පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන සොතාපත්තිඵලං වරං.
මුළු පොළොවෙහි සක්විති රජ ඉසුරට වඩා (සවිසි වැදෑරුම්) ස්වර්‍ගයට යෑමට ද වඩා, (නාගලෝකාදිය සහිත) මේ සියලු ලෝකයෙහි අධිපති බවට ද වඩා සෝවාන් පලය ම උතුමි. මෙ තෙක් තැන අධිපති කොටත් සත්ත්‍ව තෙම අපායෙන් නො මිදුනේ ම වෙයි. සෝවාන් පුඟුල් තෙම අපායෙක නො උපදී. අට වන භවයක් නො ලබයි. එහෙයින් මුළු ලොව ම අධිපති බවට වඩා සෝවාන් ඵලය උතුමි.
අනේපිඬු සිටු සැදැහවත් ය. එහෙත් ඔහු පුත් කාළ තෙමේ සැදැහ නැත්තේ ය. බුදුරජුන් වෙත යනු, ගෙට වැඩිය ද දකිනු, බණ අසනු, සඞ්ඝයා වෙත ගොස් වතාවත් කරණු ඔහුට නො රිස්නේ ය. “පුතේ! ඔහොම නො කරන්නැ” යි සිටු විසින් කියන ලද්දේ ද හේ එය නො පිළිගණියි. දවසෙක සිටු තෙමේ “මේ දරු මෙබඳු දෘෂ්ටියක් ගෙන සිටීමෙන් මරණින් මතු අපායයෙහි උපදින්නේ ය, ඒ සිකුරු ය, මා බලා සිටියදී මේ දරු අපාගත වන තැනට කටයුතු කිරීම මට මහත් වේදනාවෙක, මදි කමෙක, වේවා, මේ පොළොවෙහි මිල මුදලට අන් අතක ගසන්නට බැරි මිනිසෙක් නැත, නුවණ මද මිනිහා මිලමුදල් ම බලා පොරොත්තු වෙයි, එබන්දකුට මිල මුදල් ටිකක් දුන් විට ඔහු ලවා ඕනෑම වැඩක් කරවිය හැකි ය, එහෙයින් මිලමුදල් ටිකක් දී මොහුගේ අදහස් වෙනස් කරමි” යි සිතා “පුත! පන්සලට ගොස් සිල් සමාදන් ව බණටිකකුත් අසා එන්න, ඒ ආ සැටියේ පුතාට මම ඕනෑ වැඩක් කරගැණීමට සන්තෝෂ වශයෙන් මුදල් ටිකක් දෙන්නෙමි” යි කී ය. ඔහු ද එයට තුටු පහටු ව “කෝ තාත්තේ! මට දෙන මුදල් පෙන්වන්නැ” යි කී විට “මෙන්න පුත! මුදල්, මේ මුදල් දෙන්නෙමි, වරදින්නේ නැතැ” යි කී ය.
මෙසේ සිටු දෙතුන් විටක් ම කී කල්හි සිටු පුත් පෙහෙවස් ගෙණ විහාරයට ගොස් බණ ඇසීමෙන් වැඩෙක් නැතැ යි වරක් පහසු තැනක නිදා හිඳ උදෑසනින් ම නින්දෙන් නැගිට ගෙදර ගියේ ය. මහසිටු තෙමේ “මා පුත් පෙහෙව ආයේ ය, ඉක්මනට කැඳ අවුලු ගෙණ එවු” යි ගෙන්වා දෙවී ය. ඔහු “මුදල් අතට නො ගෙණ නම් නො කමි” යි ගෙණවුත් දුන් හැට දැය ම ප්‍රතික්ෂේප කෙළේ ය. සිටු තෙමේ පුතුන්ගේ පෙළීම නො ඉවසන්නේ මුදල් පොදියක් ගෙන්වා ඔහුට දෙවූයේ ය. ඔහු එය අතට ගෙණ කෑම ගත්තේ ය. පසුදාත් සිටු තෙමේ “පුත! මේ වර නුඹට පළමු වරට වඩා මුදල් දෙන්නම්, හැබැයි, නුඹ විහාරයට ගොස් බුදුරජුන් වෙතින් එක් බණ පදයක් ඉගෙණ අවුත් එය මටත් කියා දෙන්නට ඕනෑ. මුදල් දෙන්නෙම් එවිට ය” යි කියා එවරත් ඔහු විහාරයට පිටත් කොට යැවී ය. ඔහු මුදල් ලැබීමෙහි ආශාවෙන් එවරත් වෙහෙරට ගොස් බුදු රජුන් ඉදිරියෙහි හිඳ එක් ම බණ පදයක් ඉගෙණිමට සැරසුනේ ය. බුදුරජානන් වහන්සේ ඔහු උගත් බණ පදය අමතක වන ලෙසක් කළ සේක. සිටුපුත් පළමු උගත් බණ පදය අමතක ව ගිය බැවින්, නැවැත ද බණ පදයක් උගන්නෙමි යි එහි ම සිට බණ ඇසී ය. උගන්නෙමි යි සිතා අසන්නේ මැනැවින් අසන්නේ ය. උගන්නෙමි යි සිතා බණ අසන්නවුන්ට ධර්‍මය තෙමේ සෝවන් ඈ මග පල දෙන්නේ ය. මේ සිටු පුතු ද උගනෙමි යි දැඩි ව ගෙණ බණ අසයි. බුදුරජානන් වහන්සේ ද ඔහුට අසන අසන බණ පදය නො සැලැකෙන සැටියක් ම කරණ සේක. අන් පදයක් උගන්නෙමි, අන් පදයක් උගන්නෙමි යි සිතමින් බණ ඇසූ ඔහු ඒ වේලෙහි ම සෝවන්මඟ නුවණ ලැබී ය. පසුදා ඔහු බුදුරජුන් ප්‍රධාන කොට ඇති මහාසඞ්ඝයා වහන්සේ සමග නුවර සියගෙට පැමිණියේ ය. අනේපිඬු සිටුහට සිය පුතු දැක “අද වෙනදා වගේ නො වේ මපුතු, අද මපුතුගේ හැඩ හුරුකම් කාගේත් සිත ගණී, කාටත් රුචි උපදවා” යි අදහස් විය. ඒ අතර සිටුපුත්හට “මාගේ පියා අද බුදුරජුන් ඉදිරියෙහි මට මුදල් නො දෙනු නම්, මුදල් ලැබීමෙහි ආශාවෙන් මා පෙහෙවුනු බව නො කියා සඟවනු නම්, යෙහෙකැ” යි අදහස් විය. එහෙත් බුදුරජානන් වහන්සේ මුදල් ලැබීමෙහි ආශාවෙන් ඔහු පෙහෙව ගත්බව දැන සිටි සේක.
