්‍ර කාලඤ්ඤු හොති තථාගතො තස්සා වාචාය වෙය්‍යාකරණා ය.

යම්පි තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති.

යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තම්පි තථාගතො වාචං භාසති.

යං ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤු හොති තථාගතො තස්සං වාචාය වෙය්‍යාකරණාය” යනු.

ලොක නම්: ප්‍රධාන විසින් පඤ්චොපාදානස්කන්‍ධලෝකය යි. එය ස්වභාව වශයෙන්, සමුදය වශයෙන්, නිරෝධ වශයෙන්, නිරොධාපාය වශයෙන් දැකීම යන ලෝකවිදූ ගුණයෙන් යුක්ත වූසේක් බුදුරජානන් වහන්සේ ලොකවිදූ වන සේක. ස්වභාව වශයෙන් දැක්ම නම්: දුඃඛ වශයෙන් දැකීම ය. සමුදය වශයෙන් දැක්ම නම්: දුක් හට ගැණීමෙහි හේතු වූ තෘෂ්ණා වශයෙන් දැකීම ය. නිරෝධ වශයෙන් දැක්ම නම්: යම් තැනෙක දුක් මුළුමනින් නිරුද්ධ වේ ද ඒ නිර්‍වාණ වශයෙන් දැකීම ය. නිරොධාපාය වශයෙන් දැක්ම නම්: ආර්‍ය්‍යමාර්‍ග වශයෙන් දැකීම ය. මෙහි ලා පඤ්චොපාදානස්කන්‍ධ ලෝකය ගැණෙන බවට “යත්‍ථ ඛො ආවුසො න ජායති, න ජීයති, න මීයති, න වචති, න උප්පජ්ජති. නාහං තං ගමනෙන ලොකස්සන්තං දිට්ඨෙය්‍යං පත්තෙයන්ති වදාමි. න චාහං ආවුසො අප්පත්‍වාව ලොකස්සන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපිචාහං ආවුසො ඉමස්මිං යෙව ව්‍යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤීමහි සමනකෙ ලොකං ච පඤ්ඤපෙමි, ලොකසමුදයං ච ලොකනිරොධං ච ලොකනිරොධගාමිනිං ච පටිපදං පඤ්ඤපෙමි.

“ගමනෙන න පත්තබ්බො ලොකස්සන්තො කුදාචනං,

න ච අප්පත්‍වා ලොකන්තං දුක්ඛා අත්‍ථි පමොචනං.

.

තස්මා හවෙ ලොකවිදූ සුමෙධසො

ලොකන්ත ගූ වුසිතබ්‍රහ්මච‍රියො,

ලොකස්ස අන්තං සමිතාවි ඤත්‍වා

නාසිංසති ලොකමිමං පරං ච”

‍යනු සාධක.

යම් තැනෙක ජාති - ජරා - මරණ නැත්තේ ද, චුති - උප්පත්ති නැත්තේ ද ඒ නිර්‍වාණසඞ්ඛ්‍යාතලෝකාන්තය පියවි පාගමනින් ගොස් දැක්ක හැකිය යි මම නො කියමි. මේ සඥා සහිත මනස් සහිත බඹයක් පමණ වූ සිරුරහි ම ලෝකය ද ලෝකසමුදය ද ලෝකනිරෝධය ද ලෝකනිරෝධගාමිනීප්‍රතිපදාව ද පණවමි.

කිසිකලෙක පාගමනින් ලෝකයෙහි කෙළවරට නො යා හැකිය. ලෝකයෙහි කෙළවරට නො ගොස් දුකින් මිදීම ද නො කළ හැකි ය.

එහෙයින් ලෝකය දන්නා ලෝකයෙහි කෙළවරට පැමිණ විසූ මගබඹසර ඇති කෙලෙස් සන්සිඳ වූ මනා නුවණැත්තේ ලෝකයෙහි කෙළවර දැන මෙලොව හා පරලොව හා නො පතන්නේ ය, යනු එහි කෙටි අරුත්.

මේ දේශනායෙන් පෙණෙනුයේ ද ‘ලෝකවිදූ’ යන තන්හි ලෝක ශබ්දයෙන් ප්‍රධාන විසින් පඤ්චොපාදානස්කන්‍ධලෝකය ගැණෙන බව ය. එහෙත් සංස්කාරලෝක - සත්ත්‍වලෝක - අවකාශලෝක ද බුදුරජානන් වහන්සේ දත් සේකැ යි ගන්නට කිසිත් බාධකයෙක් නැත්තේ ය. උන්වහන්සේ ඒ ලෝකත්‍රය ද හැම අයුරෙන් දත් සේක. එහියිනුදු ලෝකවිදූහ. “සබ්බථාපි විදිතලොකත්තා ලොකවිදූ” යි කීයේ ද එහෙයිනි.

සංස්කාරලෝක නම්: ප්‍රත්‍යයයෙන් නිපදනා සංස්කාර ය. ඉන්‍ද්‍රියබද්ධ - අනින්‍ද්‍රියබද්ධස්කන්‍ධ, “පච්චයෙහි සංවරීයන්ති ලුජ්ජන්ති පලුජ්ජන්ති”යි කී බැවින් සංස්කාරලෝක නම්. “එකොලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා” යන මෙහි ද දැක්වූයේ සංස්කාරලෝකය යි.

සත්ත්‍වලෝක නම්: ඉන්‍ද්‍රියබද්ධස්කන්‍ධයන්ගේ සමූහසන්තානය යි. දෘෂ්ටිගතිකයන්ගේ ශාශ්වතාදිවශයෙන් ආත්මය, ලෝකය යන පිළිගැණුම් බොහෝ සේ පැවතුම් විසින් සත්ත්‍වවිෂයක වේ. සංස්කාර විෂයක නො වේ. සත්ත්‍වයෝ සත්ත්‍වලෝක නම්. “සස්සතො ලොකො අසස්සතො ලොකොති වා” යන මෙයින් දැක්වුනේ ‍සත්ත්‍වලෝකය යි.

අවකාශලෝක නම්: අනින්‍ද්‍රියබද්ධරූපාදීන්ගේ සමූහසන්තාන ය යි. ‘භාජනලෝක’ නමිනුදු මෙය කියැවෙන්නේ ය.

“යාවතා චන්‍දිමසූරියා පරිහරන්ති දිසා භන්ති විරොචනා,

තාව සහස්සධා ලොකො එත්‍ථ තෙ වත්තතෙ වසො”

මෙයිනුදු අවකාශලෝකය කියත්. “සඳහිරු දෙ‍දෙන යම්තාක් තැන් පරිහරණය කරත් ද, බබලමින් දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් එක් ලෝකයෙකි. එබඳු දහසක් ලෝකධාතුයෙහි තාගේ වසය පවතී” යනු එහි අරුත්.

බුදුරජානන් වහන්සේ සංස්කාර - සත්ත්‍ව - අවකාශ යන මේ ලෝකත්‍රය ම කිසි තැනක් ඉතිරි නො කොට මුළුමනින් දත් සේක් ලෝකවිදූහ.

තමනට වඩා ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්තිඥානාදී ගුණයන්ගෙන් උත්තරීතරයෙක් විශිෂ්ටතරයෙක් යමක්හට නැත්තේ ද හේ අනුත්තර. බුදුරජානන් වහන්සේ මෙකී ගුණයන්ගෙන් දෙවිබඹුන් සහිත ලෝකය යටපත් කොට නැගී සිටි සේක්, අනුත්තර වන සේක. “අත්තනා පන ගුණෙහි විසිට්ඨතරස්ස කස්සවි අභාවතො නත්‍ථි එතස්ස උත්තරො = අනුත්තරො” යනු එය කියා ලන්නේ ය.

බුදුරජානන් වහන්සේ ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්තිඥානදර්‍ශන යන සියලු ගුණයන්ගෙන් ලෝකය යටපත් කොට නැගී සිටින සේක. මේ සියලු ශීලාදිගුණයන්ගෙන් තමන් හා සමයක්හු නැති බැවින් අසමයහ. අසම වූ ඉකුත් ව ගිය බුදුරජුන් හා සම බැවින් අසමයහ. තමන් රූ බඳු පිළිරූ කරන්නට නො හැකි බැවින් අප්‍රතිමයහ. තමන් වහන්සේ වදාළ සතිපට්ඨානාදි ධර්‍ම එසේ නො වේ ය යි පටහැනිව කියන්නට කෙනකු නැති බැවින් අප්‍රතිභාගයහ. ‘තමුන්නාන්සේ බුදු නො වහු, මම බුදුමි’යි කිය හැකි කෙනකු නැති බැවින් අප්‍රතිපුද්ගලයහ. මෙ‍ය මෙසේ වදාළ සේක. “න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාස සදෙවමනුස්සාය අත්තනා සීලසම්පන්නතරං”යි. “දෙවියන් මරුන් බඹුන් සහිත වූ ලෝකයෙහි මහණ බමුණු දෙවි මිනිසුන් සහිත ප්‍රජායෙහි මට වඩා ශීලයෙන් වැඩී සිටියකු මම නො දක්නෙමි” යනු අරුත්.

