6-10 දහවන බණ ඇසීමේ වස්තුවයි.

අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො

අථායං ඉතරා පජා තීරමෙවානුධාවති.

මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් නිර්‍වාණපාරයට (නිවන් නැමැති පරතෙරට) යන සුල්ලෝ ද, ඔහු ස්වල්පය හ. වැලි ඔවුන් කෙරෙන් අන්‍ය වූ (නිවනට නොයන සුලු) මේ සත්තවසමූහයා වූ කලි (සත්කාය සංඛාත) මෙ තෙර ම දිවැ ඇවිදිනේ ය.

යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො

තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්‍යං සුදුත්තරං.

යම් නුවණැති කෙනෙක් මොනොවට දෙසන ලද පර්‍ය්‍යාප්තිධර්‍මයෙහි ධර්‍මානුවර්තී වෙත් ද (දහම් අනුව පිළිපදින්නෝ වෙත් ද), ඒ ජනයෝ තරණයට දුෂ්කර වූ, කෙලෙස්මරුට වාසස්ථාන වූ ත්‍රෛභූමක වෘත්තය ඉක්මැ (නිර්‍වාණ නමැති) පරතෙරට පැමිණෙන්නාහ.

අප්පකා තෙ මනුස්සෙසු යන මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි බණ ඇසීම පිළිබඳව දේශනාකරන ලද්දකි. සැවැත්නුවර එක් වීථියක වසන මිනිස්සු සමගිව කොටස් වශයෙන් බෙදාගෙන දන් දී සර්වරාත්‍රිකව බණ ඇසීමට සූදානම් කළහ. එහෙත් සර්වරාත්‍රිකව බණ ඇසීමට නොහැකි විය. සමහරු කාමුක හැඟීම් බලවත්වී ගෙවල්වලට ආපසු ගියහ. සමහරු ද්වේෂ සහගත සිතිවිලි නිසාද ඇතමෙක් කායික මානසික මැලිකම් නිසාද එහි හිඳගෙන නිදිබර ගතියෙන්ද දහම් ඇසීමට අපොහොසත් වූහ.

දෙවෙනි දිනයේ භික්ෂූහු එපුවත දැන ධර්මසභායෙහි ඒ පිළිබඳ කථා කළහ. ශාස්තෘන්වහන්සේ එහි වඩමවා, කරමින් සිටි කථාව විමසා එය දන්වා සිටිකල්හි මහණෙනි, මේ සත්ත්වයෝ වනාහි, බොහෝ සෙයින් භවය ඇසුරුකරමින් භවයෙහිම ඇළීගැලී වාසය කරත්. භවයෙන් එතර වන අය ඉතා විරලයයි පූර්වාපරසන්ධි ගළපා දහම්දෙසින් මේ ගාථාද වදාළහ:

පරතෙර කරා යන ජනයෝ බොහෝ විරලය

ඉතිරි හැමදෙනම මෙන් ඉවුර ළඟටම දුවයති

මැනවින් දෙසූ දහමට අනුව පවතින යමෙක් වෙත් නම්

ඔවුහු පරතෙර යෙති මරු පරදවා ජයගෙන

එහි අප්පකං යනු ටිකක්, බොහෝ නොවන, පාරගාමිනො යනු නිවන්පරතෙරට යන. අථායං ඉතරා පජා යනු එසේ නොයන ඉතිරි සත්ත්වයෝ සත්කායදෘෂ්ටි නමැති තීරයට පමණක් දුවන්නෝය. ඒ අය බහුතරයි යන අර්ථයයි. සම්මදක්ඛාතෙ යනු මැනවින් ප්‍ර‍කාශකළ, හොඳින් කියනලද, ධම්මෙ යනු දේශනා ධර්මයයි. ධම්මානුවත්තිනො යනු ඒ දහම අසා ඊට අනුකූල ප්‍ර‍තිපදාවෙහි යෙදී මාර්ගඵලවලට පැමිණ දහම අනුව පැවතීමයි. පාරමෙස්සන්ති යනු නිවන් පරතෙරට යන්නාහුය. මච්චුධෙය්‍යං යනු ක්ලේශ මාර සංඛ්‍යාත මාරයාගේ නිවාසස්ථානයවූ ත්‍රිභූමක සංසාර වෘත්තයයි. සුදුත්තරං යනු ධර්මානුධර්ම ප්‍ර‍තිපත්ති මාර්ගයෙහි සිටින සත්තවයෝ මේ එතෙර වීමට අමාරු ඉක්මවා යෑමට දුෂ්කර මාරවාසස්ථානයවූ සංසාර සාගරය මච්චුධෙය්‍යං තරණයකොට, ඉක්මවාගොස් නිවනින් පරතෙරට යන්නාහ යන අර්ථයි.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.