යථාපි රහදො ගම්භීරො විප්පසන්නො අනාවිලො
එවං ධම්මානි සුත්‍වාන විප්පසීදන්ති පණ්ඩිතා.
ගැඹුරු වු මහ මුහුද යම්සේ වෙසෙසින් පහන් වේ ද, නො කැළඹේ ද, එ පරිදි ම පණ්ඩිතයෝ දහම් අසා වෙසෙසින් පහදිත්.
යථාපි රහදො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවෙසෙද්දී කාණමාතාව අරභයා දේශනාකළසේක. මේ කථාවස්තුව විනය පිටකයෙහිද සඳහන් වේ.
එකල්හි කාණමාතාව තමන්ගේ දුවණිය ස්වාමියා වෙත යවන විට හිස් අතින් නොයවනු සඳහා කැවුම් පුළුස්සා දෙන කල්හි සතරවරකට එහි පැමිණි භික්ෂූන් සිවුනමකට දුන් නිසා ඒකරුණ නිමිතිකොට බුදුහු ශික්ෂා පදයක්ද පැනවූහ. මේ කරුණින් සැමියා වෙත යනගමන පමාවූ හෙයින් කාණාවගේ සැමියා වෙනත් බිරියක් කැඳවා ගත් ප්‍රවෘත්තිය ඇසූ කාණාව මොවුහු මගේ පවුල්ජීවිතය නැසූහයි දකිනදකින භික්ෂූන්ට බැණවදින්ට පටන්ගත්තාය. භික්ෂූන්ට ඒ වීථියට යෑම පවා අපහසු විය.
බුදුරජාණන්වහන්සේ එපුවත අසා එහි වැඩමවූහ. කාණමාතාව බුදුන් වැඳ පැනවූ ආසනයෙහි වඩාහිඳුවා කැඳ කැවිලි ආදිය පිළිගැන්වූවාය බුදුරජාණන්වහන්සේ උදෑසන ආහාර වළඳා කාණා දුවණිය කොහේදැයි ඇසූහ. ස්වාමීනි, ඈ ඔබවහන්සේ දැක දුක්වෙමින් අඬමින් සිටින්නීය. ඒ කුමක් නිසාද? ස්වාමීනි, ඈ භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කරන්නීය. එහෙයින් ඔබවහන්සේ දැක දුක්වෙමින් අඬමින් සිටින්නීයයි කීවාය.
ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඈ කැඳවා කාණාව, ඔබ කුමක් නිසා මා දැක දුක්වෙමින් සැඟවී හඬන්නෙහිදැයි ඇසූහ. ඉන්පසු ඇගේ මව ඈ විසින් කරනලද ක්‍රියාව දන්වාසිටියාය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඇගෙන්, කාණාවනි, මගේ ශ්‍රාවකයෝ ඔබ දුන් දෙයක් ගත්තාහුද? නැතහොත් ඔබ නොදුන් දෙයක් ගත්තාහුදැයි ඇසූහ. ස්වාමීනි, මා දුන් දෙයක් ගත්තාහුය. ඉතින් කාණාවනි. මගේ සවුවෝ පිඬුසිඟා යන අතර ඔබේ ගෙදොරට පැමිණ ඔබ දුන්දෙයක් භාරගත්හ. මෙතනදී ඔවුන්ගේ වැරැද්ද කුමක්ද? ස්වාමීනි, ආර්යයන්ගේ දෝෂයක් නැත. වරද මගේමයයි කීවාය. ශාස්තෘන්වහන්සේ, කාණාවට මෙසේ කීහ. කාණාවනි, මගේ ශ්‍රාවකයෝ පිඬුසිඟා යන අතර මේ ගෙදොරට ආහ. ඉන්පසු ඔවුන්ට ඔබේ මව කැවුම් දුන්නාය. මෙතන මගේ ශ්‍රාවකයන්ගේ ඇති වැරැද්ද කුමක්ද? ස්වාමීනි, ආර්යයන්ගේ දෝෂයක් නැත. දෝෂය මගේමයයි බුදුන් වැඳ සමාකරවා ගත්තාය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඇයට පිළිවෙලකථාව දේශනා කළසේක. ඈ සෝවාන්ඵලයට පැමිණියාය. බුදුරජාණන්වහන්සේ අසුනින් නැගිට විහාරයට වඩිනගමන් රජමිදුලට පැමිණියාහුය.
රජු බුදුන් දැක, සගයෙනි, අර බුදුන් නොවේදැයි අසා දේවයන්වහන්ස, එසේයයි කීකල, යව්, ගොස් මා උන්වහන්සේ වැඳීමට එන බව දන්වව්යයි මිනිසුන් යවා, රාජාංගනයෙහි වැඩසිටි බුදුරදුන් ළඟට ගොස් වැඳ ස්වාමීනි, කොහේ වැඩිසේක්දැයි ඇසුවේය. මහරජ, කාණමාතාවගේ ගෙදරටය. ස්වාමීනි. කුමක් සඳහාද? කාණා දුවණිය භික්‍ෂූන්ට ආක්‍රෝෂ පරිභව කරන නිසායයි වදාළහ. ස්වාමීනි, ඈ භික්ෂූන්ට නොබණින පිළිවෙලක් කළසේක්ද? එසේය මහරජ, ඈ භික්ෂූන්ට නොබණින කෙනෙක්ද ලෝකෝත්තර ධනයට හිමිකාරියක්ද කෙළෙමියි වදාළහ.