අග්ගප්පසාද සූත්‍රයෙහි දී “මහණෙනි! පා නැති දෙපා සිවුපා බොහෝ පා ඇත්තා වූ හෝ රූපී අරූපි සඤ්ඤී අසඤ්ඤී නෙවසඤ්ඤීනාසඤ්ඤි වූ හෝ යම් පමණ සත්ත්‍වකෙනෙක් වෙද්ද, ඔවුන් හැමට තථාගත අර්‍හත් සම්‍යක් සමුබුද්ධයෝ ම අග්‍රයහ”යි වදාළ සේක.

“න මෙ ආචරියො අත්‍ථි සදිසො මෙ න විජ්ජති,

සදෙවකස්මිං ලොකස්මිං නත්‍ථි මෙ පටිපුග්ගලො”

යනු වදාළෝ ද මෙ බව දක්වනු පිණිස ය. “මට ඇදුරෙක් නැත, මට සමානයෙක් නැත, දෙවියන් සහිත ලෝකයෙහි මට ප්‍රතිපුද්ගලයෙක් නැත’ යනු අරුත්.

බුදුරජානන් වහන්සේ අන් කාහටත් නො දැමිය හැකි අජපාල - චූලොදර - මහොදර - අග්ගිසික - ධූමසිඛ - ආරවාල - ධනපාලක යන මේ ඈ බිහිසුණු තිරිසනුන්, සච්චක - අම්බට්ඨ - පොක්ඛරසාති - සෝණදණ්ඩ - කූටදන්ත යන මේ ඈ තදමන් ඇති මිසදිටු ගත් බමුණන්, ආලවක - සුචිරොම - ඛරරොම යන මේ ඈ රුදුරු යකුන්, සක්දෙව් - බකබඹ යන මේ ඈ දෙව් බඹුන් දැමූහ. හික්ම වූහ. ශරණයෙහි හා ශීලයෙහි පිහිටවූහ. එහෙයින් “පුරිසදම්මෙසාරෙතීති = පුරිසදම්මසාරථි” යන අරුත් විසින් පුරිසදම්මසාරථි වන සේක.

තව ද බුදුරජානන් වහන්සේ නො දැමුනවුන් පමණක් ම ‍දමනය කරණ සේක් නො වෙති. උන්වහන්සේ දැමුනවුන් ද විශුද්ධ ශීලාදියෙහි පිහිටුවමින් ධ්‍යානමාර්‍ගඵලාදිය ලැබීමට මග දක්වමින් දමනය කරණ සේක.

මෙහි දැක් වූ අනුත්තර - පුරිසදම්මසාරථි යන දෙ පදය එක් ව ගෙණ බුදුරජානන් වහන්සේ අන් කවරක්හටත් නො දැමිය හැකි වූවන් දැමූ බැවින් ‘අනුත්තරපුරිසදම්මසාරථි’ යි කියන ලදහ. ඇතුන් - අසුන් දමනය කරණුයේ උන් එක් ම දිසාවක දුවවාලයි. බුදුරජානන් වහන්සේ එසේ දැමිය හැකියන් එක් ම දිසාවකට නො ද දුවවන සේක. උන්වහන්සේ එක් ඉරියව්වෙන් හුන් දමනය කට හැකි මිනිසුන් දෙවියන් බඹුන් අෂ්ටසමාපත්තීන් කරා නිරෝධ සමාපත්තිය කරා නිර්‍වාණය කරා සුදුසු පරිදි දුවවන බැවින් ගමන් කරවන බැවින් අනුත්තරපුරිසදම්මසාරථි ය හ.

මෙලොව පරලොව දියුණුව පිණිස සියලු දුක් නසා ලබන නිවන් පිණිස උනුනට සුදුසු පරිදි අනුශාසනා කිරීම ශාස්තෘභාව ය යි. බුදුරජානන් වහන්සේ ඒ මේ ශාස්තෘභාවයෙන් පිරීගත් සේක් ශාස්තෘ වන සේක. “දිට්ඨධම්මිකසම්පරායිකපරමත්‍ථෙහි යථාරහං අනුසාසතීති = සත්‍ථා” යනු එයරුත් කියන්නේ ය.

එහි දිට්ඨධම්මික නම්: මෙලොවින් වන හිතරුත ය. සම්පරායික නම්: පරලොවින් වන හිතරුත ය. පරමත්‍ථ නම්: නිවන ය. මේ තෙයරුතින් බුදුරජානන් වහන්සේ භව්‍යාභව්‍යයන් සුදුසු නො සුදුස්සන් දැන දෙවිමිනිසුනට අනුශාසනා කරණ සේක.

සත්‍ථා යන මෙ පදයෙන් සාර්‍ත්‍ථවාහක ද කියනු ලැබේ. සාර්‍ත්‍ථවාහක නම්: වෙණදාම් පිණිස බඩු ගෙණ දෙශාන්තරයට යන වෙණඳ සමූහ ය යි. නැත, එහි ප්‍රධානයා ය. හේ, තමන් සමඟ යන සෙසු දෙනා චෝරකාන්තාර - ව්‍යාලකාන්තාර - දුර්භික්‍ෂකාන්තාර - නිරුදකකාන්තාර යන කාන්තාරවලින් එතෙර කරවා ක්‍ෂෙමභූමියට පමුණු වන්නේය. එමෙන් බුදුරජානන් වහන්සේ සියලු සත්ත්‍වයන් සසර කතරින් එතෙර කරවන සේක් ජාති - ජරා - ව්‍යාධි - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස කාන්තාරයන් ‍එතෙර කර වන සේක. රාග - දෝස - මෝහ - මාන - දිට්ඨි - කිලෙස - දුච්චරිත කාන්තාරයන් එතෙර කර වන සේක. නිර්‍භය වූ අමාමහනිවනට පමුණු වන සේක. එහෙයින් උන්වහන්සේ සාර්‍ත්‍ථවාහක ය. මහානිර්‍දෙශයෙහි ශාරීපුත්‍ර නිර්‍දෙශය බලනු.

දෙවිමිනිසුනට අනුශාසනා කරණ සේකැ යි කීයේ උත්කෘෂ්ට පරිච්ඡෙද විසිනි. භව්‍යපුද්ගලයන්ගේ වශයෙනි. උන්වහන්සේ තිරිසන් ගිය සත්නට ද අනුශාසනා කරණ සේක. ගග්ගරා පොකුණු තෙර චම්පා නුවර වැසියනට ධර්‍මදේශනා කරණ දවසෙක එක් මැඩියෙක් උන්වහන්සේගේ මධුරස්වරයෙහි නිමිති ගෙණ සිටියේ වසුපල්ලකුගේ සැරයටි දඬු කොණට යටවී කලුරිය කොට ධර්‍මස්වරයෙහි උපන් ප්‍රසාදබලයෙන් තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් පමණ වූ රන්වි‍මනෙක උපන්නේ ය. මෙසේ තිරිසන් ගියෝ ද බුදුරජුන්ගේ බණ අසා උපනිස්සය සම්පත් ලබා එයින් දෙවන තෙවන අත්බැව් හි මගපල ලබත්. එහෙයින් බුදුරජානන් වහන්සේ දෙවිමිනිසුනට පමණක් නො ව තිරිසන් ගිය සත්නට ද ශාස්තෘ සේක.

දතයුතු දහම් යම් පමණ වේ ද, ඒ සියල්ල අවබෝධ කළ බැවින් බුදුරජානන් වහන්සේ විමොක්ඛන්තිකඤාණ විසින් බුද්ධ වන සේක. සියලු කෙලෙසුන් කෙරෙන් මිදෙන බැවින් රහ්තමග ‘විමොක්ඛ’ නමි. ඉන් අනතුරුව ලැබිය යුතු සබ්බඤ්ඤුතඤාණය ‘විමොක්ඛන්තිකඤාණ’ නමි. “යම්පන අත්‍ථි ඤෙය්‍යං නාම සබ්බස්ස බුද්ධත්තා විමොක්ඛන්තිකඤාණවසෙන බුද්ධො” යන මෙයින් බුද්ධ නම් කවරැ යි කීහ.

සම්බුද්ධො - බුද්ධො යන දෙ පදයෙන් ‘සම්බුද්දො’ යන පදය සංක්‍ෂෙප - විස්තර විසින් බුදුරජානන් වහන්සේගේ චතුස්සත්‍යාවබෝධය කී ය. ‘බුද්ධො’ යන පදය කීයේ එයින් අන්‍ය වූ දතයුත් ධර්‍මයාගේ අවබෝධය යි. තවද පූර්‍වවචනයෙන් බුදුරජුන්ගේ ප්‍රතිවේධඥානයෙහි ආනුභාවය කියැ වේ. පශ්චිමවචනයෙන් කියැවෙනුයේ දේශනාඥානයෙහි ආනුභාවය යි. තවද බුදුරජානන් වහන්සේ චතුස්සත්‍යය, තෙමේ ද අවබෝධ කළ සේක. අන්හට ද අවබෝධ කරවූ සේක. එහෙයින් ද බුද්ධ. “බුජ්ඣිතා සච්චානීති = බුද්දො, බොධෙතා පජායාති = බුද්ධො, යනු කීයේ එහෙයිනි. [4]

ඉසුරුබැව් ආදී වූ භගධර්‍ම ඇති සේක්, වනයෙහි ඉතා දුර සෙනසුන් සෙවුනු සේක්, අර්‍ත්‍ථ - ධර්‍ම - විමුක්ති - රසභාග ඇති සේක් ලෞකික - ලෝකොත්තර ධර්‍ම බෙදා දෙසූ සේක්, රාගාදී කෙලෙස් බිඳ හළසේක්, භාග්‍ය ඇති සේක්, භවයෙහි කෙළවරට පැමිණි සේක්, භාග්‍ය ඇති සේක්, කායභාවනාදි විවිධ භාවනා ක්‍රමයන් වඩනාලද සිත් ඇති සේක්, භවයෙහි කෙළවරට පැමිණි සේක්, බුදුරජානන් වහන්සේ භාග්‍යවත් සේක. මෙය කීහ මෙසේ:

“භගී භජි භාගී විභත්තවා ඉති

අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා,

බහූහි ඤායෙහි සුභාවිතත්තො

භවන්තගො සො භගවාති වුච්චති” යි.

තව ද ‘භගවා’ යන මෙ පදයෙහි අනෙක් වර්‍ණනා ක්‍රමයෙක් ද වේ. ඒ මෙසේ ය: ලෞකික - ලෝකෝත්තර සැප නිපදවන ශීලාදි පාරමීභාවයට පැමිණි කුසල් ඇති බැවින්, විස්තර විසින් ලොභ - දෝස - මෝහාදී වූ සිය දහස් ගණන් කෙලෙසුන්, සංක්‍ෂෙප විසින් ක්ලේශ - ස්කන්‍ධ - අභිසංස්කාර - දේවපුත්‍ර - ම්‍යුත්‍යුමාර යන පස් මරුන් බිඳ හළ බැවින්, ඵෙශ්චර්‍ය්‍ය - ධර්‍ම - යශස්ශ්‍රී - කාම - ප්‍රයත්න නම් වූ භගධර්‍මයන්ගෙන් යුක්ත බැවින්, කුශලාදි ධර්‍මයන් ස්කන්‍ධ - ආයතන - ධාතු - සත්‍ය - ඉන්ද්‍රිය - ප්‍රතීත්‍යසමුත්පාදාදී භේදයෙන් හෝ දුඃඛාර්‍ය්‍යසත්‍යය පීඩන සඞ්ඛත - සන්තාප - විපරිණාම අරුත් විසින්, සමුදයාර්‍ය්‍යසත්‍යය ආයූහන - නිදාන - සංයෝග - පළිබෝධ අරුත් විසින්, නිරොධාර්‍ය්‍යසත්‍යය නිස්සරණ - විවේක - අසඞ්ඛත - අමත අරුත් විසින්, මාර්‍ගසත්‍යය නීය්‍යාණික - හේතු - දස්සන - ආධි පත්‍යෙය අරුත් විසින් බෙදා හෙළි කළ බැවින්, ඣාන - මෙත්තා - කරුණා - මුදිතා - උපෙක්ඛා - ඵලසමාපත්ති - කාය - චිත්ත - උපධිවිවේක - සුඤ්ඤත - අප්පණිහිත - අනිමිත්තවිමොක්ඛ - ලොකිය - ලොකුත්තර උත්තරි මනුස්සධම්ම සෙවූ බැවින්, කාම - රූප - අරූප යන තුන් භවයෙහි වමාරා දැමූ තෘෂ්ණා ගමන් ඇති බැවින් භාග්‍යවත් සේක.

“භාග්‍යවා භග්ගවා යුත්තො භගෙහි ව විහත්ත වා,

භත්තවා වන්තගමනො භවෙසු භගවා තතො”

යනු මේ හැම ගැබ් කොට ගත් ගාථා ය.

භාග්‍යවා - භග්ගවා යි මෙහි දැක්වූ දෙ පදයෙන් ‘භාග්‍යවා’ යන මෙයින් සිය පින් ලකුණෙන් හෙබි බුදුරජානන් වහන්සේගේ රූප කායසම්පත්තිය ද ‘භග්ගවා’ යන මෙයින් ධර්‍මකායසම්පත්තිය ද දක්වන ලදි. තව ද එහි පළමු පදයෙන් සාමාන්‍ය මහජනයා විසින් බුහුමන් කරණු ලබන බව, ක්‍ෂත්‍රියාදිකුලප්‍රසූත ගෘහස්ථයන් විසින් එළැඹිය යුතු බව, එළැඹ සිටි ගෘහස්ථයන්ගේ කායපීඩා දුරු කිරීමෙහි පොහොසත් බව, තමන් වෙත එළැඹියනට දෙව්මිනිස් සැප එළවීමෙහි සමත්බව දක්වා දෙවන පදයෙන් නුවණැති ලෝකයා බුහුමන් කරණ බව, තවුස් ඈ පැවිද්දන් විසින් එළැඹිය යුතු බව, තමන් වෙත ‍එළැඹියනට ලොවුතුරු සැප එළවීමෙහි සමත් බව දැක්වූහ.

‘භගෙහි යුත්තො’ යන මෙයින් භග ධර්‍ම අතුරෙහි ඵෙශ්චර්‍ය්‍යය, අණිමා - ලඝිමා - ප්‍රාප්ති - ප්‍රාකාම්‍ය - මහිමා - ඊශිත්‍ව - වශිත්‍ව - යථාකාමාවසායිතා විසින් අටවැදෑරුම් ය යි සඞ්ඛ්‍යාතත්ත්‍වකෞමුදියෙහි කියන ලදි.

“අණිමා ලඝිමා ප්‍රාප්තිඃ ප්‍රාකාම්‍යං මහිමා තථා,

ඊශිත්‍වඤ්ච වශිත්‍වඤ්ච යථාකාමාවසායිතා”

යනු එහි ආයේ ය.

සිය සිතෙහි ඉසුරුමත් බව, ලෝකසම්මත සරීරයෙන් කැමැති දැය මවා පෑම ඵෙශ්වර්‍ය්‍ය නමි. එය මෙසේ බෙදුනේ ය. සිය සිරුර ඉතා සියුම් බවට පැමිණවීම අණිමා. සිය සිරුර ඉතා සැහැල්ලු බවට පැමිණවීම ලඝිමා. සිය සිරුර මහත්කොට දැක්වීම හෝ කැමැති තැනට පැමිණවීම ප්‍රාප්ති. ඉටා ගැණීම් ඈ විසින් කැමැති දැය මවා පෑම ප්‍රාකාම්‍ය. අහසෙහි පයින් ගමන් කිරීම් ආදියෙහි මහත් බව මහිමා. තමාට වසඟ බව හෝ සිය වසයෙහි පැවැත්ම ඊශිත්‍ව. ඍද්ධිවිෂයෙහි වශීභාවය වශිත්‍ව. අහසින් යන්නහුගේ හෝ අන් කිසිවක් කරන්නහුගේ හෝ යම් කිසි තැනෙක දී නිමාවට පැමිණීම යථාකාමාවසායිතා. මෙය කුමාරරූපාදිදර්‍ශනය යි ද කියත්. මේ අටවැදෑරුම් වූ ලෝකසම්මත ඵෙශවර්‍ය්‍යය භාග්‍යවතුන් වහන්සේගේ ඍද්ධිවිධඥානයෙහි ඇතුළත් වූයේ අනන්‍යසාධාරණ ව සර්‍වකාරපරිපූර්‍ණ ව සිටියේ ය. ශාසනික වූ බාහිරක වූ හෝ භග සඞ්ඛ්‍යාතඵෙශවර්‍ය්‍ය ඇති සේක් භගවත් නම්හ.

බාහිරක වූ භගධර්‍මයන්ගේ ආනුභාවයෙන් දෙවියෝත් සිද්ධයෝත් ඉතා සියුම් අත්බැව් ගෙණ සියලු තැන හැසිරෙන්නාහු ද කිසිවකුටත් දක්නට නො ලැබෙත්. “යතප්‍රහාවාද්දෙවාඃ සිද්ධාශ්ව සූක්‍ෂමීභූය සර්‍වත්‍ර විචරන්ති”යි එය කීහ.

බුදුරජානන් වහන්සේ බෝමුලදී ම සර්‍වඥතාඥානප්‍රතිලාභය හා ම මේ නාමප්‍රඥප්තින් ලැබූ සේක. මවු පියන් විසින්, සහෝදර සහෝදරියන් විසින්, නෑ සහ ලේ නෑයන් විසින්, මහණ බමුණන් විසින්, දෙවිබඹුන් විසින් උන්වහන්සේ කෙරෙහි මේ නාමප්‍රඥප්තිහු නො නඟන ලදහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් තත්ත්‍වපූර්‍ණ විසින් අර්‍හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධ ය, මේ මේ කාරණයෙන් විද්‍යාචරණසම්පන්න ය, මේ මේ කාරණයෙන් සුගත ය, මේ මේ කාරණයෙන් ලෝකවිද් ය, මේ මේ කාරණයෙන් අනුත්තර පුරුෂදම්‍යසාරථී ය, මේ මේ කාරණයෙන් භගවත් ය යි බුදුගුණ සිහි කරන්නහුගේ සිත රාග - ද්වේෂ - මෝහ යන්ගෙන් නො පෙළෙන්නේ ය. ඔහුගේ සිත ඍජුව ම බුදුගුණ අරමුණු කොට සිටින්නේ ය. රාගාදී වූ කෙලෙසුන්ගෙන් පෙළීමක් නැති බැවින් ඔහුගේ සිතෙහි කාමච්ඡන්දාදී වූ නීවරණයෝ යටපත් වෙති. කෙලින් ම කමටහනට අභිමුඛවීමෙන් සිතෙහි විතර්‍ක - විචාරයෝ බුදුගුණයට ම නැමී සිටිති. එසේ බුදුගුණ නිතර සිහි කරත් ම, උපචාරද්ධ්‍යානය උපද වන ප්‍රීතිය උපදනසී ය. සිතෙහි ප්‍රීතිය උපන් පසු ප්‍රීතිය ලං කොට සිටි පස්සද්ධියෙන් කායචිත්තදරථ සන්සි‍ඳෙන්නේ ය. දරථ සන්සිඳීමෙන් පසු කායික - චෛතසික සුඛය උපදනේ ය. මෙසේ සුවපත් වූවහුගේ සිත බුදුගුණ අරමුණු කොට ම සමාධිගත වන්නේ ය. එකෙණෙහි පිළිවෙළින් ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. බුදුගුණ ගැඹුරු බැවිනුත් නන්වැදෑරුම් බුදුගුණ එකවිට සිහිකිරීමෙහි අදහස් පහළ වන බැවිනුත් මේ ධ්‍යානය අර්‍පණාවට නො පැමිණ උපචාරයට පමණක් පැමිණ සිටින්නේ ය. මෙසේ බුදුගුණ සිහිකිරීම නිසා උපදනා බැවින් මේ ධ්‍යානය, බුද්ධානුස්සති යි කියනු ලැබේ.