මහාසිටු තෙමේ සියගෙට වැඩ ම කළ බුදුරජුන් ප්‍රධාන මහා සඞ්ඝයා වහන්සේට කැඳ පිළිගන්වා නැවැත පුතුට ද කැඳ ගෙන්වා දෙවී ය. ඔහු ද නිහඬ ව කැඳ බී කැවිලි ද වළඳා බත් අනුභව කෙළේ ය. නැවැත සිටු තෙමේ බුදුරජුන් දන් වළඳා අවසන් කළ ඉක්බිති මුදල් මල්ල ගෙන්වා පුතු ඉදිරියෙහි තබා “පුත! මම නුඹට සෑහෙන මුදලක් දෙන්නෙමි” යි නුඹ පෙහෙවස් ගන්වා විහාරයට යැවීමි, මේ මා කී ඒ මුදල, එය භාර ගෙණ කැමැත්තක් කර ගන්නැ” යි කී ය. හෙතෙමේ ද බුදුරජුන් ඉදිරියෙහි තබා මුදල් දෙන විට ලජ්ජා ඇති ව “මට මුදල්වලින් වැඩෙක් නැතැ” යි කියා සිටියේ ය. “නෑ පුත! ගන්න මා මෙය දෙන්නේ ඉතා සතුටින්, ගන්න, වරදෙක් නැත, භාර ගෙණ වුවමනා දෙයක් කර ගන්නැ” යි මහාසිටු කියද්දීත් ඔහු මුදල් නො පිළිගත්තේ ය. ඉක්බිති අනේපිඩු මහසිටු බුදුරජුන් වැඳ “ස්වාමීන් වහන්ස! අද මපුත් වෙනස් වී සිටියි, ඔහුගේ හැඩ හුරුකමත් සිරුරු පැහැයත් වෙනදාට වඩා සිත් කලු ය, මා මන වඩන්නේ ය” යි දැන්වී ය. බුදුරජානන් වහන්සේ “ඇයි සිට! එසේ කියහු දැ” යි අසා වදාළ කල්හි “ස්වාමීනි! ඔහු මුලින් දවසේ විහාරයට යැවුයෙම් මුදල් ටිකක් දීමේ පොරොන්දුව පිට ය, පසු දා විහාරයේ සිට ආ මොහුට බත් කන්නට කීමි, එහෙත් එදා මොහු මුදල් අතට නො ගෙන බත් කන්නට සතුටු නො වී ය, අද නම් පැරැත්ත කර කර දුන්න ද ගන්නට නො කැමැත්තේ ය” යි කීවිට බුදුරජානන් වහන්සේ “ඔවු! මහ සිට! නුඹගේ පුතුට අද සක්විති සැපතටත් වඩා දිව්‍යලෝක සැපතටත් වඩා හැම ලෙසකින් සෝවාන් පලය උතුම් ය” යි වැටහී ගොස් තිබේ, එහෙයින් මේ ලෞකික වූ හැම දෙයක් ගැන ඔහුගේ ආශාව බොහෝ දුරට අඩුව ගොස් තිබේ, මේ මුදලට කැමැති නැත්තේ එහෙයිනැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා,
සබ්බලොකාධිපච්චෙන සොතාපත්තිඵලං වරන්ති.
මහා පෘථිවියෙහි වු එක් රජයට වඩා ස්වර්‍ගයට යනුවට ද වඩා මුළු ලොව අධිපතිභාවයට වඩා සෝවන් පලය උතුම් වේ.
පථව්‍යා එකරජ්ජෙන = පොළොවෙහි එක් රජයටත් වඩා සක්විතිරජය ලැබීමටත් වඩා.
සක්විතිරජ බවට කිසි ලෙසකිනුත් ලංකළ හැකි සම කළ හැකි අන් රජයෙක් මේ මුළු මහාපොළොවෙහි නැත්තේ ය. සක්විති රජකම පොළොවෙහි ඇති එක් රජය යි වදාළේ එහෙයිනි. මිනිස් ලොව ඇති අසහායසම්පත්තිය උසස් ම සම්පත්තිය මෙය වේ. මෙයට වැඩිතරම් වූ සම්පත්තියෙක් මිනිස් ලොව නැත.
දෙදහසක් කුඩා දිවයිනෙන් පිරිවැරුණු සිවු මහාදිවයිනෙහි පතළ අණසක ඇති ජනරඤ්ජකත්‍වය සක්විති රජකමැ යි ගැණේ. පොළොව ඇති අන් හැම රජකමෙක් මෙයට යටත් ය. මෙය අන් හැම රජකම් අබිබවා සිටියේ ය.
පෙර කළ සියලු කුසලයන්ගේ විපාකය එකවිට වැළඳීමෙහි පොහොසත් වූවෙක් ම එබඳු කාලයෙක ලෝකමාන්‍ය වු අති පවිත්‍ර වූ මවුපිය පරපුරක් ගෙණ උපන්නේ මේ ජනරඤ්ජකත්‍වයට පැමිණෙන්නේ ය.
