කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො
ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්‍ථ දූරමං.
නුවණැත්තේ කළු දහම් (හෙවත් අකුසල්) දුරැ ලා, ආලයයෙන් (ගිහිගෙන්) නික්මැ පැවිදි බිමට පැමිණ (නොහොත් නිරාලය සංඛ්‍යාත නිවන පිණිස) සුදු දහම් (කුසල්) වඩන්නේ ය. යම් උපධිවිවේකයෙක්හි (නිවනෙක්හි) මේ සත්ත්වයන් විසින් ඇලෙන්නට නො හැකි ද,
තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්‍වා කාමෙ අකිඤ්චනො
පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
ඒ නිවනෙහි ඇල්ම කැමැති වන්නේ ය. නුවණැත්තේ වස්තුකාම ක්ලේශකාමයන් දුරු කොට (සිතින් පහ කොට) ක්ලේශපරිබෝධ රහිත වූයේ (නොහොත් පුත්‍ර දාර ගොමභිෂාදි පළිබෝධයක් නැත්තේ) චිත්තක්ලේශයන් (පංච නීවරණයන්) කෙරෙන් තමා (තම සිත) පිරිසිදු කරන්නේ ය.
යෙසං සම්බොධිඅඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා
ඛීණාසවා ජුතිමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා.
යම් කෙනකුගේ සිත බෝධ්‍යඞ්ගධර්‍ම විෂයයෙහි මනා කොට වඩන ලද ද, උපාදාන රහිත වැ (මම ය මගේ යැ යි නො ගෙන), උපාදාන ග්‍රහණ රහිත නිවනෙහි යම් කෙනෙක් ඇලුනාහු ද, ඥනානුභාව ඇති, දුරැලූ ආස්‍රව ඇති ඒ ආර්‍ය්‍යයෝ ලොවෙහි පිරිනිවියෝ නම් වෙති.
කණ් හං ධම්මං විප්පහාය ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ පන්සීයක් ආගන්තුක භික්‍ෂූන් අරභයා දේශනාකරන ලද්දකි.
කොසොල්රට පන්සීයක් භික්ෂූහු වස් වැස වස් අන්තයෙහි බුදුන් දකින්නෙමුයි දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත්පසෙක හිඳගත්හ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේලාගේ චාරිත්‍රානුකූලව දහම් දෙසමින් මේ ගාථා වදාළහ:
කළු දහම් හැරලා සුදු දහම වෙත සපැමිණ
ආලය හැර දමා අනාලයෙහි සිත අලවා
කාමයන් දුරුකොට නිවන් රසයට එළඹී
ගැටලු කිසිවක් නැති පිරිසිදු සිතක් ඇතිකර
සම්බෝදි අංගයන් වෙත සිත යොමුකරන නිති
ඇලුම් බැඳුම් නැතිව ගොස් නිවනෙහි රසය හමුවේ
සිටින අරී උතුමෝ ලොව පිරිනිවියාහු නම් වෙත්
එහි කණ් හං ධම්මං යනු කායදුශ්චරිතාදි භේද ඇති අකුසල් දහම් අතහැර සුක්කං භාවෙථ යනු නුවණැති භික්ෂුව අභිනිෂ්ක්‍රමණයේ සිට රහත්බව දක්වා කායසුචරිතාදි භේද ඇති ශුක්ලධර්‍මයන් (කුසල්) වැඩිය යුතුවේ. ඒ කෙසේද? ඔකා අනොකං ආගම්ම යනු ඔක නම් ආලයයි. අනෝකයයි කියන්නේ අනාලයටයි. ආලයෙන් නික්මී-ඉවත්වී අනාලය සංඛ්‍යාත නිවන උදෙසා කටයුතු අරඹා, එය ප්‍රාර්ථනා කළ යුතුය යන අර්ථයි. තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය යනු යම් අනාලය සංඛ්‍යාත විවේකවූ නිවනෙහි මේ සත්ත්වයන් විසින් ඇලීම ඇතිකර ගැනීම අමාරුවුවත් එයි ඇලීම කැමති විය යුතුය. හිත්වා කාමෙ යනු වස්තුකාම ක්ලේශකාමයන් හැරදමා අකිඤ්චනො ගැටලු රහිතකොටගෙන විවේකයෙහි අභිරතිය කැමති වියයුතුය යන අර්ථයි. චිත්තක්ලේසෙහි යනු පංචනීවරණයන්නේ තමා පරිසොධෙය්‍ය පිරිසිදු වියයුතුය යන අර්ථයි. සම්බොධි අංගෙසු යනු සම්බොජ්ඣංග ධර්මයන් කෙරෙහි, සම්මා චිත්තං සුභාවිතං යනු යථායොග්‍ය ලෙස සිත මැනවින් වඩාගැනීමයි. ආදානපටිනිස්සග්ගෙ යනු ආදාන නම් දැඩිව ග්‍රහණයයි. එයින් මිදීම් සංඛ්‍යාත නොගැනීමයි. සිව්වැදෑරුම් උපාදානයන්ගෙන් කිසිවක් උපදවා නොගෙන යෙ රතා නිවනෙහි ඇලීම යන අර්ථයි. ජුතීමන්තො යනු ආනුභාව ඇති අර්හත්මාර්ගඥාන දිලිසීමක් ඇති, ස්කන්ධාදි භේද ඇති ධර්මයන් බබළවා සිටින යන අර්ථයි. තෙ ලොකෙ යනු මේ ස්කන්ධාදි ලෝකයෙහි පරිනිබ්බුතා යනු රහත්බවට පැමිණීමේ පටන් කෙලෙස්වෘත්ත බහා තැබූ හෙයින් සඋපධිසේස වශයෙනුත් අන්තිම චිත්තය නිරෝධ කිරීමෙන් ස්කන්ධ වෘත්තයන් බහාතබනලද හෙයින් අනුපදිසේස යන දෙයාකාර පිරිනිවනින් පිරිනිවී ගිය, තෙල් සිඳීගිය පහනක් මෙන් නොපවත්නා බවට පත්වූ යන අර්ථයි.
දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පණ්ඩිතවර්ගය පිළිබඳ වර්ණනාව අවසානයි.
සවන වර්ගයයි.