බුදධානුස්සතියෙහි යෙදුනු යොගී තෙමේ බුදුරජුන් කෙරෙහි ගෞරව ඇතියේ වේ. යටත් පහත් පැවැතුම් ඇතියේ වේ. ශ්‍රද්ධායෙන් ස්මෘතියෙන් ප්‍රඥායෙන් පුණ්‍යයෙන් මහත්බවට පැමිණියේ වේ. නිතර සතුටින් වසනුයේ වේ. හැම බිය ඉවසනුයේ වේ. දුක් ඉවසීමට පොහොසත් වනුයේ වේ. ‘බුදුරජුන් හා එක් ව වසමි, යන අදහස් ඇතියේ වේ. බුද්ධානුස්මෘතියෙන් ඔදවැඩුනු ඔහුගේ ශරීරය සෑ ගෙයක් මෙන් පිදිය යුතු වේ. සිත බුද්ධභූමියට නැමී සිටියේ වේ. ‘පව්කමක් කරමි’ යි සිතන්නා හා ම බුදුරජුන් තමන් ඉදිරියෙහි සිටින්නා සේ පෙණී යන්නේ ය. එයින් ලජ්ජා - භය ඇතියේ වේ. මේ අත්බැව්හි මගපල අත්පත් නො වූයේ නම් මරණින් මතු එකතින් සුගතියෙහි උපදින්නේ ය.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා = සියලු කල්හ ගෞතම ශ්‍රාවකයෝ මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යෙසං දිවා ච රත්තො ච නිච්චං ධම්මගතා සති = යම් කෙනකුන් හට දහවලත් රෑත් නිතර දහම්ගුණ ඇරැබ උපදනා සිහිය ඇත්තේ වේ ද.

දිවා රාත්‍රි දෙක්හි නිතර දහම්ගුණ සිහි කරණ ගෞතමශ්‍රාවකයෝ හැම කල්හි දහම්ගුණ සිතින් සලකා ගෙණ නිදා පුබුදිනා බැවින් සුවසේ නිදා පුබුදින්නාහ.

“ස්වාක්ඛාතො භගවතා ධම්මො” යනාදී විසින් කියූ දහම් ගුණ අරමුණු කොට උපදනා සිහිය, ධම්මගතා සති නම්. ධම්මානුස්සති යනු ද මේ ය. ‘ ධම්මං ආරබ්භ උප්පන්නානුස්සති ධම්මානුස්සති, ස්වාක්ඛාත්තාදිධම්මගුණාරම්මණාය සතියා එතං අධිවචනං’ යනු පොතෙහි ආයේ ය. සපර්‍ය්‍යාප්තික නවලෝකෝත්තරධර්‍මයෙහි ගුණ නැවැත නැවැත සිහිකිරීම ධම්මානුස්සතිය යි. ධර්‍මයෙහි පමණ නො කළැකි ගුණ අරමුණු කළ සිහියට මේ නමෙකි, යනු අරුත්.

ස්වාක්ඛාතො භගවතා ධම්මො = භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මෙහි ලා පෙළදහම නවලොවුතුරු දහම ගැණේ. එහි පෙළදහම, මුල - මැද - අග යහපත් බැවින් හා අර්‍ත්‍ථව්‍යඤ්ජන සහිත වූ සියල්ලෙන් පිරිපුන් වූ පිරිසිදු වූ බඹසර පවසන බැවින් හා මනා කොට දෙසන ලද ය. බුදුරජුන් එක් ගාථාවක් නමුත් දෙසන ලද නම් ඒ ගාථාව හැම අතින් මුල - මැද - අග කල්‍යාණ ය. එකානුසන්‍ධිකසූත්‍රයෙහි කාල දෙශාදිය දක්වන නිදානයෙන් මුල ද, ‘ඉදමවොච භගවා, යනාදී නිගමනයෙන් අග ද සෙසු මැද කොටසින් මැද ද කල්‍යාණ ය. නානානුසන්‍ධික සූත්‍රයෙහි ප්‍රථම අනුසන්‍ධියෙන් මුල ද, අවසාන අනුසන්‍ධියෙන් අග ද සෙසු මැද අනුසන්‍ධියෙන් මැද ද කල්‍යාණ ය.

සූත්‍ර - විනයපිටක දෙක නිදානයෙන් හා අර්‍ත්‍ථොපත්තියෙන් යුක්ත වුයේ ආදි විසින් ද, විනෙයජනයන්ගේ අදහස් පරිදි දෙසන ලදුයේ ශීලාදී අර්‍ත්‍ථයෙන් නො වෙනස් වනුයේ හේතූදාහරණ සහිත වූයේ මද්ධ්‍ය විසින් ද, අසන්නවුන්ගේ ශ්‍රද්ධාව වඩාලන නිගමනයෙන් යුක්ත වූයේ පර්‍ය්‍යවසාන විසින් ද කල්‍යාණ ය. මේ කීයේ ත්‍රිපිටකධර්‍මයෙහි ලා ලැබෙන සැටි ය.

සියලු පර්‍ය්‍යාප්තිශාසනය එහි අර්‍ත්‍ථය වූ ශීලවශයෙන් ආදියෙන් ද, ශමථ - විදර්‍ශනා - මාර්‍ගඵල වශයෙන් මද්ධ්‍යයෙන් ද; නිවන් ලැබූ පසු කළයුත්තක් නැති බැවින් නිර්‍වාණයාගේ වශයෙන් පර්‍ය්‍යවසාන යෙන් ද කල්‍යාණ ය. තව ද ශීල - සමාධි දෙකින් ‍ආදිය හා විදර්‍ශනා - මාර්‍ග දෙකින් මද්ධ්‍යය හා ඵල - නිර්‍වාණ දෙකින් පර්‍ය්‍යවසානය හා කල්‍යාණ ය.

‘බුදුරජානන් වහන්සේ මනා නුවණැති සේකැ යි ගැණීමෙන් බුද්ධසුබොධිතායෙන් ආදිය හා ‘ධර්‍මය උන්වහන්සේගෙන් ප්‍රභව වී ය ය් ගැණීමෙන් උපදනා ධර්‍මසුධර්‍මතායෙන් මද්ධ්‍යය හා ‘සඞ්ඝ තෙමේ බුදුරජුන් වදාළ පිළිවෙත් අනුව වැටේ ය’යි ගැණීමෙන් උපදනා සඞ්ඝසුප්‍රතිපත්තිතායෙන් පර්‍ය්‍යවසානය හා කල්‍යාණ ය. අභිසම්බොධියෙන් ආදිය හා ප්‍රත්‍යෙකබොධියෙන් මද්ධ්‍යය හා ශ්‍රාවකබොධියෙන් පර්‍ය්‍යවසානය හා කල්‍යණ ය. ශ්‍රද්ධායෙන් ධර්‍මශ්‍රවණය කරන්නහුගේ තදඞ්ග විසින් නීවරණධර්‍ම යටපත් වන බැවින් ශ්‍රවණමාත්‍රයෙන් හිතයක් ම වන බැවින් ආදිය හා පිළිපැදීමෙන් ශමථ - විදර්‍ශනාසුඛ ගෙණ දෙන බැවින් පිළිවෙතින් මද්ධ්‍යය හා දහමට අනුව පිළින්නහුට ඒ පිළිවෙත පුරා අවසන්හි ෂඩඞ්ගොපේක්ෂා වශයෙන් ඉටු අරමුණෙහි තාදීභාවය ගෙණ දීමෙන් ප්‍රතිපත්තිඵලයෙන් පර්‍ය්‍යවසානය හා කල්‍යාණ ය.

