21-3 නො කටයුත්තෙහි යෙදුනු භික්‍ෂූන් වහන්සේලා

යං හි කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති

උන්නලාතං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා.

යමක් මහණුන් විසින් කටයුතු නම් එය (ඒ පාමොක් සිල් රැකුම් ධුතාංග පිරීම් ආදිය) හැරැ පියන ලද්දේ ද, මහණුන් විසින් නො කටයුතු (සිරුර සැරැසීම් ආදි) අකාර්‍ය්‍යය වනාහි කරණු ලැබේ ද, (හුවන ලද මාන නල ඇති, ස්මෘතිවිප්‍රවාසයෙන්) ප්‍රමාදි වූ ඒ පුඟුලන්ගේ කාමාදි ආස්‍රවයෝ වැඩෙන්නාහ.

යෙසඤ්ච සුසමාරද්ධා නිච්චං කායගතා සති.

අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො

සතානං සම්පජානානං අත්‍ථං ගච්ඡන්ති ආසවා.

යම් කෙනකුන් විසින් කාගියාසී භාවනාව සතතයෙන් මොනොවට වඩන ලද ද, මහණුන් විසින් කටයුතු (සිල් පිරුම් දුහඟ වැඩුම් භාවනායෙහි ඇලීම් යන) කාර්‍ය්‍යයෙහි සතතකාරී වූ ඔහු (ශරීරමණ්ඩන පරිෂ්කාර මණ්ඩනාදි) අකාර්‍ය්‍යය නො සෙව්නාහ. සිහි ඇති, (චතුසම්පජඤ්ඤ වසයෙන්) සම්පජානකාරී වූ ඒ පුඟුලන්ගේ ආස්‍රවයෝ පරික්‍ෂයයට (විනාශයට) යන්නාහ.

භද්දිය නුවර වැසි භික්‍ෂූන් වහන්සේලා වහන් මරවැඩි සැරසීමෙහි යෙදී වාසය කළහ. එහෙයින් ‍විනයයෙහි “එකල්හි භද්දිය භික්‍ෂූන් වහන්සේලා නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි යෙදී වෙසෙත්, තණවහන් කෙරෙත්, අන්හු ලවා ද කරවත්, මුදුතණවහන් කරත්, කරවත්, බබුස්තණවහන් කරත්, කරවත්, කිතුල් කොළ වහන් කරත්, කරවත්, කමලතණවහන් කරත්, කරවත්, පලස්වහන් කරත්, කරවත්, උදෙසීම්, පිළිවිසීම් නො කෙරෙත්, අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කෙරෙත්”යි කියන ලදි.

අන්‍ය භික්‍ෂූන් වහන්සේලා භද්දිය භික්‍ෂූන් මෙසේ කරණ බව දැන නින්දා පරිභව කොට බුදුරජානන් වහන්සේට එබව සැළ කළහ. එකල්හි උන්වහන්සේ ඒ භික්‍ෂූන්ට ගරහා “මහණෙනි! තමුසේලා අන් වැඩක් කරන්නට ගොස් අන් වැඩක ම යෙදුනහු”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

යං හි කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති,

උන්නලානං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා.

.

යෙසඤ්ච සුසමාරද්ධා නිච්චං කායගතා සති,

අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො,

සතානං සම්පජානානං අත්‍ථං ගච්ඡන්ති ආසවාති.

යමක් කටයුතු නම් එය හැරපියන ලද ද, නො කටයුත්ත වනාහි නො කෙරේ ද උසස් වූ මානනල ඇති ප්‍රමාදී වූ ඔවුන්ගේ ආස්‍රවයෝ වැඩෙන්නාහ.

යම් කෙනෙකුන් විසින් කායගතාසතිය නිතර මනා කොට වඩනා ලද ද කටයුත්තෙහි සත්ත ක්‍රියා ඇති ඔවුහු නො කටයුතු දැය නො කෙරෙත්. සිහි ඇති මනා නුවණැති ඔවුන්ගේ ආස්‍රවයෝ විනාශයට යෙත්.

යං හි කිච්චං තං අපවිද්ධං = යමක් කටයුතු නම් එය හැරපියන ලද ද.

මෙහි පැවිදි වූ දා සිට මහණහු විසින් කළයුතු සිල් රැකීම, වෙනෙහි විසීම, දුහඟරැකීම, භාවනායෙහි සිත් අලවා විසීම යන මේ ඈ කිච්ච යන මෙයින් දැක්වුණේ ය. මේ හැම විස්තර යට කියන ලදි. මේ කියූ මහණකමට අයත් පරලොවට හිත වූ සිල් රැකුම් ඈ හැරදමන ලදුයේ අපවිද්ධ නම්.

අකිච්චං පන කයිරති = නො කටයුතු කෙරේ ද.

සිරුර සැරසීමට හිස තබා රැවුළු සිඳහැරීම, ඇඟපත මුහුණ සුවඳ සුණු ගැල්වීම, පාත්‍රය ඔපමට්ටම් කිරීම, සිවුරු සකස් කිරීම, පාවහන් මිරිවැඩි සිත්තම් කිරීම, පැන් බඳුන් පැන් තැලි හැඩ වැඩ යොදා සකස් කිරීම, හිස පීරීම, හිස සුවඳ කැවීම යන මේ ඈ අකිච්ච නම්. අද මෙන් එදාත් පැවිද්දන් විසින් කළයුතු සිල් රැකීම් ඈ හැරදමා නො කටයුතු සිරුරු සැරසීම් ආදියෙහි යෙදුනු දරදඬු පැවිද්දන් දුටු බුදුරජානන් වහන්සේ මෙය මෙසේ වදාළ සේක.

උන්නලානං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා = උඩුහුරු වූ මානනල ඇති ප්‍රමත්ත වූ ඔවුන්ගේ ආස්‍රවයෝ වැඩෙත්.

තදින් නැගී සිටි, ජාති - ගෝත්‍ර - කුලපුත්‍රභාවාදිය නිසා දැපුනු උඩුහුරු වූ මානය ඇත්තේ උන්නල [1] . සිහිනුවණින් වෙන ව සිටියේ, කුසල් කිරීමෙහි පසුබට වනුයේ පමත්ත ය. [2] කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන මොවුහු ආසව නම්. [3]

යෙසං ච සුසමාරද්ධා නිච්චං කායගතා සති = යම් කෙනකුන් විසින් කායගතාසතිය නිතර මනා කොට වඩනා ලද ද.

කායගතා සති නම්: කෙස් - ලොම් - නිය - දත් ආදී භේද ඇති රූපකාය කරා ගියා වූ හෝ රූපකා‍යයෙහි හෝ ගිය සිහිය යි. “කෙසාදිභෙදං රූපකායගතං කායෙ වා ගතාති කායගතා සති” යනු ඒ කියූ සැටියි. මෙහි ‘කායගතසති’යි ශබ්දලක්‍ෂණ විසින් කිය යුතු වුව ද දීර්‍ඝ කොට ‘කායගතාසති’යි කියන ලද්දේ ය. මේ වනාහි කෙස් - ලොම් ආදී වූ කායකොට්ඨාසයන් අරමුණු කොට සිටි සිහිය යි. බුද්ධොත්පාදකාලයක විනා අන් කලෙක මෙය‍ නො ලැබෙන්නේ ය. අන්තොටුවනට මෙය විෂය නො වේ. බොසත්වරු අන් තවුස් පිරිවැජියෝ ශරීරය අශුභය යි දනිතත්, කර්‍මස්ථාන භාවනා විසින් මෙය නො දක්නෝ ය. නො දන්නෝ ය.

එහි ආණාපාණපබ්බ - ඉරියාපථපබ්බ - චතුසමජ්ජඤ්ඤපබ්බ - පටික්කූලමනසිකාරපබ්බ - ධාතුමනසිකාරපබ්බ - නවසීවථිකපබ්බ යන තුදුස් කොටස් අතුරෙහි පටික්කූලමනසිකාර වශයෙන් යම් ද්වත්තිංසාකාරකර්‍මස්ථානයක් වදාළ සේක් ද එය මෙහිලා ‘කායගතාසති’යි දතයුතු ය.

කාය නම්: ශරීරය යි. අශුචිරාශියෙක යන අරුත් විසින් ද පිළිකුල් වූ කෙස් - ලොම් - නිය - දත් ආදීනට හා චක්ඛුරොගාදී වූ නොයෙක් සිය ගණන් රෝගයනට ද උත්පත්තිස්ථානය යන අරුත් විසින් ද ශරීරය, කාය යි කියනු ලැබේ. පත්ලෙහි පටන් උඩ, කෙසගෙහි පටන් යට, සමෙහි පටන් සරස බඹයක් පමණ වූ මේ සිරුරෙහි කිසිවක්හටත් මහත් උත්සාහයෙන් සොයතුදු මුතුඇටක්, මැණිකක්, වෙරළුමිණක්, අගිලක්, කොකුමක්, කපුරක්, සඳුනක්, වත්සුන්නක් සොයා ගන්නට නො ලැබෙන්නේ ය. ලැබෙනුයේ ඉතා තදින් දුගඳ වහනය වන්නා වූ ඉතා පිළිකුල් වූ දක්නට නො හැකි වූ අශුභයෙක් ම ය.

මේ කමටහන වඩනු කැමැති ආදිකර්මිකයොගීහු විසින් කලණ ඇදුරකු වෙත ගොස් මෙය මැනැවින් උගත යුතු ය. කමටහන උගන්වා ලන ඇදුරහු විසිනුදු යොගීහට මේ පිළිබඳ වූ සප්තවිධ උද්ග්‍රහකෞශල්‍යය හා දශවිධ මනස්කාරකෞශල්‍යය ආනකුල ව මැනැවින් උගැන්විය යුතු ය.

ඒ මේ උද්ග්‍රහකෞශල්‍යය සත්වැදෑරුම් වනුයේ වචන - චිත්ත - වණ්ණ - සණ්ඨාන - දිසා අවකාස - පරිච්ඡෙද විසිනි. ත්‍රිපිටකධරයකු වුව ද කමටහන මෙනෙහි කරණ කල්හි පළමු කොට වචනයෙන් ම හැදෑරිය යුතු ය. කමටහන උගැන්මෙහි දී තචපඤ්චකාදිය වෙන් වෙන් කොට පිරිසිඳ අනුලොම් - පිළිලොම් විසින් හැදෑරිය යුතු ය. ‍ඒ මෙසේ දතයුතු ය.

එහි තචපඤ්චකය, කෙසා - ලොමා - නඛා - දන්තා - තචො යි අනුලොම් විසින්, තචො - දන්තා - නඛා - ලොමා - කෙසා යි පිළිලොම් විසින්,

වක්කපඤ්චකය, මංසං - නහාරු - අට්ඨි - අට්ඨිමිඤ්ජා - වක්කං යි අනුලොම් විසින්, වක්කං - අට්ඨිමිඤ්ජා - අට්ඨි - නහාරු - මංසාං - තචො - දන්තා - නඛා - ලොමා - කෙසා යි පිළිලොම් විසින්,

පප්ඵාසපඤ්චකය, හදයං - යකනං - කිලොමකං - පිහකං - පප්ඵාසං යි අනුලොම් විසින්, පප්ඵාසං - පිහකං - කිලොමකං - යකනං - හදයං - වක්කං - අට්ඨිමිඤ්ජා - අට්ඨි - නහාරු - මංසාං - තචො - දන්තා - නඛා - ලොමා - කෙසා යි පිළිලොම් විසින්,