සක්විති රජකම ලැබීමට සුදුසු පිණැත්තකු ලෝ පහළ වීමට සියක් වසක් තිබිය දී කාමාවචර දෙවියෙක් රන්වන් සළු හැඳ සුවඳ විලවුන් ඇඟ තවරා පළඳනා ඇඟලා මිණි වොටුනු දරා මඟුල් වෙස් ගෙණ මේ මගුල් සක්වළ සිවු මහාදිවයින වටා “මෙයින් සියක් අවුරුද්දක් ගිය තැන සක්විති රජකු උපදිනු ඇතැ” යි කියමින් හැසිරෙන්නේ ය. එතැන් සිට සියක් අවුරුද්දක් ගිය තැන කෘතපුණ්‍ය වූ මේ මහාපුරුෂ තෙමේ උභයකුල පරිශුද්ධ මාතෘ පිතෲන් ගෙණ නානාවිධ ආශ්චර්‍ය්‍යයන් මැද ලොව පහළ ව කුමාරපරිහාරයෙන් වැඩී මුළු මහත් දඹදිව ද්වීපච්චක්‍රවර්තී ව දස රජදම් නො වරදවා සිවූ සඟරාවතින් ප්‍රජාපාලනය කරන්නේ, දන් ඈ දස වැදෑරුම් සක්විති වත් පුරා රජ සිරි විඳින්නේ ය. පුරපසළොස්වක දිනයෙහි උදෑසන ලක්‍ෂයක් වියදම් කොට මහාදන් පවත්වා සුවඳදියෙන් ඉස් සෝදා නා සුදුවත් හැඳ පොරවා ගෙණ පෙහෙවස් ඉටා සිරියහන් ගබඩාවට පිවිස පලක් බැඳ හිඳ දානාදිකුශලකර්‍මයන් සිතමින් සිහිකරමින් හිදියි. එකල පුර්‍වෙකෘතකුශලබලයෙන් චක්‍රරත්නය - හස්තිරත්නය - අශ්වරත්නය - මාණික්‍යරත්නය - ස්ත්‍රීරත්නය - ගෘහපතිරත්නය - පරිණායකරත්නය යන සප්තවිධ චක්‍ර රත්නයන්ගේ ප්‍රතිලාභයෙන් දෙදහසක් කොදෙවු වලින් පිරිවැරුණු සිවු මහාදිවයිනෙහි සක්විති රජවන්නේ ය.
මෙතෙමේ චක්‍රරත්නයෙහි ආනුභාවයෙන් නො දිනූවන් දිනන්නේ ය. හස්ති-අශ්වරත්නයන්ගේ බලයෙන් දිනා ගත් කොදෙවු සහිත වූ සිවු මහාදිවයිනෙහි කැමැති සේ සුව සේ හැසිරෙන්නේ ය. පරිණායකරත්නයෙහි මහිමයෙන් දිනා ගත් විජිතයන් එකවන් රකින්නේ ය. මෙයින් අන්‍ය වූ රතනයන්ගේ අනුහසින් උපභෝග සුඛ වළඳන්නේ ය.
චක්‍රරත්නයෙන් මොහුට උත්සාහශක්තියෝගය පරිණායක රත්නයෙන් මන්ත්‍රශක්තියෝගය හස්ති - අශ්ව - ගෘහපති රත්නයන්ගෙන් ප්‍රභූශක්තියෝගය පිරිපුන් ව ලැබෙන්නේ ය. ස්ත්‍රී - මාණික්‍ය රත්න දෙකින් මෙකී ත්‍රිවිධ ශක්තියෝග ඵලය ම වන්නේ ය. මේ තෙමේ ස්ත්‍රී - මාණික්‍යරත්න කරණ කොට අනන්තාපරිමිත භෝග සම්පත්තීන් වළදන්නේ ය. චක්‍රරත්නය පහළ වීමෙන් පසු ලොවැති අන් හැම දෙවස්ථාන කෙනෙක් ම, අභාවයට යන්නෝ ය. ලෝවැසි සියල්ලෝ එයට ම වඳිති. පුදති. ගරු කෙරෙති.
මෙහි මුලින් කියූ ත්‍රිවිධරත්නයෝ, අදෝස නම් කුසල මූලයෙන් හටගත් ගණන් නැති කුසල චේතනාබලයෙන් නිපැදුනෝ ය. මාණික්‍ය - ස්ත්‍රී - ගෘහපති රත්නයෝ, අලෝභ නම් කුසලමූලයෙන් හටගත් ගණන් නැති කුසලචේතනාබලයෙන් නිපැදුනෝ ය. පරිණායකරත්නය, අමෝහ නම් කුසලමූලයෙන් හටගත් ගණන් නැති කුසලචේතනාබලයෙන් නිපැදුනේ ය. මෙහිලා මේ කීවා ඉතා කෙටිකතා ය. විස්තරකථාව බොජ්ඣංගසංයුත්ත - රතනසුත්ත යන මෙතැන්වලින් දත යුත්තේ ය.
