සබ්බත්ථ වෙ සප්පුරිසා චජන්ති න කාමකාමා ලපයන්ති සන්තො
සුඛෙන ඵුට්ඨා අථ වා දුඛෙන නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති.
බුද්ධාදී උත්තම පුරුෂයෝ ස්කන්‍ධාදි සියලු ධර්‍මයෙහි පවත්නා ඡන්‍දරාගය දුරු කෙරෙති. ඒ සත්පුරුෂයෝ වස්තුකාමයන් කැමැති ව, සිත් ගන්නා තෙපුල් නො පවසති. සුවයෙන් පහස්නා ලද නොහොත් දුකින් පහස්නා ලද නුවණැත්තෝ උස් පහත් ගති නො දක්වත්.
සබ්බත්ථ වෙ සප්පුරිසා වජන්ති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවාසයකරන කාලයෙහි පන්සීයක් භික්‍ෂූන් අරභයා දේශනාකරන ලදහ. මේ දේශනාව වේරංජාවේ ඇතිවූවකි.
ප්‍රථම බෝධිකාලයෙහි (බුදුවීමෙන් විසිවසක් පමණ කාලය) භාග්‍යවතුන්වහන්සේ වේරංජාවට වැඩමවා වේරංජ බමුණාගෙන් ආරාධනා ලැබ පන්සීයක් භික්‍ෂූන් සමග වස් එළඹුණුසේක. වේරංජ බමුණා මාරාවේශයෙන් ආවේශව එක් දවසකුත් බුදුරදුන් ගැන සිහිනොකෙළේය. වේරංජාවෙහිත් දුර්භික්ෂතත්ත්වයක් පැවතිණි. භික්ෂූහු වේරංජාවේ ඇතුළ පිට හැමතැන පිඬුසිඟා පිණ්ඩපාතය නොලැබ ක්ලාන්ත භාවයට පත්වූහ. එහි පැමිණි අස් වෙළෙන්දෝ උන්වහන්සේලාට නැළියක පමණ බත් එවන්ටවූහ. මෙසේ ක්ලාන්ත භාවයටපත් භික්‍ෂූන් දුටු මුගලන් මහතෙරණුවෝ උන්වහන්සේලා පෘථුවීඕජස් වළඳවනු කැමැත්තෙන් උතුරුකුරු දිවයිනෙහි පිඬුපිණිස හැසිරවීමේ බලාපොරොත්තුව ඇතිකර ගත්හ. ශාස්තෘන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. කැමති පරිදි හැසිරීමද වර්ජනයකොට සිටියහ.
ශාස්තෘන්වහන්සේ එහි තෙමසක් ගතකොට වේරංජ බමුණා වෙත වැඩමවා ඔහුගේ සත්කාර සම්මානද විඳ ඔහු තිසරණයෙහි පිහිටුවා එයින් නික්ම පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් දෙව්රමට වැඩමවා එහි විසූසේක. සැවැත්නුවර වැසියෝ බුදුරදුන්ට ආගන්තුක දාන පිරිනැමූහ. එකල පන්සීයක් පමණ බඩසයින් පෙළී සිටි යාචකයෝ භික්ෂූන් ඇසුරෙහිම, විහාරයෙහිම සිටියෝය. ඔවුහු භික්ෂූන් වළඳා ඉතිරිවූ ප්‍රණීත බොජුන් කා නිදාසිට නැගිට නදීතීරයට ගොස් කෑගසමින් වර්‍ගවලට බෙදී මල්ලවපොර බදමින් කෑකෝ ගසමින් ක්‍රීඩා කරමින් විහාරය ඇතුළතත් පිටතත් ආනාචාර කරමින් හැසිරෙති.