මත්‍ථලුඞ්ගපඤ්චකය, අන්තං - අන්තගුණං - උදරියං - කරීසං - මත්‍ථලුඞ්ගං යි අනුලොම් විසින්, මත්‍ථලුඞ්ගං - කරීසං - උදරියං - අන්තගුණං - අන්තං - පප්ඵාසං - පිහකං - කිලොමකං - යකනං - හදයං - වක්කං - අට්ඨිමිඤ්ජා - අට්ඨි - නහාරු - මංසාං - තචො - දන්තා - නඛා - ලොමා - කෙසා යි පිළිලොම් විසින්,

මෙදඡක්කය, පිත්තං - සෙම්හං - පුබ්බො - ලොහිතං - සෙදො - මෙදො යි අනුලොම් විසින්, මෙදො - සෙදො - ලොහිතං - පුබේබො - සෙම්හං - පිත්තං - මත්‍ථලුඞ්ගං - කරීසං - උදරියං - අන්තගුණං - අන්තං - පප්ඵාසං - පිහකං - කිලොමකං - යකනං - හදයං - වක්කං - අට්ඨිමිඤ්ජා - අට්ඨි - නහාරු - මංසාං - තචො - දන්තා - නඛා - ලොමා - කෙසා යි පිළිලොම් විසින්,

මුත්තඡක්කය, අස්සු - වසා - ඛෙලො - සිඞ්ඝානිකා - ලසිකා - මුත්තං යි අනුලොම් විසින්, මුත්තං - ලසිකා - සිඞ්ඝානිකා - බෙලො - වසා - අස්සු - මෙදො - සෙදො - ලොහිතං - පුබේබො - සෙම්හං - පිත්තං - මත්‍ථලුඞ්ගං - කරීසං - උදරියං - අන්තගුණං - අන්තං - පප්ඵාසං - පිහකං - කිලොමකං - යකනං - හදයං - වක්කං - අට්ඨිමිඤ්ජා - අට්ඨි - නහාරු - මංසාං - තචො - දන්තා - නඛා - ලොමා - කෙසා යි පිළිලොම් විසින් වචනයෙන් හැදෑරිය යුතු ය. මෙසේ සියක් කල් දහස් කල් සියදහස් කල් වචනයෙන් හදාරණ කල්හි කමටහන්පෙල පුහුණු වන්නී ය. සිත තැන තරන නො ද දුවන්නේ ය. ඒ ඒ කොටස් ඔහුට පැහැදිලි වන්නේ ය. මෙසේ වචනයෙන් හදාරා පුහුණු කොට සිත්හිලා ද හැදෑරිය යුතුය. වචනයෙන් කරණ හැදෑරීමට ද සිතින් කරණ හැදෑරීමට ද, සිතින් කරණ හැදෑරීම අශුභලක්‍ෂණ දැනීමට ද උපකාර වන්නේ ය.

එසේ ම කෙස් -‍ ලොම් - නිය - දත් ආදීන්ගේ පැහැය තීරණය කිරීම වර්‍ණ වශයෙන් හැදෑරීම ය. කෙස් - ලොම් - නිය - දත් ආදීන්ගේ සටහන් ‘මේ මේය’යි තීරණය කිරීම සණ්ඨාන වශයෙන් හැදෑරීම ය. ශරීරයෙහි නාභියෙන් උඩත්, නාභියෙන් ටයත් කෙස් - ලොම් - නිය - දත් ආදී වූ ඒ ඒ කොටස් පිහිටියේ ය යි තීරණය කිරීම දිශා වශයෙන් හැදෑරීම ය. කෙස් - ලොම් - නිය - දත් ආදී වූ ඒ ඒ කොටස් අසුවල් දිශායෙහි පිහිටියේ ය යි තීරණය කිරීම අවකාශ වශයෙන් හැදෑරීම ය. කෙස් - ලොම් - නිය - දත් ආදී වූ කොටස් යටින් හා උඩින් හා සරසින් හා මෙ නම් පිරිසිඳිනා ලදැ යි සභාගපරිච්ඡෙද විසින් හා ‘මේ කෙස්’ මේ ලොම් නො වේ, මේ ලොම්, මේ කෙස් නො වේ ය’යි මිශ්‍ර නො කොට විසභාගපරිච්ඡෙද විසින් හා තීරණය කිරීම පරිච්ඡෙද වශයෙන් හැදෑරීම ය.

(කෙස් - ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිදුළු - වකුගඩු - හදවත - අක්මා - දලබු - බඩදිව - පපුමස - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - මල - පිත් - සෙම් - සැරව - ලේ - ඩහදිය - මෙදතෙල් - කඳුළු - වුරුණු තෙල් - කෙල - සොටු - සඳමිදුළු - මුත්‍ර - හිස්මොළ යනු සිංහල)

මේ සත් වැදෑරුම් වූ උදග්‍රහ කෞශල්‍යය කමටහන් දෙන ගුරුන් වෙතින් උගත් පසු මේ කමටහන අසුවල් සූත්‍රයෙහි පිළිකුල් වහයෙන් අසුවල් සූත්‍රයෙහි ධාතු වශයෙන් දේශනා කරණ ලදැ යි ද ගුරුවරයා විසින් කියා දිය යුතු ය. මේ වනාහි සතිපට්ඨාන සුත්‍රයෙහි පිළිකුල් වශයෙන් ආයේ ය. ධාතු වශයෙන් ආයේ මහාහර්‍ත්‍ථ පදොපම - මහාරාහුලොවාද සූත්‍රයන්හි හා ධාතුවිභඞ්ගයෙහි ය. කායගතාසති සූත්‍රයෙහි දී ධ්‍යාන සතර විසින් බෙදුනේ ය. ධාතු වශයෙන් බෙදුනී විදර්‍ශනා ය. පිළිකුල් වශයෙන් බෙදුනී ශමථ ය.