ලෞකික වූ හැම සැපතින් මුදුන්පෙත්තට නැගි මේ මහේශාක්‍යමහාපුරුෂයෝ දෙදෙනෙක් එක්සක්වළෙක එක් වට පහළ නො වෙත්. පහළ වන්නේ එකෙක් ම ය. එසේ එකකු පහළවනු, ලෝකයා අතර හටගන්නා වූ විවාද නැසීම පිණිස ආශ්චර්‍ය්‍යය පිණිස චක්‍රරත්නයෙහි මහත්ත්‍වය රැකෙනු පිණිස ය.
දෙදෙනකු එකවිට උපන් කල්හි “අපගේ රජ මහත් ය, අපගේ රජ මහත් ය” යි මහාජනයා අතර විවාද හටගන්නේ ය. “මේ දිවයිනෙහි සක්විති රජෙක, මේ දිවයිනෙහි සක්විති රජෙකැ” යි එක් වට කියත්, සක්විත්තන්ගේ ආශ්චර්‍ය්‍යයෙක් නැත්තේය. දෙදහසක් කොදෙවු පිරිවර කොට ඇති සිවු මහාදිවයිනෙහි චක්‍රරත්නයාගේ ඓශ්වර්‍ය්‍යදානයෙහි යම් කිසි බලයෙක් මහානුභාවයෙක් වේ නම් එ ද පිරිහෙන්නේ ය. මේ හේතු ය දෙදෙනකු එක්වට පහළ නො වීමෙහි.
බුදුරජකු ලොව පහළ ව ඇති කල්හි සක්විති රජෙක් හෝ සක්විති රජකු ලොව පහළව ඇති කල්හි බුදුරජෙක් හෝ ලොව පහළ නො වේ. සක්විති රජකු ලොව ඇති කලෙක බුදුකෙනෙක් ලොව පහළ වූවෝ නම් සක්විති රජ පැවිද්ද හෝ ලබයි. කලුරිය හෝ කරයි. සක්විතිරජුගේ සොහොන් අලු ථූපාරහ වේ. එයට වැඳීමෙන් පිදීමෙන් බුහුමන් කිරීමෙන් දෙවිමිනිස් සැප ලැබිය හැකි ය.
සංයුත්තනිකායට්ඨකථාවෙහි “මෙතෙමේ මහත් පුණ්‍යානුභාවයෙන් නැගුනේ “පින්වත් තෙමේ අණසක පවත්වා යන වචනයන් ගෙන් මෙහෙයුනේ අණසක පවත්වා නු යි චක්කවත්තී නමැ” යි කියන ලදී.
දීඝනිකායට්ඨකථාවෙහි “මෙතෙමේ චක්‍රරත්නය පවත්වා නු යි හෝ චතුර්විධසම්පත්ති චක්‍රයෙන් යුක්තව පවතී නු යි හෝ අනුනට හිතපිණිස චතුර්විධ ඊර්‍ය්‍යාපථයන්ගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තේ නු යි හෝ චක්කවත්තී නැමැයි කියන ලදී.
