කො නු හාසො කිමානන්‍දො නිච්චං පජ්ජලිතෙ සති
අන්‍ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථ.
සතතයෙන් (මේ ලෝකසන්නිවාසය රාගාදි එකොළොස් ගින්නෙන්) ඇවිල ගෙණ දිලියෙන කල්හි (තොප හැම දෙනාට) සොම්නසෙක් වත් සතුටෙක් වත් කවරේ ද? (දුඃඛාදි අට තන්හි උපදනා සම්මෝහ යැ යි කියන ලද) අවිද්‍යාන්‍ධකාරයෙන් වළඳනා ලද්දා වූ තෙපි (ඒ මොහඳුර නසනු පිණිස මාර්‍ගඵලප්‍රඥා සංඛ්‍යාත) ප්‍රදීපය කුමට නො සොයවු ද?
සැවැත් නුවර වැසි පන්සියයක් පමණ කුලපුත්‍රයෝ, “මෙසේ කළොත් මෑලා අප්‍රමාද විහරණ ඇත්තාහු වෙති” සියඹුවන් විශාඛා මහාඋපාසිකාවට භාර දුන්හ. එතැන් සිට ඈලා උයනට, වෙහෙරට යන්නෝ නම්, විශාඛා උපාසිකාවන් හා එක් ව යෙති. දවසක් එහි “සුරා උත්සවයක් වන්නේ ය” යි දැන්වීම් පළකළ කල්හි ඈලා සිය සැමියනට සුරා පිළියෙල කළහ. ඔවුහු ද සත් දවසක් සුරා උත්සවයෙහි කෙළිසෙල්ලම් කොට අටවනදා ගොවිකම් වෙණදම් ඈ කර්‍මාන්ත පිණිස ගෙවලින් නික්ම ගියහ. ඒ ගෑණු “අපට අප හිමියන්ගෙන් සුරා ටිකක් වත් බොන්නට නො ලැබූනේ ය. ගෙයි ද සුරා ඉතිරි ව තිබේ. හිමියනට නො දැනෙන ලෙසින් ඉන් ටිකක් බොන්නෙමු” යි සිතා විශාඛාවන් වෙත ගොස් “ආර්‍ය්‍යාවෙනි! කලකින් උයන් යන්නට නො ලැබුනේ ය. උයන් යනු කැමැත්තෙමු” යි කීහ. විශාඛාවෝ ද “හොඳයි, එසේ නම් කළ යුතු වැඩ අවසන් කොට යවු” යි කීහ.
ඈලා වැඩ අවසන් කොට විශාඛාවන් සමග උයන් ගොස් විශාඛාවන්ට නො දැනෙන සේ සුරා ගෙන්වා බී මත් ව තැන තැන හැසිරෙන්නට වූහ. ඒ දත් විශාඛාවෝ “මෑලා කළෝ ලොකු වරදක්, තීර්‍ත්‍ථකයෝ දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවිකා වු විශාඛාවෝ රා බී මත් ව හැසිරෙති යි සිතා, මට ගරහන්නාහ” යි “කෙල්ලනි! තොප කළ වැඩේ හොඳ නැත, මටත් මෙයින් ගැරහුම් ලැබෙන්නේ ය. තොපගේ හිමියෝත් තොපට කිපෙත්, දැන් තෙපි කුමක් කරන්නහු දැ” යි ඇසූහ. ඈලා එවිට “ආර්‍ය්‍යාවෙනි! කළ වරදට දැන් කුමක් කරමු ද, අපි අපේ හිමියනට ලෙඩ වූ ලෙසක් පෙන්වමු” යි කීහ. මම තොපට සුරා බොන්නට නො කීමි, ලෙඩ වන්නට නො කීමි, තොපි තොපගේ වැඩවලින් ප්‍රකට වහු” යි විශාඛාවන් කී කල්හි ඈලා සිය ගෙවලට ගොස් හිස වහා පොරවා ගෙන ලෙඩ වූ සැටි දක්වමින් වැතිර හොත්හ. එකල ඈලාගේ ස්වාමිපුරුෂයෝ ගෙවලට අවුත් “කොහි ද අපේ අම්මණ්ඩි, කොහි ද අපේ උපාසකම්මා” යි අසා “ලෙඩින් පෙළෙන්නී ය” යි ගෙයි සිට දු පුතුන් කී කල්හි “එකතින් මෑලා ඉතිරි ව තුබූ සුරා බොන්නට ඇතැ” යි ලං ව පරීක්‍ෂා කොට සුරා බී බව දැන තළා පෙළා අරගල කළහ.
