6-9 නවවන ධම්මික තෙරුන්ගේ වස්තුවයි.

න අත්තහෙතු න පරස්ස හෙතු

න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං

න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො

ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා.

පණ්ඩිත තෙම තමා හේතු කොට ගෙන ද (තමා පිණිස ද) පව් නො කරන්නේ ය. මෙරමා හේතු කොට ගෙන ද (අනුන් පිණිස ද) පව් නො කරන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු පුතකුදු නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු ධනය ද නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු රට ද නො කැමැති වන්නේ ය. අධර්‍මයෙන් ලැබියැ යුතු සමෘද්ධිය ද නො කැමැති වන්නේ ය. මෙසේ වූ ඒ පුද්ගල තෙමේ සිල්වත් නමුදු ප්‍රඥාවත් නමුදු ධාර්මික නමුදු වන්නේ ය.

න අත්තහෙතු ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි ධම්මික නම් තෙරුන් අරභයා දේශනා කරන ලද්දකි. සැවැත්නුවර එක් උපාසකයෙක් දැහැමින් සෙමෙන් සිය ගෙදර වාසය කරයි. හෙතෙම පැවිදිවනු කැමැත්තෙන් එක් දිනක් භාර්යාවත් සමඟ සුහදව කථා කරන අතර, සොඳුර, මම මහණවෙන්ට යන්නෙමියි කීවේය. හිමියනි, මගේ කුස සිටින දරුවා වදන තුරු නවතින්නැයි ඈ කීවාය. හෙතෙම නැවතී දරුවා පයින් ඇවිදින කාලයෙහි නැවත ඈට කතාකොට යෑමට අවශ්‍යබව දැන්වූවිට ස්වාමීනි, දරුවා තවටිකක් වයසට යනතුරු නවතින්නැයි කීකල්හි, මට මෑගෙන් අවසරයක් අනවසරයක් හෝ ලැබීමෙන් ප්‍රයෝජනයක් නැත. තමන් දුකෙන් එගොඩකර ගන්නෙමියි නික්මගොස් පැවිදිවිය. හෙතෙම කමටහන් ලබාගෙන වෙහෙස මහන්සිවී තමන්ගේ පැවිදිකිස නිමවා ඔවුන්ට එය පෙන්වනු සඳහා යළි සැවතට ගොස් පුතාට බණකථාවක් කීවේය. පුතාත් පිටත්වගොස් පැවිදිවී නොබෝ කලකින් රහත්බවට පැමිණියේය. පැරණි භාර්යාවත්, මා ගිහිගෙය නැවතුණේ ඔවුන් දෙදෙනා උදෙසාය. දැන් මෙහි විසීමෙන් වැඩක් නැතැයි නික්මී ගොස් පැවිදිවූවාය. පැවිදිවී නොබෝ කලකින් රහත්බවට පැමිණියාය.

දිනක් භික්‍ෂූහු ධර්මසභාවෙහි, ඇවැත්නි බලව්, ධම්මික උපාසකතෙම තමන් දහමෙහි සිටි නිසා ගොස් පැවිදිව රහත්විය. ඒ මගින් ඔහුගේ පුතාටත් බිරිඳටත් පිහිටවීයයි කථාවක් ඇතිකළහ. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා මහණෙනි දැන් කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි නුවණැතියා තමන්ගේ පමණක් හෝ අනුන්ගේ පමණක් හෝ දියුණුව බලාපොරොත්තු නොවිය යුතුය. සැමගේ දියුණුව බලාපොරොත්තුවෙමින් ධාර්මිකවීමෙන් මෙන්ම ධාර්මික විපිළිසරවීමෙනුත් යුක්තවිය යුතුයයි පූර්වාපරසන්ධි ගළපා ධර්මදේශනා කරමින්-

තමන් නිසා අනුන් නිසා

පුතුන් නිසා ධනය නිසා

රටක් නිසා නොදැහැමිකම්

නොකර සිටින අය පමණක්

දැහැමි සීලවතුන් බවට

නුවණැතියන් බවට සදා

පත්වන බව සත්‍යය වේ

එහි න අත්තහෙතු යනු නුවණැත්තා නම් තමන් නිසා හෝ අනුන් නිසා පව් නොකරයි. න පුත්තම්ච්ඡේ යනු පුතුන් නිසා හෝ ධනං ධනය නිසා රට්ඨං රටක් නිසා හෝ පාපකර්ම කිරීමෙන් දියුණුවක් න ඉච්ඡෙය්‍ය ලබා ගැනීමට පව් නොකරයි යනු අර්ථයි. සමිද්ධිමත්තනො යම් තමාගේ සමෘද්ධියක්වේද, එයත් අධම්මෙන අධාර්මික ලෙස බලාපොරොත්තු නොවෙයි. ඒ සඳහා පව් නොකරයි යන අර්ථයි. ස සීලවා යනු යම් මෙබඳු පුද්ගලයෙක් සිටීද, ඔහුම සිල්වතා වෙයි. පඤ්ඤවා නුවණැත්තාද වෙයි. ධම්මිකොච සියා ධාර්මිකයාද වෙයි. අන්‍යයෝ එසේ නොවෙත් යනු අර්ථයි.

දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.