7-7 සත්වන කොසඹෑවාසි තිස්ස තෙරුන් ගේ සාමණෙර වස්තුවයි.

සන්තං තස්ස මනං හොති සන්තා වාචා ච කම්ම ච

සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො.

මනා කොට (නය හෙයින් කාරණ හෙයින්) චතුස්සත්‍යයන් දැන, (තදඞ්ගවිමුක්ත්‍යාදි පංචවිධ විමුක්තියෙන්) වෙසෙසින් මිදුනු, අටලෝ දහමින් නො සැලෙන, ඒ රහත්හුගේ සිත (තුන් මනෝදුශ්චරිතයෙන් දුරු හෙයින්) ශාන්ත ම (සන්හුන්නේ ම, නිවී ගියේ ම) වන්නේ ය. (වාග්දුශ්චරිත රහිත හෙයින්) වචනය ද ශාන්ත (නිවී ගියේ) වේ. (කාය-දුශ්චරිතයෙන් දුරු වූ හෙයින්) කායකර්‍මය ද ශාන්ත ම (නිවී ගියේ ම) වේ.

සන්තං තස්ස මනං හොති ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම් වෙහෙර වාසයකරන කාලයෙහි තිස්සතෙරුන්ගේ සාමණේරයන්වහන්සේ උදෙසා දේශනා කරනලදි.

කොසඹෑනුවරවාසී එක් කුලපුත්‍ර‍යෙක් ශාස්තෘශාසනයෙහි පැවිදිවී උපසම්පදාවද ලබා කොසඹෑවේ තිස්ස තෙරුන්යයි ප්‍ර‍කටවූයේය. කොසඹෑවේ වස්වසා සිටි උන්වහන්සේට දායකවරයෙක් තුන්සිවුරුද ගිතෙල් පැණි ආදියද ගෙනවුත් උන්වහන්සේගේ පාමුල තැබීය.

ඉන්පසු තෙරණුවෝ ඔහු අමතා මෙසේ කීහ. උපාසකය, මේ කුමක්ද? ස්වාමීනි, මම ඔබවහන්සේ මෙහි වස්වස්වා ගත්තෙම් නේද? අපේ විහාරයෙහි වස්විසූ අයට මේ ලාභය ලැබෙයි. එනිසා මෙය භාරගනු මැනවි. උපාසකය එය එසේවුවත් මෙයින් මට ප්‍රයෝජනයක් නැත. ස්වාමීනි ඒ කුමක් නිසාද? උපාසකය, මා ළඟ සාමණේරයෙකු පවා නැත්තේය. උපාසක තෙම තමන්ගේ සත්හැවිරිදි පුතා තෙරුන් ළඟට කැඳවාගෙන ගොස් ස්වාමීනි, මොහු පැවිදි කළමැනවැයි භාරකළහ. ඉන්පසු තෙරණුවෝ ඒ ළදරුවාගේ කෙස් තෙමා කපා තචපංචක කර්මස්ථානය දී පැවිදිකළහ. ඒ දරුවා කෙස් කපද්දීම පිළිසිඹියා සහිත රහත්බවට පත්විය.

තෙරණුවෝ ඔහු පැවිදිකොට අඩමසක් එහි වැස බුදුන් දකින්නෙමියි සාමණේරයන් අතට බඩුභාණ්ඩාදිය දීයන අතරමග එක් විහාරයකට පැමිණියෝය. සාමණේර තෙම උපාධ්‍යායයන්වහන්සේට සෙනසුන් පනවා උවටැන් සැපයුවේය. ඔහු එසේ පිළිදැගුම් කරන අතර විකාලය පැමිණියේය. ඔහු විසින් තමන් සඳහා සෙනසුන් පිළියෙල කරගැනීමට නොහැකි විය. ඉන්පසු උපස්ථාන කරන වේලාවෙහි පැමිණි ඔහුගෙන් තෙරණුවෝ මෙසේ ඇසූහ. සාමණේරය තමන්ට වසන තැනක් පිළියෙල කර නොගත්තෙහිද? ස්වාමීනි, පිළියෙල කරගැනීමට කාලයක් නැතිවිය. එසේනම් මා වසන තැනම වසන්න. ආගන්තුක තැන්වල පිටත විසීම දුක් සහිතයයි කියමින්ම ඔහු රැගෙන සෙනසුන ඇතුළට ගියෝය.

