සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
එවං නින්‍දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.
ඒකඝන වූ ශෛලපර්‍වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්‍දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.
සෙලො යථා ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩසිටින කාලයෙහි ලකුණ්ටකභද්දිය තෙරුන් අරභයා දේශනා කරන ලදි.
පෘථග්ජන සාමණේරාදීහු හිසෙන් කණෙන් නාසයෙන් අල්ලා මොකද බාප්පෙ මේ සසුනෙහු කලකිරිලාද, නැත්නම් මෙහි ඔබේ සිත් අලවන්නෙහිද ආදි ප්‍රශ්න අසති. තෙරණුවෝ ඔවුන් කෙරෙහි ක්‍රෝධකරන්නේවත් ද්වේශකරන්නේවත් නැත.
ඉන්පසු ධම්සභා මණ්ඩපයෙහි, බලන්න ඇවැත්නි ලකුණ්ටභද්දිය තෙරුන් දැක සාමණේරාදීහු මේ මේ ආකාරවලින් වෙහෙසට පත්කෙරෙති. හෙතෙම ඒ අය කෙරෙහි කෝප නොකරයි ද්වේශනොකරයි යනුවෙන් කථාවක් ඇතිවිය. බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, කුමක් ගැන කථා කළාහුදැයි අසා, ස්වාමීනි, මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, එසේය, රහත්හු කෝප නොකරත්. ද්වේශ නොකරත්. ඝන ගල්පර්වත වැනි උන්වහන්සේලා අචලයහ. කම්පානොවෙතියි වදාරා පූර්වාපරසන්ධි සම්බන්ධකොට දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
ඝන වූ මහගල් පව්වක්
සුළඟ වැද නොසැලෙන සේ
නින්දා පැසසුම් දැක විඳ
නුවණැත්තෝ නොසැලෙති
එහි නින්දා පසංසාසු යනු මෙහි ලෝකධර්ම දෙකක් ගැන සඳහන්වුවත් අර්ථ වශයෙන් අටලෝදහම්ම ගතයුතුය. යම්සේ එකටම ඝනව තිබෙන සිදුරුවී නැති ගල්පර්වතය පෙරදිග බටහිර ආදි පැතිවලින් හමා එන වාතයෙන් නොසෙලවෙයි. චංචල නොවෙයි. මෙසේ අෂ්ටවිධ ලෝකධර්‍ම නිසා තෙරපීම් ලැබුවත් පණ්ඩිතා න සමිඤ්ජන්ති නුවණැත්තෝ ඒ හේතුවෙන් කම්පාවී නොසැලෙත්. නසාලනු කැමැත්තෙන් හෝ කෝපය අනුව යෑමෙන් හෝ චංචල භාවයට නොපැමිණෙයි. කම්පා නොවෙති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.