මනස්කාරකෞශල්‍යය දස වැදෑරුම් වනුයේ අනුපුබ්බ - නාතිසීඝ - නාතිසණික - වික්ඛෙප්පටිබාහන - පණ්ණත්තිසමතික්කමන - අනුපුබ්බමුඤ්චන - අපණ්ණා - අධිචිත්තසුත්ත - සීතිභාවසුත්ත - බොජ්ඣඞ්ග කොසල්ලසුත්ත විසිනි.

කමටහන පුහුණු කරන්නහු විසින් පුහුණුවට පටන් ගත් තැන සිට කෙස් - ලොම් ඈ දෙතිස් කොටස පිළිවෙළ නො ඉක්මවා මෙනෙහි කළ යුතු ය. එකක් හැර එකක් මෙනෙහි නො කළ යුතු ය. පෙති දෙ තිසක් ඇති ඉණිමගෙක නගින අදක්‍ෂ පුරුෂයා පෙත්තක් හැර පෙත්තක් නගිනුයේ ක්ලාන්තව ඇද වැටෙන්නේ ය. මත්තට නැග ගත නො හැක්කේ ය. එසේ එකක් හැර එකක් මෙනෙහි කරණ යොගී තෙමේ ද භාවනායෙන් ලැබිය යුතු වූ ආස්වාදය නො ලැබ ක්ලාන්ත වූ සිතැත්තේ වන්නේ ය. එහෙයින් භාවනා වඩන්නහු විසින් ඒ හැම එකක් පිළිවෙළ නො ඉක්මවා මෙනෙහි කළ යුතු ය. එසේ පිළිවෙළ නො ඉක්මවා මෙනෙහි කිරීම, අනුපුබ්බ විසින් මෙනෙහි කිරීම ය.

එසේ පිළිවෙළ නො ඉක්මවා මෙනෙහි කරන්නහු විසින් ඉතා ඉක්මණින් මෙනෙහි නො කළ යුතු ය. තුන් යොදුන් මගට පිළිපන්නකු ලහි ලහියේ ගමන් නො කොට යා යුත් නො යා යුතු තැන් විචාරා ම දැන යා යුතු වන්නා සේ ම මේ යොගීහු විසිනුදු කමටහන මැනැවින් වැටහෙන ලෙසට විභාග වශයෙන් සිතට නැගෙන ලෙසට එය මෙනෙහි කළ යුතු ය. අතිශීඝ්‍ර වශයෙන් මෙනෙහි නො කළ යුතු ය. මේ අතිශීඝ්‍ර වශයෙන් මෙනෙහි නො කිරීම, නාතිසීඝ විසින් මෙනෙහි කිරීම ය.

ඉතා හෙමින් ද කමටහන මෙනෙහි නො කළ යුතු ය. එක් දවසින් තුන් යොදුන් මග ගෙවා යා යුතු එකක්හට අතර මග ගස් - වැල් - විල් බලමින් ලැසි ව යන කල්හි එක් දවසින් මග ගෙවා යා යුතු වුව ද ඒ පිණිස දෙ තුන් දවසක් ගෙවන්නට සිදු වන්නේ ය. එපරිද්දෙන් ඉතා ලැසි ව මෙනෙහි කරණ කල්හි කමටහනෙහි කෙළවරෙක් දක්නට නො ලැබෙන්නේ ය. එය විශේෂාධිගමයට කරුණු ද නො වන්නේ ය. මෙසේ ඉතා හෙමින් මෙනෙහි නො කිරීම, නාතිසණික ‍විසින් මෙනෙහි කිරීම ය.

කමටහන් හැරපියා නීල - පීතාදී වශයෙන් නන් සැහැවි ඇති රූපාදී වූ අරමුණෙහි හා අශුභ වශයෙන් ගත යුතු කෙස් - ලොම් ආදයි ශුභ වශයෙන් ගැණීමෙහි ද සිත නො නගා සිත ඒ ඒ අරමුණු කරා නො යවා කමටහනෙහි යොදා කමටහන වැඩිය යුතු ය. මේ රූපාදී වූ අරමුණු වෙන් වෙන් වූ සැහැවි ඇති බැවින් එසේ නම් ලබත්. මෙහිලා සිතෙහි එකඟ බවක් නැති කල්හි යොගී තෙමේ කමටහනින් පිරිහෙන්නේ ය. එබැවින් ඒ කො තැනකිනුත් සිත නො යවා බැහැරි අරමුණෙහි සිත නො යොදා කමටහන මෙනෙහි කිරීම වික්ඛෙප්පවිබාහන විසින් මෙනෙහි කිරීම ය.

‘මේ කෙස්, මේ ලොම්, මේ නිය යන ඈ විසින් උන් උන් කෙරෙහි පැවැති ව්‍යවහාරය හැරපියා උන් කෙරෙහි පැවැති ව්‍යවහාරය හැරපියා උන් කෙරෙහි වූ පිළිකුල් බවෙහි සිත බැඳිය යුතු ය. එසේ පිළිකුල්බවෙහි සිත බැඳ ව්‍යවහාරයෙහි නො පිහිටා කමටහන මෙනෙහි කිරීම’ පණ්ණත්තිසමතික්කමන විසින් මෙනෙහි කිරීම ය.