පෘථග්ජන තෙරණුවෝ ඇඳේ වැතිරුණු හැටියේම නින්දට වැටුණෝය. සාමණේරයන්වහන්සේ, මෙසේ සිතූහ. උපාධ්‍යායයන් වහන්සේ සමග එක් සෙනසුනක වසන තුන්වෙන දිනය අදයි. ඉදින් වැදහෙවී නිදාගත්තොත් තෙරුන්වහන්සේ සහසෙය්‍ය වරදට පැමිණෙති. එනිසා නොනිදාම රැය ගත කරන්නෙමියි උපාධ්‍යායයන්ගේ ඇඳ සමීපයෙහි කුඩා පුටුවක් තබා නොනිදාම රාත්‍රිය ගතකළහ.

තෙරණුවෝ අලුයම් වේලෙහි නැගිට සාමණේරයන් පිටතට යැවිය යුතුයයි ඇඳේ පසෙකින් තිබුණු විජිනිපත ගෙන විජිනි පත්‍රයෙහි අගින් අල්ලා සාමණේරයන් සැතපෙන්නට දැමූ කළාලයට ගසා විජිනිපත උඩට ඔසවන ගමන් සාමණේරය පිටතට යන්නැයි කීහ. විජිනිපත්දණ්ඩ ඇසේ ඇනුණේය. එකෙණෙහිම ඇස සිදුරුවී ගියේය. හෙතෙම ස්වාමීනි ඇයිදැයි කියා, නැගිට පිටතට යන්නැයි කීවිට ස්වාමීනි මගේ ඇස සිදුරුවීයයි නොකියා එක් අතකින් ඇස වසාගෙන නික්මුණේය. වතාවත් කරන වේලාවේත් මගේ ඇස බිඳුණේයයි නොසිට එක් අතකින් ඇස වසාගෙන අනිත් අතින් මුස්න රැගෙන වැසිකිළියත් මූණසෝදන තැනත් ඇමද මුව සෝදන පැන් තබා මිදුල අතුගෑවේය. හෙතෙම උපාධ්‍යායයන්වහන්සේට දැහැටි පිළිගන්වන ගමන් එක් අතකින් දුන්නේය.

ඉන්පසු උපාධ්‍යායයන්වහන්සේ, මේ සාමණේරය, අශික්ෂිතයි. ආචාර්ය උපාධ්‍යයන්ට දැහැටි දෙන විට එක් අතකින් දීම අයෝග්‍යයයි දොස් නැගූහ. ස්වාමීනි, මෙය නුසුදුසු ක්‍රියාවක් බව මම දනිමි. එසේවුවත් මගේ එක් අතක් නිදහස් නැත. සාමණේරය, ඒ කුමක් නිසාද? හෙතෙම මුලපටන් ඒ පුවත දන්වා සිටියේය. තෙරණුවෝ එය අසා සිටිමින්ම, සංවේග උපදවා, අනේ මා අතින් සිදුවී ඇත්තේ බරපතල වරදකියි කියා සත්පුරුෂය මට ක්ෂමාකරන්න. මේ වරද මා අතින් වීයයි අවශ්‍යයෙන්ම දැන නොසිටියෙමියි ඇඳිලිබැඳගෙන සත්වයස් දරුවා ඉදිරියේ උක්කුටිකව හුන්නෝය. ඉන්පසු සාමණේර තෙම, ස්වාමීනි, මම මෙසේ කරවීමට සිතා මෙය නොකීවෙමි. ඔබවහන්සේගේ සිත රැකීම පිණිසම කීයෙමි. මෙහි ඔබවහන්සේගේ දෝෂයක් නැත. මෙය මගේ සසර පැවැත්මේ දෝෂයකි. විපිළිසරට පත් නොවුව මැනවි. ඔබවහන්සේ විපිළිසරට පත්නොකරනු සඳහාම නොදැන්වූයෙමියි කීය.