මෙසේ බුද්ධධර්‍මය ආදි - මජ්ඣ - පරියොසාන කල්‍යාණ බැවින් ස්වාක්ඛාත ය. බුදුරජානන් වහන්සේ ත්‍රිවිධ ශික්‍ෂා සඞ්ඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය නානානයින් වදාරණ සේක් එ දෙක තම තමාට සුදුසු පරිදි අර්‍ත්‍ථසම්පත්තියෙන් යුක්ත බැවින්, සඞ්කාසන - පකාසන - විවරණ - විභජන - උත්තානීකරණ - පඤ්ඤත්ති යන සවැදෑරුම් අර්‍ත්‍ථපදයන් හා එක්වීමෙන් අර්‍ත්‍ථගමභීරතා ප්‍රතිවේධ ගම්භීරතායෙන් යුක්ත බැවින්, අත්‍ථපටිසම්භිදා - පටිභානපටිසම්භිදා විසය බැවින්, පණ්ඩිතයන් විසින් දත යුතු බැවින් හා පරීක්‍ෂකජනයාගේ චිත්තප්‍රසාදය එළවන බැවින්, ගැඹුරු අදහස් ඇති බැවින් යන මෙ කරුණුවලින් සාර්‍ත්‍ථ ය. තවද ශීලවිශුද්ධි ආදී වූ සම්‍යක් ප්‍රතිපත්තියෙන් අධිගමය ව්‍යක්ත වන බැවින් සාර්‍ත්‍ථ ය.

මෙහි කියූ සඞ්කාසන නම්: සැකෙවින් අරුත් දැක්වීම ය. පකාසන නම්: පළමුවෙන් අරුත් හැඟවීම ය. විවරණ නම්: සැකෙවින් කියන ලද්ද විස්තර කිරීම ය. විභජන නම්: පළමු කියන ලද්ද නැවැත නැවැත බෙදා දැක්වීම ය. උත්තානීකරණ නම්: විවරණය තව ද ප්‍රකට කොට දැක්වීම ය. පඤ්ඤත්ති නම්: විභජනය උදාහරණ දක්වා අසූවන්ගේ සිත සතුටු වන ලෙසින් ප්‍රකාරයෙන් දැක්වීම ය. මෙයින් සඞ්කාසන පකාසන දෙකින් උද්දෙස ය, විවරණ - විභජන දෙකින් නිද්දෙස ය, උත්තානීකරණ - පඤ්ඤත්ති දෙකින් පටිනිද්දෙස ය දක්වන ලදහ. එහි උද්ඝටිතඥයන් සඳහාය උද්දෙසය. විපචිතඥයන් සඳහා ය නිද්දෙස ය. ඥෙය්‍යයන් සඳහාය පටිනිද්දෙසය.

ව්‍යඤ්ජනසම්පත්තියෙන් යුක්ත බැවින් හා, අක්ඛර - පද - ව්‍යඤ්ජන - ආකාර - නිරුත්ති - නිද්දෙස්සසම්පත්තියෙන් හා, ධම්මපටිසම්භිදා - නිරුත්තිපටිසම්භිදා විසය බැවින් හා, ඇදහිය යුතු බැවින් හා, ලෝකීය ජනයාහට චිත්තප්‍රසාදය එළවන බැවින් හා, ප්‍රකට පද ඇති බැවින් හා යන මෙ කරුණු වලින් සබ්‍යඤ්ජන ය. තවද පර්‍ය්‍යාප්තියෙන් ආගමය ව්‍යක්ත වන බැවින් සබ්‍යඤ්ජන ය.

අක්ඛර නම්: කොතෙක් ලියූ ව ද කියූ ව ද නො ගෙවෙන සටහන් ය. පිටකත්‍රයට පැමිණ ද ක්‍ෂය නො වෙන්නේ අක්ඛර යි න්‍යාසයෙහි දක්වන ලදි. මොවුහු සංස්කාර - විකාර - ලක්‍ෂණ - නිර්‍වාණ - ප්‍රඥප්ති සඞ්ඛ්‍යාත පංචවිධ ඥෙය්‍යපථයෙහි පවත්නෝ මතු මතුයෙහි දක්නා ලබන්නෝ අක්ඛරයහ යි ශබ්දනීතියෙහි කියන ලදි. එක් අකුරක් ඇති පද ද අක්ඛර යි ගණු ලැබේ. පද නම්: විභක්ත්‍යන්ත වූ අර්‍ත්‍ථද්‍යොත්ක වූ අක්‍ෂරපිණ්ඩය යි. ව්‍යඤ්ජන නම්: පදයන් විසින් කියනලද අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නේ ය. ආකාර නම්: පදයන් කරණ කොට වාක්‍යය විභාග කිරීම ය. නිරුක්ති නම්: ආකාරයෙන් කියන ලද නිර්වචනය යි. නිර්‍දෙශ නම්: නිර්‍වචනය වඩාත් විස්තර කිරීම ය.

අඩු ය යි අමුතුවෙන් එළවිය යුත්තක් නැති ව හැම අයුරින් පිරිපුන් ව සිටි බැවින් හා, ශීලාදිපඤ්චධර්‍මයෙන් යුක්ත ව සිටි බැවින් හා කෙවලපරිපුණ්ණ ය. වැඩි ය යි ඉවත් කළ යුතු තැනක් නැති ව සිටි බැවින් හා, දෘෂ්ටි - මානාදී වූ කෙලෙස් නැති ව සිටි බැවින් හා, නිවන් පිණිස පවත්නා බැවින් හා පරිසුද්ධ ය. මෙසේ සාර්‍ත්‍ථ සව්‍යච්ජන - කෙවලපරිපූර්‍ණ - පරිශුද්ධ - බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ බැවින් ස්වාක්ඛාත ය.

බුදුරජානන් වහන්සේ වදාළ ධර්‍මයාගේ අර්‍තථවිපර්‍ය්‍යාසයෙක් කිසිදාකත් නො වෙන්නේ ය. එ‍ හෙයින් මනා ව දේශනා කරණ ලද්දේ ය යන අරුත් විසින් ස්වාක්ඛාත ය.

අන්‍යතීර්‍ත්‍ථකයන් අන්තරායකාර ය යි කියූ ධර්‍ම අන්තරායකර නො වන බැවින්, නිවන් පිණිස පවත්නේ ය යි කියූ ධර්‍ම නිවන් පිණිස නො පවත්නා බැවින් ඔවුන්ගේ ධර්‍ම පිළිබඳ අර්‍ත්‍ථ වෙනස් වනුයේ දුරක්ඛාත ය.

බුදුරජානන් වහන්සේ අන්තරායකර ය යි වදාළ ධර්‍ම අන්තරායකර ම බැවින්, නිවන් පිණිස පවත්නේ ය යි වදාළ ධර්‍ම නිවන් පිණිස ම පවත්නා බැවින් ස්වාක්ඛාත ය. මේ ස්වාක්ඛාතය කිසි කලෙක කිසිලෙසකින් වෙනස් නො වෙන්නේ ය. කරුණු මෙසේ බැවින් පර්‍ය්‍යාප්තිධර්‍මය ස්වාක්ඛාත පරිදි දත යුතු ය.

නිවනට අනුරූප වූ පිළිවෙත ද පිළිවෙතට අනුරූප වූ නිවන ද වදාළ බැවින් ලෝකෝත්තරධර්‍ම, ස්වාක්ඛාත ය. බුදුරජුන් විසින් ශ්‍රාවකයන්ට නිවනට යන පිළිවත මැනැවින් පණවන ලද්දී ය. එහි ගඞ්ගාජලය හා යමුනාජලය එකට සැසෙඳෙන්නා සේ නිවන පිළිවත හා සැසෙඳෙන්නේ ය. මෙය මෙසේ කීහ: “සුපඤ්ඤත්තා ඛෙ පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා, සං සන්‍දති නිබ්බානං ච පටිපදා ච, සෙය්‍යථාපි නාම ගංගොදකං යමුනොදකෙන සංසන්‍දති සමෙති, එවමෙව සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා, සංසන්‍දති නිබ්බානං ච පටිපදා ච” යි.

ආර්‍ය්‍යමාර්‍ගය අන්තද්වයට නො පැමිණි මද්ධ්‍යමප්‍රතිපදා වූ සේ ම මද්ධ්‍යමප්‍රතිපදා යිකි යන ලද බැවින් ස්වාක්ඛාත ය. ආර්‍ය්‍යඵල, සන්සුන් කෙලෙස් ඇතියේ ම සන්සුන් කෙලෙස් ඇතැයි කියන ලද බැවින් ස්වාක්ඛාත ය. නිවන සස්සත - අමත - තාණ - ලෙණාදී ස්වභාව ඇතියේ ම ඒ වශයෙන් වදාළ බැවින් ස්වාක්ඛාත ය. මෙයින් ලෝකෝත්තර ධර්‍මයන්ගේ ස්වාක්ඛාතභාවය කියන ලද්දේ ය.

සන්දිට්ඨිකො = මෙයින් කිසි තැනෙක ආර්‍ය්‍යමාග්‍රය ද, කිසි තැනෙක නවලෝකෝත්තරමාර්‍ගය ද ගැණේ. ආර්‍ය්‍යමාර්‍ගය ස්වකීය සන්තානයෙහි රාගාදීන් නැති කරණ බැවින් තමා විසින් ම දැක්ක යුත්තේ ය යන අරුත් විසින් සන්දිට්ඨික ය. මේ මෙහි සාධක දේශනා: “රත්තො ඛො බ්‍රාහ්මණ! රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාධායපි චෙතෙති, පරබ්‍යාධායපි චෙතෙති, උභයබ්‍යාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති රාගෙ පහීණෙ නෙව අත්තබ්‍යාධායපි චෙතෙති, න පරබ්‍යාධායපි චෙතෙති, න උභයබ්‍යාධායපි චෙතෙති. න චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, එවම්පි ඛො බ්‍රාහ්මණ! සන්දිට්ඨිකො ධම්මො හොති” යනු.