කෙස් - ලොම් ඈ දෙ තිස් කොටසුත් අතුරෙහි යම් යම් කොටසෙක් නො වැටහේ නම් ඒ නො වැටහෙන කොටස් පිළිවෙළ හැරදමා මෙනෙහි කළ යුතු ය. මෙහි ‘කෙසා’යි මෙනෙහි කරත් මඒ මනස්කාරය ගොස් ‘මුත්තං’ යන අවසාන කොටසෙහි හැපී සිටියි. එසේ ම ‘මුත්තං’ යි පිළිලොම් විසින් මෙනෙහි කරත් ම ‘කෙසා’ යන්නෙහි වැදී ගන්නේ ය. මෙසේ මෙනෙහි කරන්නහුට ඇතැම් කොටස් වැටහෙන අතර ඇතැම් කොටස් නො වැටහෙන්නේ ය. එකල්හි වැටහෙන කොටස් ගෙණ එහි භාවනාව වැඩිය යුතු ය. දෙ කොටසක් වැටහේ නම් එයින් වඩා වැටහෙන කොටස ගෙණ එම මෙනෙහි කිරීමෙන් අර්‍පණා උපදවා ගත යුතු ය. මෙසේ මෙනෙහි කිරීම, අනුපුබ්බමුඤ්චන විසින් මෙනෙහි කිරීම ය.

අර්‍පණා වනු කො‍ටසෙක්හි කොටසෙක්හි ය. කෙස් - ලොම් - නිය - දත් ඈ එක් එක් කොටසෙක එක් එක් අර්‍පණායෙක් වන්නේ ය. ඒ ඒ කොටස් විභූත ව වැටහෙත් ම ඒ අරමුණු කොට අර්‍පණා උපදී. මෙසේ අර්‍පණා උපදනා ලෙසට මෙනෙහි කිරීම, අර්‍පණා විසින් මෙනෙහි කිරීම ය.

මෙසේ භාවනායෙහි යෙදුනහු විසින් කලින් කල සමාධිනිමිත්ත, කලින් කල පග්ගහනිමිත්ත, කලින් කල උපෙක්ඛානිමිත්ත මෙනෙහි කළ යුතු ය. යොගී තෙමේ දිගට ම සමාධිනිමිත්ත මෙනෙහි කෙළේ නම් ඔහුගේ සිත අලස බවට වැටෙන්නේ ය. පග්ගනිමිත්ත ම මෙනෙහි කෙළේ නම් සිත නො සන්සුන් වන්නේ ය. උපෙක්ඛා නිමිත්ත ම මෙනෙහි කෙළේ නම් ආස්‍රවයන් නසනු පිණිස සමාධි - පග්ගහ - උපෙක්ඛා නිමිති තුන මෙනෙහි කළ කල්හි සිත මොළොක් ද කටයුත්තට සුදුසු ද බබලන්නේ ද වේ. ආස්‍රවයන් නසනු පිණිස් මැනැවින් එකඟ වූවෙක් ද වන්නේ ය. මෙසේ සිත එකඟ වූ කල්හි විශිෂ්ටඥානයෙන් දතයුතු වූ යම් යම් ධර්‍මයෙක් වේ නම් එය දැන ගැණීමට සිත නැමී සිටියේ නම් මුලින් ඇති විය යුතු වූ හේතුවාසනාත් එක් වූ කල්හි එය අවබෝධ කොට ගත හැකි වන්නේ ය. මේ වනාහි අධිචිත්තසූත්‍ර විසින් මෙනෙහි කිරීම ය.

සිතට නිගා කළ යුත් කල්හි නිගා කිරී ම, සිතට අනුබල දිය යුතු කල්හි අනුබල දීම, සිත සතුටු කළ යුතු කල්හි සතුටු කිරීම, සිත මැදහත් කළ යුතු කල්හි මැදහත් කිරීම, මගපලයනට නතුවීම, නිවනෙහි ඇලීම යන මේ තත්ත්‍ව විසින් සිත වඩා ගත් කල්හි අනුත්තර සීතිභාවය වූ නිවන අවබෝධ කර ගැණීමෙහි සමත් වේ ය යි මෙනෙහි කිරීම, සීතිභාව විසින් මෙනෙහි කිරීම ය.

කමටහන වඩන්නහුගේ සිත යම් කලෙක හැකිළී සිටියේ නම්, භාවනාවට මැලි වේ නම් එකල්හි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට කාලය නො වේ ය,යි වදාළ ලෙසින් මෙනෙහි කිරීම, බොජ්ඣඞ්ග සූත්‍ර විසින් මෙනෙහි කිරීම ය. සංයුත්තනිකායයෙහි බොජ්ඣඞ්ග සංයුත්තය බැලිය යුතු ය.

මෙහි මෙසේ ඉතා සැකෙවින් කියූ සත් වැදෑරුම් වූ උද්ග්‍රහ කෞශල්‍යයත් දස වැදෑරුම් වූ මනස්කාරකෞශල්‍යයත් උගෙණ ඒ දෙවිධියෙන් පළමු කොට මේ කමටහන උගත යුතු ය. කමටහන් දුන් ඇදුරහු වසන තැන් හැර ගොස් කමටහන වඩනු කැමැත්තහු විසින් විස්තර වශයෙන් කමටහන කියවා ගෙණ සියලු ගැටතැන් පිරිසිදු කොට මෙහි ද්විතීයතරඞ්ගයෙහි ‘ඣායිනො’ යන්නට කළ පරිකථායෙහි කියූ ලෙසින් නො සුදුසු තැන් හැර සුදුසු සෙනසුනෙක වසමින් කුඩාපළිබෝධ දුරු කොට ප්‍රතිකූලමනස්කාරයෙහි පිරියම් කළ යුතු ය.