සක්විතිරජ සුප්පතිට්ඨිතපාදතා දී වූ මහාපුරුෂලක්‍ෂණ දෙතිසකින් හෙබියේ ය. දැහැමි වූයේ ය. පුණ්‍යානුභාවයෙන් රජය ලැබ රජ වූයේ ය. පරහිතකරණයෙන් හෝ දැහැමි වූයේ ය. ආත්මහිතකරණයෙන් හෝ ධර්‍මරාජන් වූයේ ය. සිවු සයුර කෙළවර කොට ඇති මහාපොළොවට ඊශ්වර වූයේ ය. ඇතුළත්හි වූ ක්‍රෝධාදී වූ සතුරන් හා බැහැර සියලු රජුන් දිනා සිටියේ ය. දනවුහි නො සැලෙන බවට පැමිණියේ ය. සප්තරතනයෙන් පිරිවැරුණේ ය. දිව්‍ය පුත්‍රයන්ගේ සිරුරු වැනි සිරුරු ඇති පර සේනා මැඩලන දහසකට වැඩි පුත්‍රයන්ගෙන් බැබලුනේ ය. “ අයං පි දෙව! කුමාරො ද්වත්තිංසමහාපුරුසලක්ඛණෙහි සමන්නාගතො, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස දෙවව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්නො විජිතාවී ජනපදත්‍ථාවරියපන්තො සත්තරතනසම්පන්නො පරොසහස්සං ඛො පන පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා” යනු එහි පාලි.
දෙතිස් මහාපුරිස්ලකුණෙන් හෙබි මෙතෙමේ ගිහි ව සිටියේ ම සක්විති වන්නේ ය. පැවිදි වූයේ සම්බුදු වන්නේ ය. මේ ඒකාන්ත සිද්ධිය වේ. “සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො” යනු පාලියි. දීඝනිකායයෙහි අම්බට්ඨ - මහාපදාන - චක්කවත්තිසීහනාද සූත්‍ර හා සාර සඞ්ග්‍රහයෙහි චක්කවත්තිවිභාවනාකථා ද බැලිය යුතුය.
මෙහි කියූ මහත්ත්‍වයෙන් යුක්ත වූ මහාපුරුෂයක්හුගේ ජනරඤ්ජකත්‍වය පොළොවෙහි එක්රජය යි වදාළ සේක.
සග්ගස්ස ගමනෙන වා = ස්වර්‍ගයට යනුවට වඩා සග සැප ලැබීමට වඩා.
චාතුර්‍මහාරාජිකාදි ස්වර්‍ගලෝක සයෙක, බ්‍රහ්මපාරිෂද්‍යාදි රූපාවචර බ්‍රහ්මලෝක සොළසෙක, ආකාසානඤ්චායතනාදි අරූපාවචර බ්‍රහ්මලෝක සතරෙකැ යි ස්වර්‍ගවිස්සෙකි. [1]
සබ්බලොකාධිපච්චෙන = මුළු ලොව අධිපතිභාවයට වඩා නාග සුපර්‍ණ වෛමානික ප්‍රේතයන් සහිත මුළු ලොව අධිපතියකු වීමට වඩා.
සොතාපත්තිඵලං වරං = සෝතාපත්තිඵලය උතුම් වේ. සෝතාපත්තිඵලයට පැමිණීම උතුම් ය.
සෝතාපත්ති මග්ග චිත්තය ලැබූ පුද්ගලයාහට එයට අනතුරුව ඒ හා ම උපදනා සිත සෝතාපත්තිඵල නම්. මග්ගචිත්තය කුසල් ය. ඵලචිත්තය එහි විපාකය. මග්ගචිත්තයාගේ විපාක වශයෙන් උපදනා චිත්තය සෝතාපත්තිඵල නම් වේ.
කෘත්‍ය වශයෙන් හා ආලම්බන වශයෙන් අසමාන වූ අනුලෝම - ගෝත්‍රභූ - මග්ග - ඵල යන ලෞකික ලෝකෝත්තර ජවන් සිත් සතක් පරම කොට ඇති ඒකාවර්‍ජන අර්‍පණා චිත්තවීථියෙහි සතර වන හෝ පස්වන ජවනස්ථානයට පැමිණියේ සෝතාපත්තිමග්ග චිත්තය යි. සතරවන ජවනය, මග්ගචිත්තය වී නම් ඒ චිත්තවීථියෙහි ම පස්වන සවන සත්වන ජවනයෝ ඵලචිත්ත නම් වෙත්. පස්වන ජවනය මග්ගචිත්තය වී නම්, සවන සත්වන සිත් දෙක පලසිත් වේ. සෝතාපත්තිඵලැයි කීයේ මේ පලසිත් ය.