“බමුණ! රාගයෙන් රත් වූ රාගයෙන් මැඩුනු රාගයෙන් යට කොට ගත් සිත් ඇත්තේ තමහට පරහට වධ පිණිස සිතන්නේ ය, සිත පිළිබඳ දුක් දොම්නස් විඳින්නේ ය. රාගය පහව ගිය කල්හි තමාටත් පරහටත් වධ පිණිස නො සිතන්නේ ය, සිත පිළිබඳ දුක් සොම්නස් නො විඳින්නේ ය. බමුණ! මෙසේ ධර්‍මය සන්දිට්ඨික ය”. යනු එහි ඉතා කෙටි අරුත්. මෙහි ධර්‍මැයි කීයේ මාර්‍ගධර්‍මය යි.

නවලෝකෝත්තරධර්‍මය යම් යම්‍ කෙනකුන් විසින් අවබෝධ කරණ ලද්දේ වේ ද, උන් උන් විසින් අනුන්ගේ ඇදහීමෙන් විශ්වාසයෙන් නො ගොස් ප්‍රත්‍යක්‍ෂ විසින් වැටහුනු නුවණින් තමා විසින් ම දැක්ක යුතු බැවින් සන්දිට්ඨික ය. නොහොත් ප්‍රශස්ත වූ දෘෂ්ටිය සන්දිට්ඨි. නිවන් අරමුණු කළ ඒ මේ ප්‍රශස්තදෘෂ්ටියෙන් දිනනුයේ සන්දිට්ඨික ය. ආර්‍ය්‍යඵලයට කාරණ වූ සන්දෘෂ්ටියෙන් හා නිර්‍වාණ විෂය වූ සන්දෘෂ්ටියෙන් ද කෙලෙසුන් දිනන්නේ ය. එහෙයින් රටින් දිනන්නා රට්ඨි වන්නා සේ නවලෝකෝත්තර ධර්‍ම සන්දෘෂ්ටියෙන් දිනනුයේ සන්දිට්ඨික ය. තවද දැකීම දිට්ඨ නම්. ඒ දිට්ඨ යනු ම සන්දිට්ඨ නම්. මනා දැකීම යන අරුත්. ඒ මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික ය. ලෝකෝත්තරධර්‍ම වනාහි භාවනාප්‍රතිවේධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ ම සසරබිය නවතා ලන්නේ ය. එහෙයින් වස්ත්‍රයට සුදුසු වූයේ වත්‍ථික වන්නා සේ ම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වේ.

අකාලිකො = කල් නො යවා විපාක දෙනුයේ ය යන අරුත් මෙයින් මාර්‍ගය ම ගණු ලැබේ. තමාගේ ඵලය දිමට කාලයෙක් නැත්තේ අකාල. අකාල ම අකාලික ය. මාර්‍ගධර්‍ම වනාහි පස් දවස් සත් දවස් ඈ විසින් කල් ගෙවා ඵලය නො දෙනුයේ ය. ලෞකිකකුශලධර්‍ම එසේ පස් දවස් සත් දවස් ඈ විසින් ගෙවා ඵල දෙනුයේ නමුත් ලෝකෝත්තරකුශලධර්‍ම තමාගේ පැවැත්මට අනතුරුව ම ඵල දෙනුයේ ය. මාර්‍ගචිත්තයට අනතුරුව ම අතරක් නො තබා ම ඵලචිත්තය උපදනා බැවින් එසේ කිය යුතු. තවද ඵල දීමට දුර වූ කල් ඇතියේ කාලික. ඒ නම්: ලෞකිකකුසලය යි. එය කල් ගෙවා විපාක දෙන බැවින් කාලික ය. ලෝකෝත්තර කුශලය මාර්‍ගයට අනතුරුව ම විපාක දෙන බැවින් අකාලික නම් වේ.

එහි පස්සිකො = එව, බලව, යන විධානයට සුදුසු වූයේ එහා පස්සික ය. නවලෝකෝත්තරධර්‍මය යි. නවලෝකෝත්තරධර්‍මය එකාන්තයෙන් විද්‍යමාන බැවින් හා, පරිසිදු බැවින් හා, ඵලදායක බැවින් හා එසේ දක්වාලීමට සුදුසු ය. කිසි දැයකුත් නැතිව හකුළුවා ගත් හිස්මිට රන්රුවන් ඇතැ යි දක්වා ‘මෙහි එව, මෙය බලව,යි කියන්නට නො සුදුස්සේ ය. අපිරිසිදු දැයක් ගෙණ අත මිට මොළොවා ‘එව, මෙය බලව’ යි දක්වා ලන්නට ද නොහැකි ය. නො සුදුසු ය. ලෝකෝත්තරධර්‍මය වලාකුළුරහිත අහස පෙණෙන පුන්සඳ මඬල සේ එකාන්තයෙන් විද්‍යමාන බැවින් හා පඬුවන් පලසෙක ලූ දැරඟමිණක් සේ පිරිසිදු බැවින් හා ‘එව බලව’ යි කීමට සුදුසු ව සිටියේ ය.

ඔපනයිකො = සිත්හි එළවිය යුත්තේ ඔපනයික ය. සෝවන් ඈ මාර්‍ග හා ඵලධර්‍ම යි. එළවීම නම්: සිත්හි උපදවා ගැණීම ය. ඒ ය උපනය නම්. ගින්නෙන් ඇවිළ ගත් තමාගේ වස්ත්‍රය හෝ හිස ගැණ නො සිතා භාවනා වශයෙන් සිය සිත්හි තබා ගත යුත්තේ ඔපනයික ය යි. නිවන වනාහි තමාගේ සිතින් ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ඇලීමට සුදුසු ය යන අරුත් විසින් ඔපනයික වේ. නැත, නිවනට පමුණුවන බැවින් මාර්‍ග ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු බවට පමුණු වන බැවින් ඵලධර්‍ම හා නිවන ද උපනෙය්‍ය ය. ඒ මේ උපනෙය්‍යය ම ඔපනයිකැ යි දත යුතු ය.

පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි = ‘මා විසින් මාර්‍ගධර්‍ම වඩන ලද්දේ ය, ඵලධර්‍ම අත්පත් කරණ ලද ය, නිවන සාක්‍ෂාත් කරණ ලද්දේ ය, උද්ඝටිතඥ ආදී විඥයන් විසින් තම තමා කෙරෙහි ම තම තමන්ගේ සිත්හි ලා ම දත යුතු ය.

උපාද්ධ්‍යායයා වැඩූ මග ශිෂ්‍යයාගේ කෙලෙස් පහවීමට කරුණු නො වේ. උපාද්ධ්‍යායයාගේ ඵලසමාපත්තියෙන් ශිෂ්‍යයා සුඛිත නො වෙන්නේ ය. උපාද්ධ්‍යායයා ප්‍රත්‍යක්‍ෂ කළ නිවනින් ශිෂ්‍යයාගේ සන්සිඳීමෙක් නො වන්නේ ය. නව ලොවුතුරු දහම අන්හු හිස පැලඳි අබරණ සේ දැක්ක හැකි නො වේ. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ම තම තමන්ගේ සිත්හි ම දතයුතු ය. උපදවා ගත යුතු ය. සිත්හි ම ලා ලැබිය යුතු ය.

මේ ධර්‍මය නුවණනැත්තවුනට අසු නො වේ. ඔවුනට ගොදුරු නො වේ. ඔවුන්ගේ සිත්, මෙහි නො බසින්නේ ය. එහෙත් ස්වාක්ඛාත ය. කුමක් හෙයින් ස්වාක්ඛාත ද? යත්: සන්‍දිට්ඨික හෙයින් ස්වාක්ඛාත ය. කාලික බැවින් සන්‍දිට්ඨික ය. එහි පස්සික බැවින් අකාලික ය. යමෙක්, එහි පස්සික නම, එය ඔපනයික ය යි මෙසේ ධර්‍මයෙහි ගුණ සිහි කරණ කල්හි සිහි කරන්නහුගේ සිත රාග - ද්වේෂ - මෝහයන්ගෙන් නො මැඩුනේ ධර්‍මය අරමුණු කොට ම නො ඇද ව සිටින්නේ ය. එයින් යටපත් වූ නීවරණ ඇති ඔහුට ධ්‍යානාඞ්ග උපදනේ ය. දහම් ගුණ ගැඹුරු බැවින් ද නන් වැදෑරුම් ගුණ සිතෙහි නැගෙන බැවින් ද සිත අර්‍පණාවට නො පැමිණෙන්නේ ය. උපචාරද්ධ්‍යානයෙහි රැ‍ඳෙන්නේ ය. මෙසේ මේ ධ්‍යානය දහම් ගුණ අරමුණු කොට උපන් බැවින් දහම් ගුණ සිහි කිරීම නිසා උපදනා බැවින් ධම්මානුස්සති යි කියනු ලැබේ.