මෙහි ලා පළමු කොට කෙශයෙහි නිමිති ගතයුතු ය. එසේ නිමිති ගන්නහු විසින් එක් කෙස්ගසක් හෝ කෙස්ගස් දෙකක් හෝ ගලවා ගෙණ අල්ලෙහි තබා එහි පැහැය ගැණ සිතින් සැලකිය යුතු ය. කෙස් සිඳ දැමූ තැනෙක හෝ දියබඳුනෙක හෝ කැඳබඳුනෙක හෝ වැටී ඇති කෙස්ගසක් බැලුව ද වරද නැත්තේ ය. කලු පැහැති කල්හි දක්නා ලද නම් කලු පැහැය යි ද, සුදු පැහැති කල්හි දක්නා ලද නම් සුදු පැහැය යි ද, එ‍ දෙකින් මුසු කල්හි දක්නා ලද නම් එහි වැඩි තරමින් පෙණෙන පැහැය ගැණ මෙනෙහි කළ යුතු ය. තචපඤ්චකයට අයත් අන් කොටස් ද කෙස් කොටස මෙන් ම ඇසින් බලා ඒ කොටස්හි නිමිති ගෙණ වණ්ණ - සණ්ඨාන - දිසා - ඔකාස - පරිච්ඡෙද විසින් නිශ්චය කොට, නැවැත වණ්ණ - සණ්ඨාන - ගන්‍ධ - ආසය - ඔකාස යන පස් අයුරින් පිළිකුල් බව ව්‍යවස්ථා කළ යුතු ය.

කේශයෝ ප්‍රකෘති වර්‍ණ වශයෙන් අමු පෙණෙල ඇට මෙන් කලු පැහැ ඇතියහ. සණ්ඨාන වශයෙන් දික් වට තරාදිදඬුවෙක සටහන් ඇතියහ. දිශා වශයෙන් උඩ දිශායෙහි හට ගත්හ. අවකාශ වශයෙන් දෙ පස කන් සිළින් ද, ඉදිරි පස නළල් කෙළවරින් ද, පසු පස ගලවලුයෙන් ද, පිරිසිඳුනු හිස්කබල වසා සිටි තාක් සම, කෙශයන්ගේ අවකාශ ය යි. පරිච්ඡෙද වශයෙන් හිස වසා සිටි, වී ඇටගක් පමණ හමට ඇතුල් ව පිහිටා ගත්තාහු යට ඒ කෙස් වල ම මූලයෙන් ද මතු අහසින් ද අවට කෙස්ගස්වලින් ද පිරිසිඳින ලදහ. කෙස් ගස් දෙකක් එක් ව සිටියේ නො වේ, යනු සභාගපරිච්ඡෙදය වේ. කෙස් ලොම් නො වේ, ලොම් කෙස් නො වේ, අනික් තිස් එක් කොටස් හා නො මුසු බව, කෙස් අන් ම කොටසෙක යන බව විසභාගපරිච්ඡෙදය වේ.

කෙස් පැහැයෙන් ද පිළිකුල් ය. සිත්කලු වූ කැඳබඳුනෙක හෝ බත්පතෙක හෝ කෙස් ගසක් වැනි යමක් දුටහොත් මෙහි කෙස් ඇත, හැර දමවු’යි පිළිකුල් කරත්. මෙසේ කෙසක් පැහැයෙන් පිළිකුල් ය. රෑ කෑම කනවිට කෙස් ගසක් වැනි වරා කෙන්දක් හෝ නියඳ කෙන්දක් හෝ මුව ගැටුනොත් පිළිකුල් කෙරෙත්. මෙසේ සටහන් වශයෙන් ද පිළිකුල් ය. තෙල් ගැල්වීම් සුවඳ කැවීම් ආදියෙන් සකස් නො කළ කෙස්වල ගඳ ඉතා පිළිකුල් ය. ඉවසනු නො හැකි ය. පැහැයෙන් සටහනින් කෙස් එතරම් පිළිකුල් නැතැ යි යම් තමකින් කිය හැකි වුව ද ගඳින් නම් කෙස් ඉතා ම පිළිකුල් ය. ගම් වැස්සන්ගේ මල-මූ දමන අපිරිසිදු තැන්වල හට ගැණෙන පලා කොළ දන්නවුනට ඉතා පිළිකුල් ය. කෑමට ගන්නට නො කැමැති ය. එමෙන් කෙස් ද ලේ - සැරව - මල - මූ - පිත් - සෙම් ආදිය වැහීමෙන් හට ගන්නේ ය. මෙසේ කෙස්, පිහිටි තැන් වශයෙන් ඉතා පිළිකුල් ය. අසූචි රැසෙක හට ගත් පුස් මෙන් කෙස් එක් තිස් කුණු ගොඩෙක හට ගත්තේ ය. සොහොනෙහි කසළ ගොඩෙහි හට ගත් පලාකොළ සේ අගල් ආදියෙහි හට ගත් පියුම් මානෙල් සේ අපිරිසිදු තැන්හි හටගත් බැවින් පිළිකුල් ය. මෙසේ හට ගන්නා තැන් වශයෙන් ද පිළිකුල් ය. කෙස්වල පිළිකුල් බව වණ්ණ - සන්ඨාන - ගන්‍ධ - ආසය - අවකාස විසින් දක්නා සේ ම ලොම් - නිය - දත් ආදී වූ සෙසු කොටස් හි ද වණ්ණ - සන්ඨානාදීන්ගේ වශයෙන් පිළිකුල් බව දතයුතු ය. වණ්ණ - සන්ඨාන - දිසා - ඔකාස - පරිච්ඡෙද වශයෙන් ද එසේ සියල්ල වෙන් වෙන් කොට නිශ්චය කරගත යුතු ය. විස්තර කථාව විශුද්ධි මාර්‍ගයෙහි එන්නී ය.