දම්සභායෙහි රැස්වූ භික්‍ෂූහු, ඇවැත්නි. බලව් මේ බඩගින්නේ සිටි යාචකයෝ දුර්භික්ෂකාලයේ වේරංජාවේදී කිසි විකාරයක් නොකළහ. දැන් මේ ප්‍රණීත ආහාරපාන ලැබී නානාප්‍රකාර විකාර කරමින් හැසිරෙත්. භික්‍ෂූහු වේරංජාවේදීත් උපශාන්තව සිට දැනුත් එලෙසින්ම සිටිතියි කථාවක් ඉපදවූහ. බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා, කළ කථාව අසා මහණෙනි, අතීතයේදීත් මොවුහු ගද්‍රභයෝනියෙහි පන්සීයක් කොටළුවන්ව ඉපදී, ආජානීය අශ්වයන්ට පැන් නුමුසු මිදියුෂ දී ඉතිරි රොඩුවලට ඉඳුල්කහට වතුර දමා පොඩිකර නියඳ රෙදිවලින් පෙරා කිසි රසයක් නැති කහට මිදිපැන් බී, මී බී මත්වූ බඹරුන් මෙන් නාදකරමින් හැසුරුණාහයි වදාරා,
කසට රසැති පහත්වූ
ජලය බී උමතුවෙති කොටළුවෝ
මිහිරි රස බොන්නේ නමුත්
මත් නොවෙති සින්ධවයෝ
පහත් නොපත් අය
ටිකක් රසඇති දේ බීගෙන
රජතුමනි, ඔවුහු මත්වෙති
උපත හොඳ සිල්වත්
අය මිහිරි රස බීවත්
කිසිදා මත්බවට නොයෙතී
මේ වාලෝදක ජාතකය විස්තර කොට, මහණෙනි, මෙසේ සත්පුරුෂයෝ ලොභකටයුතු දහම් හැරදමා සුඛිතකාලයේත් දුක්ඛිතකාලයේත් විකාර නොකරන්නෝවෙතියි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
සපුරිස්හු හැම තැන
ඇල්ම හැරදා නිවසති
කැමති දේ ගැන නොදොඩවති
ලැබෙන සැප දුක දෙකෙහිම
උස් පහත්කම් නොසලකි
එහි සබ්බත්ථ යනු පංචස්කන්ධාදි ප්‍රභේද ඇති සියලු ධර්මයන් කෙරෙහිය. සප්පුරිසා යනු යහපත් පුරුෂයෝය. චජන්ති යනු අර්හත්මාර්ගඥානයෙන් කඩා දමනලද ඡන්දරාගය හැර දමත්. කාමකාමා යනු කැමති දෙය කැමතිවීම, මනාප දෙය කාම හේතුවක් කාම කාරණයක් කර ගැනීමය. න ලපයන්ති සන්තො යනු බුද්ධාදි ශාන්ත පුද්ගලයෝ කැමති දේගැන තමන් කථා නොකරති. භික්ෂා පිණිස හැසිරී කැමැත්තෙන් සිටගෙන උපාසකය, ඔබේ දූදරුවන්ට කෙසේද, රජ-සොර සතුරන්ගෙන්, දෙපා සිව්පාවන්ගෙන් කිසි උවදුරක් නැද්ද ආදිය කියමින් සිටීමයි. එසේ කියා, එසේය ස්වාමීනි, අපි සියල්ලන්ම සැපසේ සිටිමු. කිසිම උවදුරක් නැත. දැන් අපේ පවුල කෑමබීම ආදියෙන් පිරිපුන්ය, මෙහිම වසනු මැනවයි තමන්ට ආරාධනා කරවා ගැනීම සඳහා කියවාගැනීමයි. ශාන්තයෝ වනාහි මේ දෙකම නොකෙරෙත්. සුඛෙන ඵුට්ඨා අථවා දුඛෙන යනු මෙය දේශනාමාත්‍රයක් පමණි. අෂ්ටවිධ ලෝකධර්මයන් හා ගැටීමෙන් සතුටුවීම නොසතුටුවීම වශයෙන් හෝ වර්ණනාකිරීම් නින්දාකිරීම් වශයෙන් හෝ උච්චාවචං උඩට හෝ පහතටවැටීම් යනාද ආකාර පණ්ඩිතා න දස්සයන්ති පණ්ඩිතයෝ ප්‍රදර්ශනය නොකෙරෙත්.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.