ධම්මානුස්සතිභාවනායෙහි යෙදුනු යොගී තෙමේ සිත්හි ලා කළ යුතු මෙබඳු ධර්‍මයක් දේශනා කරන්නා වූ මෙබඳු මහත් අඞ්ගයන්ගේන් පිරී ගත් ශාස්තෘවරයකු පෙර ද නො දිටිමි, දැනුදු නො දකිමි, මොවුන් හා සමයෙක් ලොවතුළ ම නැත්තේ ය, යි දහම්ගුණ දැකීමෙන් ම බුදුරජුන් කෙරෙහි ගෞරවය දක්වනුයේ වේ. යටත් පැවතුම් ඇතියේ වේ. ධර්‍මය කෙරෙහි ගරු බුහුමන් කරණුයේ ශ්‍රද්ධාදිගුණයන්ගෙන් මහත් බවට යනුයේ වේ. සිතේ සතුට බහුල කොට ඇතියේ බිය හා බිය දෙන අරමුණු ඉවසනුයේ වේ. ‘ධර්‍මය හා එක් ව වසමි’ යන සිත් ඇතියේ වේ. දහම් ගුණ සිහි කිරීමට තැන් වූ ඔහුගේ සිරුර ද සෑගෙයක් මෙකන් පිදීමට සුදුසු වේ. හේ ධර්‍මාවබෝධයට උත්සාහවත් වේ. ශික්‍ෂාපද ඉක්මවා යෑමට හේතු ඇති කල්හි ද ධර්‍මයෙහි මහත් බව සැලකීමෙන් ඔහුට එහි ලා විළිබය හට ගත්තේ ය. ඒ වේලෙහි ලෝකෝත්තරගුණයක් නො ලැබූයේ ද මරණින් මතු දෙව්ලොව උපදින්නේ ය.

සුප්පබුද්ධං පබ්ජ්ඣන්ති සදා ගොතමසාවකා = සියලු කල්හි ගෞතමශ්‍රාවකයෝ මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යෙසං දිවා ච රත්තො ච නිච්චං සඞ්ඝගතා සති = යම් කෙනකුන් හට දහවලත් රෑත් නිතර සඟගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ වේ ද,

දිවා රාත්‍රි දෙක්හි නිතර සඟ ගුණ සිහි කරණ ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හි සඟගුණ සිතින් ගෙණ නිදා පුබුදින බැවින් සැපසේ නිදා සැපසේ පුබුදින්නාහ.

“සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො” යනාදී විසින් කියූ සඟ ගුණ අරමුණු කොට උපදනා සිහිය, සඞ්ඝගතාසති නමි. සංඝානුස්සති යනු ද මේ ය. අෂ්ටවිධ ආර්‍ය්‍යපුද්ගලයන්ගේ මහත් වූ ගුණය නැවැත නැවැත සිහි කිරීම සඞ්ඛානුස්සති නම්.

“සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො” යනාදීන් වදාළ තැන භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ මනාව පිළිපන්නේ ය, යන අරුත්. ආර්‍ය්‍යමාර්‍ගප්‍රතිපත්ති නම් වූ සම්මාපටිපදාවට, නැවැත නො උපදනා සේ කෙ‍ලෙස් දුරු කරණ ප්‍රතිපත්ති නම් වූ අනිවත්තිපටිපදාවට, නිවනට අනුලොම් ව සිටුනා ප්‍රතිපත්ති නම් වූ අනුලෝමපටිපදාවට, අවිරුද්ධ ප්‍රතිපත්ති නම් වූ අපච්චනීකපටිපදාවට, නිවනට අනුරූප ව සිටි ප්‍රතිපත්ති නම් වූ ධම්මානුධම්මපටිපදාවට මැනැවින් පිළිපන් ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුපටිපන්න ය. ස්වාක්ඛාතධර්‍මය, විනයයෙහි අනුශාසනා පරිදි පිළිපන් බැවින් ද, අවිරුද්ධ ප්‍රතාපදාවට පිළිපන් බැවින් ද සුපටිපන්න ය ‘සාවකසඞ්ඝ’ යනු යට කියන ලද්දේ ය. ආර්‍ය්‍යශීලයෙන් හා ආර්‍ය්‍ය දෘෂ්ටියෙන් සමාන වූ එකට පෑහී සිටි ශ්‍රාවකගණය, සඞ්ඝ ය යි මෙහිලා ද ගන්නේ ය.

උජුපටිපන්නො = ඒ මේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ නම්, ඒ ප්‍රතිපදාව මායාසාඨෙය්‍යාදි පාපධර්‍මයන් මුලසුන් කරණ බැවින් ඍජු ය. ගොමූත්‍රවංක සේ වක්බැව් නැති බැවින් අවඞ්ක ය. චන්‍ද්‍රරෙඛාවංක සේ වක්බැව් නැති බැවින් අකුටිල ය. නගුලිස් වංක සේ වක්බැව් නැති බැවින් අජිම්හ ය. එබඳු වූ ඍජු - අවංක - අකුටිල - අජිම්භ ප්‍රතිපදාවට පිළිපන්නේ උජුපටිපන්න ය. කාමසුඛල්ලිකානුයෝග - අත්තකිලමථානුයෝග යන දෙ‍ කෙළවරට නො පැමිණ මද්ධ්‍යමප්‍රතිපදාවට පිළිපන් බැවින් ද, කායාදිද්වාරත්‍රයයෙහි කො තැනකත් ඇද කුද දුරු කිරීම පිණිස පිළිපන් බැවින් ද උජුපටිපන්න ය.

ඤායපටි‍පන්නො = ඒ මේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ නම්, ඒ ප්‍රතිපදාව අවිරුද්ධභාවයෙන් නිවන දනී නුයි ඤාය. ඤාය නම් නිර්දෝෂ වූ උපායයි. ප්‍රධාන විසින් ඤාය යි ගණු ලබන්නේ නිවන ය. ඒ නිවන යමකින් පිළිපදිනු ලැබේ නම් එ ද ඤාය ය. එනම්: ආර්‍ය්‍යමාර්‍ගය යි. ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඒ මේ ඤාය පිණිස පිළිපන් බැවින් ඤායපටිපන්න ය.

සාමීචිපටිපන්නො = ඒ මේ ශ්‍රාවකසඞ්ග තෙමේ යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ නම්, ඒ ප්‍රතිපදාව සතුන් සසර දුකින් මුදා හැරීමට බැහැර ලීමට පොහොසත් බැවින් සාමීචි ය. සතුන් සසර දුකින් මුදා හැරීමට පොහොසත් වූ ඒ මේ ප්‍රතිපදාවට පිළිපන් බැවින් ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය. යම් පරිදි පිළිපන් කෙනෙක් ශ්‍රද්ධාවත් ලෝකයා විසින් කරණු ලබන සැලකිලි ආදියට සුදුසු වෙත් ද එසේ පිළිපන් බැවින් ද සාමීචිපටිපන්න ය.

ආහුනෙය්‍යො = මෙහි, ගෙණවුත් දිය යුත්ත ආහුන නමි. දුර සිට ගෙණවුත් සිල්වතුන් විසයයෙහි දිය යුතු සිවු පසය හෝ ආහුන යි කියන ලදි. ඒ මේ ආහුනය පිළිගැන්වූවනට මහත් ඵල කරණයෙන් පිළිගැණීමට සුදුසු ව සිටියේ ආහුනෙය්‍ය නම් වේ. ඒ නම්: යුග වශයෙන් සතරක් වූ පුද්ගල වශයෙන් අට දෙනෙක් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ ය. විස්තර යට කියන ලද්දේ ය.

දුර සිට හෝ අවුතු සියලු වස්තුව යම් තැනෙක හෝම කළ යුතු ද එතැන ‘ආහවනීය’ ය. සක් දෙවිඳු ආදීන් විසින් හෝ පිදිය යුතු දනට සුදුසු වූයේ හෝ ආහවනීය ය. බමුණන්ගේ හෝම ගින්න මහත් ඵල ය යි, පිළිගෙණ ඔවුන් එයට ආහවනීය යි කියන්නා සේ ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ ද පුදන ලද්දේ මහත් ඵල දෙන බැවින් ආහවනීය යි කියනු ලැබේ.

මෙ ද දතයුතු ය.

“යො ච වස්සසතං ජන්තු අග්ගිං පරිචරෙ වනෙ,

‍එකම්පි භාවිතත්තානං මුහුත්තම්පි පූජයෙ,

සා යෙව පූජානා සෙය්‍යා යං චෙ වස්සතං හුතං”

යනු. යම් මිනිසෙක් සිය වසක් මුළුල්ලෙහි වෙනෙහි වසමින් ගිනි දෙවි පුදන්නේ ද යම් මිනිසෙක් එක් මොහොතකුත් වැඩූ විශේෂ ගුණ ඇතියකු පුදන්නේ ද මුලින් කියූ ගිනිපිදීමට වඩා පසු ව කියූ වැඩූ ගුණ විශේෂ ඇතියහු පිදීම ම උතුම් ය, හිතකර ය, යනු අරුත්.