තෙරණුවෝ සාමණේරයන් තමන් අස්වසද්දීත් සැනසීමක් නැතිව උපන් සංවේග ඇතිව සාමණේරයන් අත තිබූ භාණ්ඩද තමන් රැගෙන බුදුන් හමුවට ගියෝය. බුදුරජාණන්වහන්සේත් ඔහුගේ පැමණීම බලමින්ම සිටිසේක. උන්වහන්සේ ගොස් වැඳ බුදුන් සමග පිළිසඳර කතා කොට, මහණ ඔබ සුවසේද? කිසියම් අතිරේක අපහසුතාවක් ඇද්දැයි විචාළසේක. එසේ ඇසූ කල්හි උන්වහන්සේ, එසේය ස්වාමීනි, අප සුවසේය. මටකිසි අතිරේක අපහසුවක් නැත. එහෙත් මගේ මේ ළදරු සාමණේර නම වැනි අතිරේක ගුණ ඇත්තෙක් මා මින් පෙර දැක නැතැයි කීහ.

මහණ, මේ සාමණේරතෙම විසින් කුමක් කරන ලදද? උන්වහන්සේ මුල පටන් සියලු පුවත් භාග්‍යවතුන්වහන්සේට දන්වා මෙසේ කීහ. එසේය, ස්වාමීනි, මා ක්ෂමාව ඉල්ලා සිටිවිට මෙතෙම මට මෙසේ කීවේය. මෙහි ඔබවහන්සේගේ වරදක් නැත. මගේ සසර පැවැත්මේ දෝෂයයි මෙහි ඇත්තේ. ඒ නිසා ඒ ගැන වැඩියක් නොසිතන්න. මෙසේ කියමින් මා සැනසීය. මා කෙරෙහි කෝපයක් ද්වේෂයක් පහළ කෙළේ නැත. ස්වාමීනි, මා නම් මීට පෙර මෙබඳු ගුණ සම්පන්න වෙනත් කිසිවෙක් දැක නැත.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ, මහණ, රහත්බවට පත්වූවෝ කිසිවෙකුට කිපෙන්නාහු නොවෙති. ද්වේෂ කරන්නාහුද නොවෙත්. ඔවුහු ශාන්තවූ ඉන්ද්‍රියයන් ඇති, ශාන්තවූ සිත් ඇත්තෝම වෙතියි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

මැනවින් දැන විමුතුවූ

තාදී ගුණෙන් පිරිපුන්

ඔවුන් සිත සන්සුන්ය

ක්‍රියා වචනද එලෙසය

එහි සන්තං යනු ඒ ක්ෂීණාශ්‍ර‍ව සාමණේරයන්වහන්සේගේ අභිධ්‍යාදිය අභාවයට ගොස් නිසා මනස සන්සුන් වේ. උපශාන්ත වේ. නිවුණේ වේ. එසේම මුසාවාදාදියක් නරති හෙයින් වචනයත්, ප්‍රාණඝාතාදියක් නැති හෙයින් කායික කර්මයනුත් සන්සුන්ය. සම්මදඤ්ඤා විමුත්තස්ස යනු න්‍යාය හේතූන් අනුව දැන පංචවිධ විමුක්ති මගින් මිදුණේය. උපසන්තස්ස යනු අභ්‍යන්තර රාගාදීන්ගේ ව්‍යපසමනයෙන් උපශාන්තවූ, තාදිනො යනු එබඳු ස්වරූප ඇති, නොසැලෙන පුද්ගලයෝයි.

දේශනා කෙළවර කොසඹෑවැසි තිස්ස ස්ථවිරයන්වහන්සේ පිළිසිඹියා පත් රහත්බවට පැමිණියාහ. සෙසු මහාජනයාටද දේශනාව සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.