සතරවන ජවනය, මග්ගචිත්තය ලෙසින් ලැබෙන චිත්තවීථියෙහි පළමුවන දෙවන සිත් දෙක අනුලෝම යි ද, තෙවන සිත ගෝත්‍රභූ යි ද, පස්වන ජවනය මග්ගචිත්තය ලෙසින් ලැබෙන චිත්ත වීථියෙහි පළමුවන ජවනය පරිකම්ම යි ද, දෙවන ජවනය උපචාර යි ද තුන්වන ජවනය අනුලෝම යි ද සතරවන ජවනය ගෝත්‍රභූ යි ද ගැණේ. මොවුනට අරමුණු වන්නේ අනිත්‍යාදි ලක්‍ෂණත්‍රයයෙන් යම් ඒ එකෙක් ය. අනිත්‍යාදී වූ යමක් ම අරමුණු කොට පරිකම්ම - උපචාර - අනුලෝම නාමයෙන් උපදිති මෙ කියූ ජවනයෝ. මෙසේ කෘත්‍ය වශයෙන් වෙන වෙන නම් ලබන්නේ ද වෙනසක් නො තබා අනුලෝමයෝ ම වෙත්.
අනුලෝමඥානයන්ගෙන් සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාන්‍ධකාරය පහව ගිය කල්හි ගෝත්‍රභූචිත්තය නිවන් අරමුණු කොට තුන්වැනි ව හෝ සතරවැනි ව උපදනේය. මේ ගෝත්‍රභූචිත්තය තමා ආවර්‍ජනයෙක් නො වූ යේම ආවර්‍ජනස්ථානයෙහි සිට මාර්‍ගය ආවර්‍ජනය කරණ බැවින් පටිපදාඤාණදස්සනවිසුද්ධිය නො වේ. මාර්‍ගය නො වන බැවින් ඤාණදස්සනවිසුද්ධියත් නො වේ. මේ දෙයතුර ගණන් ගත යුතු නො වේ. විදර්‍ශනාස්‍රෝතයෙහි වැටුනු බැවින් විදර්‍ශනා යි ගත යුතු ය.
සතරවන පස්වන සිත් සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමාස යන සංයෝජන තුණ හා සියලු කෙලෙසුන් පිළිබඳ අපායගාමී ශක්තිය, මරණ නසන බැවින් මග්ගචිත්ත යි ගැණේ. මොවුනට අරමුණු වන්නේ නිවණ ය. නිවන අරමුණු කොට මග්ගචිත්තයෝ උපදිත්. එලචිත්ත නම්, ඒ මග්ගචිත්තයන්ගේ විපාක යි. මෙහි මුලින් කියූ ආර්‍ය්‍යපුද්ගල විභාගය බැලිය යුතු ය.
සක්විති රජකම් කළ ද දෙව්ලොව හෝ බඹලොව ඉපිද දෙව් සැප බඹසැප වින්ද ද මුළු ලොවැ ම රජ වුව ද අපායයෙන් මිදීමෙක් නැත. සෝවන් පලයට පැමිණියේ ම හැර පියන ලද අපායය ඇත්තේ වේ. ඔහු සෝවන් මගපල ලබා කෙලෙසුන්ගේ අපායෝත්පාදකශක්තිය නැසූ බැවිනි එසේ වනු. එහෙයින් ඔහුගේ අපායයෙහි ඉපැදීමෙක් නැත. ආර්‍ය්‍යපුද්ගලයන් අතුරෙහි හැමට දුර්‍වල වූ සත්තක්ඛත්තුපරම සෝතාපන්නයාද භවයෙහි උපදිනුයේ සත්වරක් ම ය. අටවැනි භවයෙහි නම් උපතෙක් ඔහුට ද නො ලැබෙන්නේය. “සියලු ලෞකික වූ සැපතට වඩා ලෝකෝත්තර වූ සෝතාපත්තිඵලය උතුමැ” යි වදාළෝ මේ නිසා ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහු ය.
කාල නම් අනාථපිණ්ඩිකපුත්‍ර වස්තුව නිමි.
1-13 ‘භියො නන්‍දති සුග්ගතිං ගතො’ යනු බලනු ↑