පාහුනෙය්‍යො = මෙහි ආගන්තුකභෝජනය පාහුන නමි. එය නොයෙක් තැනින් එන තමන්ගේ හිත මිතුරු නෑ සහ ‍ලේනෑයනට සඞ්ග්‍රහ කරණු පිණිස පිළියෙල කෙරෙන භෝජනය යි. එයට සුදුසු වූවෝ ද, සඞ්ඝයා වහන්සේ ය. එහෙයින් නෑයන් හිත මිතුරන් සඳහා පිළියෙල කළ ඒ භෝජනය ද සඞ්ඝයා වහන්සේට ම පිදිය යුතු ය. සඞ්ඝ තෙමේ ම එය පිළිගැණීමෙහි සුදුසු ව සිටියේ ය. සඞ්ඝ තෙමේ අසඞ්ඛ්‍යගණනක් කල්ප ඉක්ම ගිය කල්හි ම දක්නට ලැබෙන්නේ ය. සඞ්ඝ තෙමේ කෙලෙසුන්ගෙන් විමුක්ත ය. මෙසේ පාහුනය පිළිගැණීමට සුදුසු ය, යන අරුත් විසින් පාහුනෙය්‍ය නම් වේ. කෙනෙක් මේ ‘පාහුනෙය්‍ය’ යන්න පාහවනීය යි කියත්. හැමට පළමු ගෙණවුත් හෝම කළ යුතු ය, යනු එහි අරුත්. සඞ්ඝ පූර්‍වකාරයට සුදුසු ය, සර්‍වප්‍රකාරයෙන් පිදිය යුතු ය, යන මෙයරතුත් හි පාහුනෙය්‍ය යනු ද සඞ්ඝයා වහන්සේ කෙරෙහි නැගී සිටිනුයේ ය.

දක්ඛිණෙය්‍යො = මෙහි පරලොව සුව පතා දෙන දානය දක්ඛිණා නමි. ඒ මේ දක්‍ෂිණාවට සුදුසු වූයේ හෝ දක්‍ෂිණාවට හිත වූයේ හෝ දක්ඛිණෙය්‍ය ය. සඞ්ඝ තෙමේ ය. මහත් ඵල කරණයෙන් සඞ්ඝ තෙමේ ම දක්‍ෂිණාව පරිසිදු කරන්නේ ය.

අඤ්ජලිකරණීයො = මෙහි දොහොත් මුදුනෙහි තබා ඇඳිලි බැඳ සියලු ලෝකයා විසින් කරණු ලබන නමස්කාරය අඤ්ජලිකරණ නමි. ලෝකයාගේ ඒ නමස්කාරයට සුදුසු ප්‍රධානස්ථානය සඞ්ඝ තෙමේ ය. එහෙයින් සඞ්ඝ තෙමේ අඤ්ජලිකරණීය නම් වේ.

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස = ලෝකයාගේ නිරුත්තර වූ පින්කෙත ය, යන අරුත්. සදෙවකලෝකයාගේ පින් බිජුවට රොපණය කළයුතු එක් ම තැන සඞ්ඝ තෙමේ ය. රජුගේ හැල් යෝ යව හෝ පැලවෙන තැන, රජුගේ හැල් කෙත, යවකෙත, යි ද, ඇමැතියන්ගේ හැල් හෝ යව හෝ පැලවෙන තැන් ඇමැතියන්ගේ හැල්කෙත්, යවකෙත්, යි ද කියන්නා සේ සියලු ලෝකයාගේ පින් පැලවෙන තැන, ලෝකයාගේ පින්කෙත යි කියත්. ලෝකයාට හිතසුව දෙන පින් නැග එනුයේ සඞ්ඝයා වහනසේ පිදීමෙනි. එහෙයින් ලෝකයාගේ අනුත්තරපුණ්‍යක්‍ෂෙත්‍රය සඞ්ඝ තෙමේ ය.

මෙහි ඉතා සැකෙවින් කියූ සුපටිපන්නතාදි සඞ්ඝගුණ සිහිකරන්නහුගේ සිත රාග - ද්වේෂ - මෝහයෙන් නො මැඩෙන්නේ ය. නො ඇද ව සිටින්නේ ය. නීවරණ යටපත් වන්නේ ය. සඞ්ඝගුණ ගැඹුරු හා නන් වැදෑරුම් සඞ්ඝගුණ සිහි වන බැවින් හා ධ්‍යානය අර්‍පණාවට නො නගින්නේ ය. උපචාරද්ධ්‍යානයෙහි රැඳී ගන්නේ ය. මෙය සඞ්ඝගුණ සිහි කිරීමෙන් ලත් බැවින් සඞ්ඝයානුස්සති යි කියනු ලැබේ.

සඞ්ඝානුස්සතිභාවනායෙහි යෙදුනු යොගී තෙමේ සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇතියේ යටහත් පහත් පැවතුම් ඇතියේ වේ. ඔහුගේ ශ්‍රද්ධාදීඉන්‍ද්‍රියයෝ මහත් බවට පැමිණෙන්නෝ ය. සිතේ සතුට බහුල කොට ඇතියේ බිය හා බිය උපද වන අරමුණු ඉවසනුයේ වේ. ‘සඞ්ඝයා හා එක් ව වසමි, යන සිත් ඇතියේ වේ. මොහුගේ සිරුර සඞ්ඝයා රැස්ව හිඳිනා පොහෝගෙයක් මෙන් පිදීමට සුදුසු වන්නේ ය. සඞ්ඝගුණාධිගමයෙහි සිත නැමී ගන්නේ ය ශික්‍ෂාපද ඉක්මවීමෙහි සිත නැගෙත් ම සඞඝයා හමුවෙහි පෙණී ගියා සේ විළිබිය එළැඹැ සිටින්නේ ය. ඒ වේලෙහි ලෝකෝත්තර ගුණයක් නො ලැබූයේ ද මරණින් මතු දෙව් ලොව උපදින්නේ ය.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා = සියලු කල්හි ගෞතමශ්‍රාවකයෝ මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යෙසං දිවා ච රත්තො ච නිච්චං කායගතා සති = යම් කෙනෙකුන්හට දහවලත් රෑත් නිතර කය ඇරැබැ උපදනා සිහිය ඇත්තේ වේ ද.

දිවා රාත්‍රි දෙක්හි නිතර කයෙහි පිළිකුල් බව සිහි කරණ ගෞතම ශ්‍රාවකයෝ හාම කල්හි කයෙහි පිළිකුල්බව අරමුණු කොට උපන් සිහියෙන් යුක්ත ව නිදා පුබුදිනා හෙයින් සැපසේ නිදා සැපසේ පුබුදින්නාහ. කායගතාසිතය යට කියන ලදි. [5]

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා = සියලු කල්හි ගෞතමශ්‍රාවකයෝ මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යෙසං දිවා ච රත්තො ච අහිංසාය රතො මනො = යම් කෙනකුන්ගේ සිත දහවලත් රෑත් කරුණායෙහි ඇලුනේ වේ ද.

දිවාරාත්‍රි දෙක්හි කරුණාභාවනායෙහි ඇලුනු සිත් ඇති ගෞතමශ්‍රාවකයෝ සියලු කල්හි සැපසේ නිදා සැපසේ පුබුදින්නාහ.

මෙහි ‘අහිංසාය’ යන්නෙන් කරුණාභාවනාව ගැණේ. 1 ‘මනො’ යන්නෙන් සිත කියන ලද්දේ ය. [6]

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා = සියලු කල්හි ගෞතමශ්‍රාවකයෝ මනා පිබිදීමෙන් පුබුදින්නාහ.

යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනො = යම් කෙනකුන්ගේ සිත දහවලත් රෑත් මෛත්‍රීභාවනායෙහි ඇලුනේ වේ ද.

දිවාරාත්‍රි දෙක්හි මෛත්‍රීභාවනායෙහි ඇලුනු සිත් ඇති ගෞතම ශ්‍රාවකයෝ මෙත් සිත නො හැර ම සැපසේ නිදා සැපසේ පුබුදින්නාහ.

මෙහි ‘භාවනාය’ යන්නෙන් සාමාන්‍ය ලෙසින් හැම භාවනාවක් ම කියැවෙන්නී නමුදු මෙහිලා ගත යුතු මෛත්‍රීභාවනා ය. එද යට ‘අහිංසා’ යන්නට කළ පරිකථායෙහිලා කියනලදී.

බුද්දානුස්සති - ධම්මානුස්සති - සඞ්ඝානුස්සති - කායගතාසති - කරුණා - මෙත්තා යන කර්‍මස්ථාන වැඩීමෙහි යෙදුනවුන් කෙලෙස් වසඟ නොවන බැවින් සැපසේ නිදා සැපසේ පුබුදින බව මෙයින් වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි එ දරු තෙමේ මවුපියන් සමග සෝවන් පලයෙහි පිහිටියේ ය. එයට අනතුරුව පැවිදි වූ ඒ සියල්ලෝ රහත් බවට පැමිණියාහු ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

දාරුසාටිකපුත්‍ර වස්තුව නිමි.

  1. 4-12 ‘සම්මාසම්බුද්ධසාවකො’ යනු බලනු.

  2. 7-9 ‘යථාරහන්කො’ යනු බලනු.

  3. 10-10 ‘සම්පන්නවිජ්ජාචරණා’ යනු බලනු.

  4. 14-1 ‘තං බුඞ්මනත්තගොචරං’ යනු බලනු.

  5. 21 ‘නිච්චං කායගතා සති’ /19-4 ‘අහිංසා’ යනු බලනු.

  6. 1-1 ‘මනො’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.