මෙයින් පසු එක් දවසෙක සුරා බොන්නට සිතු මේ ගෑණු විශාඛාවන්ට උයන් යන්නට අඬ ගෑහ. “පෙරත් තෙපි මට ගැරහුම් ලැබෙන පරිදි ක්‍රියා කළාහු ය. තෙපි යවු, මට යන්නට ඉඩ නැතැ” යි විශාඛාවෝ කීහ. “ආර්‍ය්‍යාවෙනි! මින් පසු අපි මෙ බදු වැඩ නොකරන්නෙමු. අප කළ ඒ නොපණත් කමට කමන්න, අපි දැන් බුද්ධ පූජාවක් කරනු කැමැත්තම්හ ඒ නිසා අප වෙහෙරට කැඳවා ගෙණ යනු මැනවැ” යි ඈලා කීහ. “එසේ නම් පූජාභාණ්ඩ පිළියෙල කොට මට කියවු” යි කී කල්හි පැස් පුරා වත පුරා කරඬු පුරා සුවඳ මල් ගෙණ, රා බඳුනුත් එල්ලා ගෙණ දිග පළලැති රෙදි පොරවා ගෙණ විශාඛාවන් වෙත ගොස් “පූජාභාණ්ඩ පිළියෙල කොට ගනිමුයි ඈට දන්වා ඇයත් කැටුව ගොස් වෙහෙරට ඇතුල් ව පසෙකට වී රා බී හිස් රා බඳුන් බැහැර දමා ධර්‍ම ශාලාවට ගොඩ නැගී බුදුරජුන් ඉදිරියෙහි වාඩි ගත්හ. එවිට විශාඛාවෝ “ස්වාමීනි! මෑලාට බණ ටිකක් වදාරණු මැනවැ” යි ආරාධනා කළහ. ඒ වේලෙහි මේ ගෑණු රා බී මත් ව මදවේගයෙන් සින්දු කියන්නට නටන්නට අදහස් කළහ.
එක් මාරකායික දෙවියෙක් “උන් හැමගේ සිරුරෙහි ආවිෂ්ට ව ශ්‍රමණ ගෞතමයාගේ ඉදිරියෙහි නොසරුප් නා සැබි වියරු දක්වන්නෙමි” යි උන් ඇඟ ආවිෂ්ට වි ය. උන් අතුරෙහි සමහර ගෑණු බුදුරජුන් ඉදිරියෙහි, අප්පුඩි ගසා සිනා සෙන්නට වූහ. සමහර ගෑණු නටන්නට පටන් ගත්හ. බුදුරජානන් වහන්සේ “මේ කිමැ” යි බලා වදාරණ සේක් කරුණු දැන “මාරපාක්‍ෂිකයනට ඉඩ නො දෙමි, මා විසින් පැරුම් පුරණ ලද්දේ, මාරපාක්‍ෂිකයනට ඉඩ දෙනු පිණිස නො වේ” යි යක්‍ෂෝන්මදාදිය නිසා විළි බිය නෑති ව වියරු වැටී සිටියවුනට බිය උපදවනු පිණිස බැමලොමින් රශ්මිකදම්බයක් විහිද වූ සේක. එකෙණෙහි ලෝ පුරා මහාගනඳුරෙක් පැතිර ගියේ ය. ගෑණු මරණභයින් තැති ගත්හ. බියට පැමිණියහ. ඒ බියෙන් උගුර තෙක් බී තුබු රා වහා දිරා ගියේ ය. බුදුරජානන් වහන්සේ වැඩ හුන් පලඟෙහි අතුරුදහන් වූ සේක් මහමෙර මතුයෙහි වැඩ සිට ඌර්‍ණලෝමධාතුවෙන් බුදුරැස් පතුරුවා හැරිය සේක. ඒ ඇසිල්ලෙහි සඳ දහසක් නැගී සිටි කලක් සේ අන්‍ධකාරය නැසී ගියේ ය. ඉක්බිති ඒ ගෑණුන් අමතා “මා වෙතට එන්නා වූ තෙපි මෙසේ පමාව එන්නට නො සුදුස්සහුය. තොපගේ ප්‍රමාදය බලා මාරකායික දෙවියෙක් තොප කෙරෙහි ආවිෂ්ටව මා වෙත දී නො කළ යුතු දේ තොප ලවා කර වී ය. සිනා නො විය යුතු තැන සිනාසුනෝ ය. නො නැටිය යුතු තැන නැටුවහු ය. එහෙයින් මාරකායිකයනට ඉඩ නො ලැබෙන සේ තොප විසින් රාගාදී වූ ගිනි මුළුමනින් නිවා දැමීමට උත්සාහ කළ යුතුය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
කො නු භාසො කිමානන්‍දො නිච්චං පජ්ජලිතෙ සති,
අන්‍ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථා ති.
නිතොර ගිනි ඇවිල දැවෙද්දී, කවර සිනහවෙක් ද, කිනම් සතුටෙක් ද, අඳුරෙන් වැසුනහු පහණක් කිම නො සොයහු.
කො නු භාසො = කවර සිනහවෙක් ද?
කො යනු කිං යන්න මුල් කොට ඇත්තේ ය. එය සලිඞ්ගික වේ. “කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං, කිං සීලං, කො සමාධි” යන තැන්හි සේ ය.
නු යනු නිපාතයි. ප්‍රශ්න, සංශය යන අරුත්හි එයි. “කස්මා නු තුම්හෙ දහරං න මීයරෙ, අරහං නු ඛොස්මි, නො නු ඛොස්මි” යනාදී බැහි සේ ය. මෙහි ප්‍රශ්න යෙහි ආයේය.
සන්තෝෂය හාස නම් “හාසොතීති = හාසො, හසති යෙන = සො හාසො, හසනං = හාසො යනු අරුත් කීම ය. තුටු පහටු අයුරය හාස.
කිං ආනන්‍දො = කිනම් සතුටක් ද?
කිං ශබ්දය “ කිං සෙවමානො ලහතීධ පඤ්ඤා, කිං රාජාදයො ලොකං පාලෙන්ති, යං කිං චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, කිං නු කාහාමි දෙවතෙ” යන මේ තැන්හි පිළිවෙළින් ප්‍රශ්න, ගර්‍හා, අනියම, නිරර්‍ත්‍ථක, වචන ප්‍රතිග්‍රහණ යන අරුත්හි එන්නේ ය. තවත් ස්වරූප, වස්තු, ක්‍රියා, කාරක, කෘත්‍ය යන අරුත්හි ද, යෙදේ. මෙහි ද ප්‍රශ්නයෙහි ය.
දැඩි සතුට ආනන්‍ද නම්. ‘ආහුසො නන්‍දයතී ති = ආනන්‍දො’ යනු විවෘතියි. ‘ආ භූසා තුට්ඨි ආනන්‍දෙති වුච්චති’ යනු ටීකා ය.
නිච්චං = නිතොර. අතර නො තබා. නො කඩවා.
අතර නො තබා නො කඩවා පැවැත්ම ‘නිච්චං’ යන්නෙන් කිය වේ. “තොරතෝන්චියක් නැතුව” යනු සාමාන්‍ය ව්‍යවහාරයයි.
පජ්ජලිතෙ සති = ගිනි ඇවිල දන කල්හි. ගිනි ගෙණ තදින් ඇවිල ගත් කල්හි.
මේ සත්ලොව රාගාදී එකොළොස් ගින්නකින් රෑ දාවල හැම මොහොතෙක්හි අතර නො තබා තදින් ඇවිල ගෙණ දැවෙන්නේ ය. රාග, දෝස, මෝහ, ව්‍යාධි, ජරා මරණ, සෝක, පරිදේව, කායික දුක්ඛ, චෛතසිකදුක්ඛ, උපායාස යන මේ ය ඒ ගිනි එකොළොස. මේ ඔවුන්ගේ සංග්‍රහ ය.
“රාගො ච දොසො ච මොහො ච ව්‍යාධි
ජරා ච මරණම්පි ච සොකමෙව
පරිදෙවදුක්ඛම්පි ච දොමනස්සං
පායාසමෙකාදසමග්ගිමාහු”
රාගාදීහු ඇතුළත්හි සිට සත්ත්‍වයා පිළිබඳ හැම ගුණයක් දවන්නෝ ය. සත්ත්‍වයා පුළුස්සන්නෝ ය. එහෙයින් මොවුහු ගිනි වෙති. සත්ත්‍වශරීරගත සප්තධාතුන් ම වියලන්නෝ ය මොවුහු. සත්ත්‍ව ශරීරය ශුෂ්ක කරන්නෝත් මොහු ය.
අන්‍ධකාරෙන ඔනද්ධා = අඳුරෙන් වැසුන තෙපි අඳුරෙන් වළඳනා ලදහ.
මෙහි අන්‍ධකාර නම්, අවිද්‍යා ය. ප්‍රකෘති අන්‍ධකාරය පියවි ඇසින් දැකීම බැලීම නසන්නේ ය. පියවි ඇස වැඩට නැත්තක් කරන්නේ ය. චක්ඛුවිඤ්ඤානයාගේ ඉපැත්ම වළකන්නේ ය. අවිද්‍යාව ද එබඳු ය. නුවණැස නසන්නේ ය. සත්‍යය වසා ලන්නී ය. සත්ත්‍වයා නො මග යවන්නී ය. එහෙයින් අන්‍ධකාරැ යි වදාළ සේක.
ප්‍රකෘතිඅන්‍ධකාරයෙන් හැසී ගැවසී ගත් සත්ත්‍ව ලෝකය ක්‍රියා විරහිත වන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වැළඳුනු සත්ත්‍වලෝකයත් ක්‍රියාවිරහිත වන්නේ ය.
පදීපං න ගවෙස්සථ = පහන් කිම නො සොයහු ද?
මෙහි පදීප නම්, මගපල නුවණ ය. සූර්‍ය්‍යාදීලෝකාදී වූ යම්කිසි ආලෝකයක්හුගේ ලැබීමෙන් ප්‍රකෘති අන්‍ධකාරය නැසී යන්නා සේ මග පල නුවණ ලැබීමෙන් අවිද්‍යාන්‍ධකාරය නැසී යන්නේ ය. බුදුරජානන් වහන්සේ “අවිද්‍යා නැමැති ගනඳුරෙන් වැළඳ ගත්, අවිද්‍යාන්‍ධකාරයෙන් වැසී ගිය තෙපි එය දුරලීම පිණිස, එයින් ගොඩ එනු පිණිස කුමක් හෙයින් නැණ පහන නො දල්වවු ද? කිම නො සොයවු දැ” යි මෙයින් වදාළ සේක. අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරුව ගිය සත්ත්‍වලෝකයහි නැණ පහන දැල්වියයුතු ය යනු එහි අදහස ය.
මුළු සත්ලොව රෑ දාවල හැම මොහොතෙක අතර නොතබා එක සැටියෙන් රාගාදී වූ ගිනි වලින් ඇවිල දැවෙන්නේ ය. එසේ දැවෙන මේ සත්ත්‍වයාහට මොන සිනහවෙක් ද, මොන සතුටෙක් ද, සිනහ වන්නට සතුටු වන්නට කරුණු නැත්තේ ය. අවිදු අඳුරෙන් තදින් මුළා ව සිටිනා සත්ත්‍වයා විසින් ඒ අවිදු අඳුර නසන්නට වෙර වැඩිය යුතු ය. නුවණ දියුණු කර ගත යුතු ය.
ධර්‍මදේශනාවගේ කෙළවර ඒ ගෑණු සෝවාන් පලයෙහි පිහිටියාහු ය. බුදුරජානන් වහන්සේ උන් නො සැලෙන සැදැහයෙහි පිහිටි බව දැන, මහමෙර මුදුනෙන් බැස බුද්ධාසනයෙහි වැඩ හුන් කල්හි විශාඛාවෝ “ස්වාමිනි! සුරා බීම කැත බීමෙක, විළිබිය නසන්නෙක, නින්දාවට කරුණෙක, මෙලොව දියුණුව නසනෙක, පරලොව අපායයට හෙලනෙක, ස්වර්‍ගය අවුරන්නෙක, ස්වාමිනි! මේ ගෑණු ඔබ වහන්සේ ඉදිරියෙහි ඉරියවු පමණෙහි වත් පිහිටා ගන්නට නො හැකි ව අත්පුඩි ගසන්නට සිනාසෙන්නට ගී කියන්නට නටන්නට උඩ පනින්නට පටන් ගත්තෝ සුරා බී මත්ව සිටි බැවිනි. තිරිසනකුටත් මේ බීම නො වටනේ ය. මේ බීම නිසා මිනිසා මුළුමනින් තිරිසනකු කරන්නේ ය” යි කීහ. “ඔව්, විශාඛා සුරා බීම ඉතා පහත් බීමක්, රා අරක්කු බීම නිසා විපතට පත් මිනිසුන්ගේ ගණන නො කියහැකිය, මේ නිසා මිනිස්සු මෙලොව ම ධනහානියට, භෝග හානියට, යසභානියට, ප්‍රඥා හානියට පැමින්නේ ය. මරණින් පසු සිවු අපායයෙහි උපදින්නාහ” යි බුදුරජුන් වදාළ කල්හි, නැවත විශාඛාවෝ “ස්වාමීනි! මේ රා අරක්කු ලොව පහළ වූයේ කවදාදැයි ඇසූහ. බුදුරජාණන් වහන්සේ ඒ දක්වන්නට විස්තර විසින් කුම්භජාතකය වදාළ සේක. එය බැලිය යුතුයි.
විශාඛාසහායිකා වස්තුව නිමි.