කෙස් - ලොම් - නිය - දත් - සිවි - මස් නහර - ඇට - ඇටමිදුළු - වකුගඩු - හදවත - අක්මා - දලබුව - බඩදිව - පපුමස - අතුණු - අතුණුපහන - නො පැසුනු අහර - මල - හිස්‍ මොළ - පිත් - සෙම් - සැරව - ලේ - ඩහදිය - මෙදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙල - සොටු - සදමිදුළු - මූත්‍ර යන කොටස් දෙතිස පැහැයෙන් සටහනින් දිසායෙන් අවකාසයෙන් පිරිසිඳීමෙන් නිශ්චය කොට ගෙණ යට දැක් වූ පරිදි අනුපුබ්බනාතිසීඝාදී ක්‍රම විසින්, වණ්ණ - සන්ඨාන - ගන්‍ධ - ආසය - අවකාස යන පස් අයුරින් පිළිකුල, පිළිකුලැ යි මෙනෙහි කරත් ම කෙසාදි ව්‍යවහාරය ඉක්මවීම් වශයෙන් පවත්නා භාවනායෙහි කෙළවර, ඒ සියලු කොටස් එක්වර ම පැහැදිලි ව වැටහෙන්නේ ය. එක නූලෙහු ඇවුණු දෙතිස් පැහැයෙකින් යුත් මල් දෙතිසක් ඇති මල් මාලාවක් දෙස බලන විට සියල්ල එක්වර ප්‍රකට වන්නාක් මෙනි යට මනස්කාරකෞශල්‍යකථායෙහි ‘කෙසා’ යි මෙනෙහි කරත් ම යොගීහුගේ මනස්කාරය ගොස් ‘මුත්තං’ යන අවසාන කො‍ටසෙහි වැදී සිටින්නේ ය යි කීයේ මේ නිසා ය යි දතයුතු ය.

බැහැරි සිරුර පිළිබඳ මනස්කාරය කරන්නහුට නම් යට කියූ සේ ම සියලු කොටස් ප්‍රකට ව පෙණී ගිය කල්හි යෑම් ඊම් කරණ මිනිස් - තිරිසන් ආදී වූ, සත්ත්‍වයන් හැටියට නො ව කොටස් රාශි වශයෙන් වැටහේ. ඔවුන් විසින් කනු බොනු ලබන ආහාර පානාදීහු ද ඒ කොට්ඨාසරාසීන් තුළ බහා ලන්නාක් මෙන් වැටහෙත්. අනතුරු ව යට කියූ සේ අනුපුබ්බ මුඤ්චනාදි වසයෙන් පිළිකුල, පිළිකුලැ’යි නැවැත නැවැත මෙනෙහි කරත් ම පිළිවෙළින් අර්‍පණා උපදින්නී ය.

මෙහිලා වණ්ණ - සන්ඨාන - දිසා - අවකාස - පරිච්ඡෙද වසයෙන් වැටහීම උග්ගහනිමිත්ත ය. එ ම මුළුමනින් පිළිකුලැ යි වැටහීම පටිභාගනිමිත්ත ය. ප‍ටිභාගනිමිත්ත වඩනා කල්හි ප්‍රථමද්ධ්‍යාන වශයෙන් අර්‍පණා උපදී.

යමෙක් තමාට දෙතිස් කොටසින් එක් ම කොටසෙක් පැහැදිලි වූයේ නම් ඒ එක් ම කොටසෙහි අර්‍පණාවට පැමිණ නැවැත අන් කොටසෙක අර්‍පණාවට පැමිණීමට උත්සාහය නො කෙරේ නම් ඔහුට එක් ම අර්‍පණාවක් උපදි. යමක්හට නොයෙක් කොටස් ප්‍රකට ව පෙණෙත් ද, හේ එක් කොටසෙක ධ්‍යානයට පැමිණ නැවැත අන් කොටස්වල ද ධ්‍යානයට පැමිණීමට යෝග කෙරේ නම්, ඔහුට කොටස් ගණනට ප්‍රථමද්ධ්‍යාන උපදනේ ය. මෙසේ මේ කමටහන ප්‍රථමද්ධ්‍යාන වශයෙන් සිද්ධ වන නමුදු සිහියේ බලයෙන් ‘වණ්ණසන්ඨාන’ ආදී විසින් සැපයෙනුයේ ‘කායගතාසති’යි කියනු ලැබේ.

කායගතාසති භාවනායෙහි යෙදුනේ ඉතා දුර වන සෙනසුනෙහි හා අධිකුසලයෙහි නො ඇල්මත් පස්කම් ගුණයෙහි ඇල්මත් යටපත් කොට සිටින්නේ ය. අනභිරතිය විසින් හෙතෙම් නො වඩනා ලදුයේ වේ. උපන් අනභිරතිය යටපත් කරන්නේ ය. බිය හා බියසුලු අරමුණු මැඩලන්නේ ය. බියෙන් හා බිය දෙන අරමුණු වලින් යටපත් නො වන්නේ ය. උපනුපන් බිය හා බිය දෙන අරමුණු මැඩ ගෙණ සිටුනේ ය. ශීතොෂ්ණාදිය ඉවසන්නේ ය. කෙශාදීන්ගේ වර්‍ණභේදය ගෙණ භාවනා කිරීමෙන් ධ්‍යාන ලබන්නේ ය එයින් ම ෂට් අභිඥාප්‍රතිවේධය ද කරන්නේ ය.

“එකධම්මො භික්ඛවෙ! භාවිතො බහුලීකතො මහතො සංවෙගාය සංවත්තති, මහතො අත්‍ථාය සංවත්තති, මහතො යොගක්ඛෙමාය සංවත්තති, මහතො සතිසම්පජඤ්ඥාය සංවත්තති, ඤාණදස්සනපටිලාභාය සංවත්තති, දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති, කතමො එකධම්මො? කායගතාසති” යි වදාළ මෙ ද මෙහි අනුසස් විසින් දත යුතු ය.