ස්වාමීනි, එය ඉතා මැනවි. එය එසේම වේවා. ඔබවහන්සේ ඈ ලොකොත්තර ධනයට හිමිකාරියක කළසේක. මම ඇය ලෞකිකධනයට හිමිකාරියක කරන්නෙමියි බුදුන් වැඳ නැවතී පිළිසන් වාහනයක් යවා කාණාව ගෙන්වා සව්බරණින් සරසවා තම දෙටුදුවණී තැන තබා මගේ දුවණිය පෝෂණය කළහැකි කෙනෙක් ඈ භාර ගන්නැයි ප්‍රකාශකෙළේය.
ඉන්පසු පොහොසත් ඇමතියෙක් දේවයන්වහන්ස, මම ඔබේ දුවණිය පෝෂණය කරන්නෙමියි ඈ තම නිවසට කැඳවාගෙන ගොස් සියලු සැපසම්පත් දී කැමති පරිදි පින් කරගන්නැයි කීවේය. එතැන් පටන් කාණාවෝ සතර මහ දොරටුවෙහි මිනිස්සු නවත්වා තමන් උපස්ථාන කිරීමට භික්‍ෂුභික්‍ෂුණීන් සොයන්නේ නමුදු නොලැබෙයි. කාණාවගේ ගෙදොර පිළියෙල කර තිබූ කෑයුතු බුදියයුතු දේ මහගඟක් මෙන් පවතී.
භික්ෂූහු දම්සභායෙහි රැස්ව, ඇවැත්නි, පෙර මහලු තෙරවරු සතර නම කාණාව විපිළිසරට පත්කළහ. ඈ එබඳු තත්ත්වයක සිටියත් බුදුන්වෙත පැමිණ ශ්‍රද්ධාසම්පත්තිය ලැබුවාය. ශාස්තෘන්වහන්සේ නැවත ඇගේ ගෙදොර භික්ෂූන්ට එළඹියහැකි තැනක් බවට පත්කළහ. දැන් උපස්ථාන කළයුතු භික්‍ෂූන් හෝ භික්‍ෂුණීන් හෝ සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී පවතී. අහෝ බුදුවරයන්ගේ ගුණ ආශ්චර්යමත්ය යනුවෙන් කථාවක් ඉපදවූහ.
ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, දැන් කිනම් කතාවකින් යුක්තව හුන්නාහුදැයි අසා මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, ඒ මහලු භික්‍ෂූන් විසින් කාණාව විපිළිසරට පත්කරනලද්දේ දැන් පමණක් නොවෙයි. පෙරත් එසේම කළාහුයයිද ඈ මගේ වචන අනුව පෙරද ක්‍රියාකළායයිද වදාරා එය අසනු කැමතිවූ භික්ෂූන්ගේ ඉල්ලීම අනුව
එකෙකු දෙන්නෙකු හා තිදෙනෙකු සිව්දෙනෙකු ලෙස
සපැමිණි නිසා බළලුන් ඔවුන්ටම හිමි වීය මීගුළ
මේ බබ්බුජාතකය සවිස්තරව දේශනාකොට එකල මහලු භික්‍ෂු සතරනම බළලුන් සතරදෙනාවූහ. මීයා නම් කාණාවෝය. මණීකාර නම් මමම යයි ජාතකය අවසන්කොට මහණෙනි, මෙසේ කාණාව හිත නරක්වී අවුල්වී කලකිරී සිට මගේ වචනයෙන් පැහැදුණු දියවිලක් මෙන් වී ප්‍රසන්න සිතැත්තියක් වීයයි පූර්වාපරසන්ධි ගළපා ධර්මදේශනා කරමින් මේ ගාථාව වදාළහ:
මුහුද යම්සේ ගැඹුරුද
නොකැළඹී පැහැදිලිද වනසේ
දහම් අසනා වියතා
පැහැදීම ඇතිකර ගනී
එහි රහදො යනු සිව්රඟ සේනාව බැස කැළඹුවත් නොකැළඹී සිටීද එබඳු ජලය ඇති මහමුහුදයි. හැම අතින්ම, යොදුන් අසූහාරදහසක් ගැඹුරු නීලමහා සමුද්‍රය රහද නම්වේ. එහි යටට සතළිස් දහසක් යොදුන් පමණවන ස්ථානයෙහි ජලය මාලුවන් නිසා සෙලවෙයි. උඩට එබඳුම ප්‍රමාණයක ජලය නිශ්චලව සිටී මේ ගම්භීරො ගැඹුරු මුහුද නමි. එවං ධම්මානි යනු දේශනා ධර්මයෝයි. මෙය මෙසේද කියා ඇත:
යම්සේ මහමුහුද කිළුටු නැති බැවින් අතිශයින් පැහැදිලිද, නොසෙල්වෙන හෙයින් නොකැළඹුණේද මෙසේ මගේ දේශනා ධර්මය අසා සෝවාන්මාර්ගාදි වශයෙන් උපක්ලේශ රහිත සිත් ඇතිබවට පත්වන්නේ, විප්පසීදන්ති පණ්ඩිතා රහත්බවට පැමිණි අය ඒකාන්ත විප්‍රසන්නබවට පත්වෙතියි වදාළහ. දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියහ.