7-8 අටවන සැරියුත් තෙරණුවන්ගේ පැන විසඳීමේ වස්තුවයි.

අස්සද්ධො අකතඤ්ඤූ ච සන්‍ධිච්ඡෙදො ච යො නරො

හතාවකාසො වන්තාසො ස වෙ උත්තමපොරිසො.

යම් පුඟුලෙක් (ලොවී ලොවුතුරු දහම් තමා ම පසක් කොට දත් හෙයින්) අනුන්ගේ බසින් නො අදහා ද (නොහොත් බුදුරජුන් විනා අන්‍ය ශාස්තෘවක්හු කෙරේ ඇදහිලි නැත්තේ ද), (දිව්‍යාදි කිසිවක්හු විසින් නො කරන ලද හෙයින් ආකෘත නම් වූ) නිර්‍වාණය (අරමුණු කිරීම් වශයෙන්) ප්‍රත්‍යක්‍ෂ කොට දත්තේ ද, වෘත්තසන්‍ධියත් සංස්කාරසන්‍ධියත් සිඳැපී ද, (කර්‍මසංඛ්‍යාත ප්‍රතිසන්‍ධිබීජය ක්‍ෂීණ හෙයින්) නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, (චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඥාන මුඛයෙන්) වමනය කරන ලද (කාම තෘෂ්ණාදි) සියලු ආශා ඇත්තේ ද, ඒ පුඟුල් තෙම ඒකාන්තයෙන් (පිළි-විදි නව ලොවුතුරා දහම් ඇති හෙයින් සියලු ලොවට අග්‍ර දක්‍ෂිණේය නු යි) උත්තම පුරුෂ නම් වේ.

අස්සද්ධො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන් උදෙසා දේශනා කරනලදහ.

දිනක් ආරණ්‍යක භික්‍ෂූන් තිස්නමක් පමණ බුදුන් සමීපයෙහි පැමිණ වැඳ එක්පසෙක වැඩහුන්හ. බුදුරජාණන්වහන්සේ ඒ භික්‍ෂූන්ට සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණමේ හේතුසම්පත් ඇතිබව දැන, සැරියුත්තෙරුන් අමතා, ශාරීපුත්‍රයෙනි, සද්ධින්ද්‍රිය භාවිතකිරීමෙන් එය නිරන්තරව ප්‍ර‍ගුණකිරීමෙන් නිවනට බැස ගැනීමට නිවනින් කෙළවරවීමට පුළුවන්බව ඔබ පිළිගන්නෙහිදැයි ඇසූහ. මෙසේ පංචේන්ද්‍රියයන් පිළිබඳවම ප්‍ර‍ශ්න කළසේක.

තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන්හ. ස්වාමීනි, මෙහිදී මම භාග්‍යවතුන් කෙරෙහි ශ්‍ර‍ද්ධාවෙන් සද්ධින්ද්‍රියාදිය භාවිතයෙන් වැඩීම නිවන් අවසන් කොට ඇත්තේයයි නොගනිමි. ස්වාමීනි, යම් කෙනෙකුන්ට එය ප්‍ර‍ඥාවෙන් දැනගනු නොහැකි වෙයිද, නොදුටු විරූවක් හෝ නොදන්නා ලද්දක් ප්‍ර‍ත්‍යක්‍ෂ නොවූවක්, ස්පර්ශ නොකරන ලද්දක් වෙයිද, එවිට ඔවුහු අනුන්ගේ ශ්‍ර‍ද්ධාවකට ඇදී යන්නාහුයයි මේ ආකාරයෙන් ඒ ප්‍ර‍ශ්නය විසඳාලූහ.

ඒ අසා සිටි භික්‍ෂූහු, සැරියුත් තෙරණුවෝ මිථ්‍යාවශයෙන් යම් යම් දේ ගැනීම විසඳුවේ නැත. අදත් සම්මාසම්බුදුන් නොඅදහතියි කථාවක් ඉපදවූහ. ඒ ඇසූ භාග්‍යවතුන්වහන්සේ, මේ කුමක් කියව්ද, තොප කියන්නේ, සැරියුත්තෙරණුවන්, තමන් ගැන සිතමින් තමන් පංචේන්ද්‍රිය නොවඩා, සමථ විපස්සනා නොවඩා මාර්ගඵල සාක්ෂාත් කිරීමට සමර්ථයන් ඇතැයි යන අදහස දරන්නකු සේදැයි වදාළහ. දෙනලද දෙයෙහි කරනලද කර්මයෙහි පලවිපාක නොඅදහන්නා බුද්ධාදීන්ගේ ගුණද නොඅදහයි. මේ තෙරණුවෝ වනාහි තමන් ප්‍ර‍තිවේධ කළ දහම්හිද ධ්‍යාන විපස්සනා මාර්ගඵල ධර්මයන් කෙරෙහිද අනුන් කෙරෙහි ශ්‍ර‍ද්ධාවක්ද නොපිළිගනිති. එහෙයින් එහි වරදක් නැතැයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

අනුන් බස් නොඅදහන

නිවන් දහමම පසක්කළ

සසර බැමි සිඳ බිඳහළ

සිව්මගින් කම් නැවතූ

ඔහුම උතුම් පුරුෂයෙකු වේ

එහි තමන් ප්‍ර‍තිවේධකළ ගුණ අනුන්ගේ කියමන් අනුව ලැබුණේයයි නොඅදහයි යන අරුතින් අස්සද්ධො නම් වේ. නොකළ නිවන දනී යන අරුතින් අකතඤ්ඤු නම් වේ. තමන් සාක්ෂාත් කළ නිවන් ඇත යන අරුත්ය. සසර පැවැත්ම නම් සන්ධිය නසා සිටියි යන අරුතින් සන්ධිච්ඡෙද නම් වේ. කුශලාකුශලකර්ම බීජ නැසූ හෙයින් ඉපදීමේ ඉඩ මොහු විසින් නසා දමන ලදි යන අරුතින් හතාවකාසො නමි. සිව්මගින් කළයුතු දේ කළ හෙයින්ද, ආශා සියල්ල වමාරා දැමූ හෙයින්ද වන්තාසො නමි. සො මෙබඳු පුද්ගලයා අවබෝධ කළ ලොව්තුරා දහම් ඇති බැවින් උතුම් බවට පත් පුරුෂෝත්තමයෙකි.

ගාථාවසානයෙහි තිහක් පමණ වූ ආරණ්‍යක භික්‍ෂූහු පිළිසිඹියාපත් රහතන් බවට පත්වූහ. සෙසු ජනයාටද ධර්මදේශනාව සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.