මහණෙනි! එක් ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් සෙවුනා ලද්දේ මහත් සංවේග පිනිස, මහත් අර්‍ත්‍ථ පිණිස, මහත් යෝගක්‍ෂෙම පිණිස, මහත් සිහි බුද්ධිය පිණිස, ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස මේ අත් බැව්හි සැපවිහරණය පිණිස, විද්‍යා - විමුක්ති - ඵලප්‍රතිවේධය පිණිස පවති. ඒ කවර එක් ධර්‍මයෙක් ද, කායාගතාසති, යි යනු එහි කෙටි අරුත්.

එහෙයින් නුවණැත්තේ මෙබඳු නොයෙක් අනුසස් ඇති කායගතාසති භාවනායෙහි එක්වන් යෙදෙන්නේ ය. බුදුරජානන් වහන්සේ විසින් කායගතාසතිය වැඩීමෙහි අනුසස් නොයෙක් සූත්‍රයන් හිදී නොයෙක් ලෙසින් වර්‍ණනා කරණ ලද්දේ ය.

අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො = නිතර කටයුතු දැය කරණු ඔවුහු තුමූ නො කටයුතු දැය නො කෙරෙත්.

මෙහි අකිච්ච නම්: සිරුර ඔපමට්ටම් කිරීම්, පා සිවුරු ඈ පිරිකර සැරසීම් ය. කිච්ච නම්: වත් පිළිවෙත් පිරීම්, සිල් රැකුම්, වෙනෙහි විසුම්, දුහඟ සෙවුම්, භාවනා කිරීම් ආදී මහණකමට අයත් ක්‍රියා ය. සාතච්චකාරී නම්: මෙහි කායගතාසතිය වඩමින් නිරතුරු ව මහණකමට අයත් ක්‍රියාවන් ම කරන්නේ ය.

සතානං සම්පජානානං අත්‍ථං ගච්ඡන්ති ආසවා = සිහි ඇති මනා නුවණැත්තන්ගේ ආස්‍රවයෝ විනාශයට යෙත්.

සතානං යන මෙ පදයෙන් කියැවුනේ සමෘති අවිප්‍රවාසයෙන් යුත් අප්‍රමත්තයෝ ය. සිහියෙන් නො තොර ව සිහි ඇති ව වසන්නෝ ය. [4] සම්පජන නම්: සාත්‍ථකසම්පජඤ්ඤ - සප්පායසම්පජඤ්ඤ - ගොචරසම්පජඤ්ඤ - අසම්මෝහසම්පජඤ්ඤ යන චතුර්විධ සම්ප්‍රජන්‍යයෙන් යුක්ත වූයේය.

එහි “ඉදිරියට යමි” යි සිත උපන් කල්හි චිත්ත වශයෙන් ගොස් “මෙහි යෑමෙන් මට කවර වැඩෙක් දැ”යි අනර්‍ත්‍ථය හැර අර්‍ත්‍ථය පිළිගැණීම, සාත්‍ථකසම්පජඤ්ඤ නමි. ‘අභික්කම‍විත්තෙ උප්පන්තෙ චිත්තවසෙනෙව ආගනත්‍වා කින්නු මෙ එත්‍ථ ගතෙන අත්‍ථො අර්‍ත්‍ථ නත්‍ථිති අත්‍ථානත්‍ථං පරිගණෙත්‍වා අත්‍ථපරිගහණං සාත්‍ථකසම්පජඤ්ඤං” යනු අටුවා. ඒ ගමන් බිමන්හි සතප්‍රාය - අසත්ප්‍රායයන් දැන ගැණීම, සප්පායසම්පජඤ්ඤ නමි. “තස්මිං පන ගමනෙ සප්පායාසප්පායං පරිගණෙත්‍වා සප්පාය පරිගණ්හනං සප්පායසම්පජඤ්ඤං” යනු අටුවා. මෙසේ පිළිගත් සාත්‍ථක - සප්පායසම්පජඤ්ඤ ඇත්තහු අටතිස් වැදෑරුම් කර්‍මස්ථානයන්ගෙන් තමාගේ සිතට රුචි වූ කමටහන් උගෙණ පිඬු සිඟා යෑම ගොචරසම්පජඤ්ඤ නමි. “එවං පරිග්ගහිතසාත්‍ථකසප්පායස්ස පන අට්ඨතිංසාය කම්මට්ඨානෙසු අත්තනො චිත්තරුචියා කම්මට්ඨානසඞ්ඛාතං ගොචරං උග්ගහෙත්‍වා භික්ඛාචාරගොචරෙ තං ගහෙත්‍වා ගමනං ගොචරසම්පජඤ්ඤං” යනු අටුවා.

අත්‍ථං, යනු මෙහි විනාශය කියන්නේ ය. සංස්කෘතියෙහි ‘අස්තම්’ යි ද සිංහයෙහි ‘හත්’ යි ද සිටියේ ය. අව්‍යයෙකි. නාශනයෙහි හා අදර්‍ශනයෙහි ආයේ ය.

ආසව නම්: කාම - භව - මිච්ඡාදිට්ඨි - අවිජ්ජා යන මේ සතර ය. [5] කායගතාසතිය නිතර වඩන, කළ යුතු මහණදම්හි නිතර යෙදී වසන සිහි නුවණැති පැවිද්දන්ගේ හා සිහිනුවණින් යෙදී දැහැමි ලෙසින් දිවි ගලවන ගිහියන්ගේ ද කාමාදි ආස්‍රවයෝ නැසී යන්නාහු එකාන්තසිද්ධියෙකි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු රහත් බැව්හි පිහිටියාහු ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

භද්දියභික්‍ෂු වස්තුව නිමි.

  1. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

  2. 2-1 ‘යෙ පමත්තා’ යනු බලනු.

  3. 7-4 ‘යස්සාස්වා පරික්ඛීණා’ යනු බලනු.

  4. 2-1 ‘සතිමතො’ යනු බලනු.

  5. 7-4 ‘යසස්සවා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.