උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.
දියාලුවෝ තමන් කැමැති තැනකට දිය ගෙන යති. හී වඩුවෝ හී දඬු නමති. ලී වඩුවෝ දැව නමති. නුවණැත්තෝ සිත දමනය කරත්.
උදකං හි නයන්ති නෙත්තිකා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවාසයකරන සමයෙහි පණ්ඩිත සාමණේරයන් උදෙසා දේශනාකරන ලදි.
අතීතයෙහි කාශ්‍යප සම්මාසම්බුදුරජාණන්වහන්සේ විසිදහසක් භික්‍ෂූන් පිරිවරා බරණැසට වැඩිසේක. මිනිස්සු තමන්ගේ ශක්තිප්‍රමාණයෙන් අටදෙනා දහදෙනා ආදි වශයෙන් එකතුවී ආගන්තුක දානාදිය දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ බත්කිස අවසානයෙහි මෙසේ අනුමෝදනාවක් කළහ. උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු, තමන්සතු දේම දියයුතුය. අනුන්ගෙන් වැඩක් නැතැයි අනුන් සම්මාදන් නොකරම දන්දෙති. ඔවුහු උපනුපන් තන්හි භෝග සම්පත් ලබත්. පිරිවර සම්පත නොලබත්. තව සමහරු අනුන්ගෙන් සම්මාදම් ගනිත්. තමන් වියදම් නොකරයි. එසේ දෙන තැනැත්තා උපනුපන් තන්හි පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තවත් කෙනෙක් තමනුත් නොදෙත්. අනුනුත් සම්මාදන් නොකරත්. ඔහු උපනුපන් තන්හි භෝග සම්පතුත්, පරිවාර සම්පතුත් යන දෙකම නොලබත්. හෙතෙම සැමදා ඉඳුල්කෑමෙන් ජීවත්වෙයි. තව කෙනෙක් තමනුත් දෙත්. අනුනුත් හවුල් කර ගනිත්. හෙතෙම උපනුපන් තන්හි භෝග සම්පතත්, පිරිවර සම්පතත් යන දෙකම ලබයි.
ඒ අසා ළඟ සිටි එක් නුවණැති පුරුෂයෙක් මේ සම්පත් දෙකම ලැබෙන පිළිවෙලකට මම කටයුතු කරමියි සිතුවේය. හෙතෙම බුදුන් වැඳ ස්වාමීනි, හෙට මගෙන් ආහාර ගනුමැනවැයි ආරාධනා කෙළේය. ඔබට කොපමණ භික්ෂූන් අවශ්‍යද? ස්වාමීනි, ඔබවහන්සේගේ පිරිවර භික්‍ෂූන් කෙතෙක්ද? භික්ෂූන් විසිදහසකි. ස්වාමීනි, සියලුදෙනාවහන්සේම සමග හෙට මගෙන් භික්‍ෂාව ගනු මැනවයි කීය. ශාස්තෘන්වහන්සේ ආරාධනය භාරගත්හ. හෙතෙම ගමට ගොස් මෑණිවරුනි, පියවරුනි, මම හෙට දවස සඳහා බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයාට නිමන්ත්‍රණය කෙළෙමි. ඔබලාට යම්කිසි භික්‍ෂුපිරිසකට දියහැකි නම් ඒ පමණට දන් පිළියෙල කරන්නැයි දන්වා හැසිරෙන්නේ තමතමන්ගේ ශක්තිය ගැන සිතා අපි දහ නමකට අපි විසිනමකට, අපි සියක් නමකට, අපි පන්සීයක් නමකටයයි කීකල්හි සියල්ලන්ගේ වචන අනුව මුලපටන් කොළයක ලියා පැවරීය.
එකල්හි ඒ නගරයෙහි ඉතා දිළිඳු බැවින් මහදුගියායයි ප්‍රකට එක් පුරුෂයෙක් විය. හෙතෙම තමන් ළඟට ආ ඒ දුගියා දැක, යහළු මහදුගිය, මම හෙට දානය පිණිස බුදුන් ප්‍රමුඛ භික්ෂූසංඝයාට ආරාධනා කෙළෙමි. හෙට නගරවාසීහු දන් දෙති. ඔබ භික්ෂූන් කීනමකට දානය දෙන්නෙහිද? යහළුව, භික්ෂූන්ගෙන් මට වැඩක් නැත. භික්ෂූන්ගෙන් වැඩ ඇත්තේ ධනවතුන්ටය. මට හෙට කැඳ පිණිස සහල් නැළියක් පමණවත් නැත. මම බැළමෙහෙවරකොට ජීවත්වෙමි. ඉතින් මට භික්‍ෂූන්ගෙන් වැඩක් නැත. සම්මාදන් කරවන්නා ව්‍යක්ත වියයුතුය. එහෙයින් ඔහු දුගියා විසින් නැතැයි කීවේ නමුදු නිහඬව ආපසු නෑවිත් යහළු මහදුගිය, මේ නගරයෙහි හොඳ ආහාර වළඳවමින් සියුම් වස්ත්‍ර හැඳ නන්බරණින් යුක්ත, සිරියහන්වල නිදන බොහෝදෙනා සම්පත් වළඳති. ඔබ වනාහි දවස්කුලී කොට කුස පිරෙන තරමටවත් ආහාර නොලබන්නෙහිය. මෙසේ තිබියදීත්, මා පෙර කිසිපිනක් නොකළ හෙයින් දැන් කිසිවක් නොලබමියයි නොදන්නෙහි නොවේද? දනිමි ස්වාමීනි, එසේනම් දැන් යම්කිසි පිනක් නොකරන්නේ ඇයිද? ඔබ තරුණයි. බලසම්පන්නයි. ඇයි ඔබ බැළකොට හෝ ශක්ති පමණින් දානයක්දීම නුසුදුසුද?
මහදුගියා ඔහු එසේ කියද්දීම මහත් සංවේගයට පැමිණ, මටත් එක් භික්ෂුවකට කොළයක් ලියන්නැයි කුමක් හෝ කුලීවැඩක් කොට එක නමකට දානය දෙන්නෙමියි කීවේය. අනිත් තැනැත්තා එක නමකට ලියන්නේ ඇයිදැයි නොලීවේය. මහදුගියාත් ගෙටගොස් බිරිඳ අමතා, සොඳුර, නගරවාසීහු හෙට සංඝදාන දෙති. මමත් එකනමකට දෙන්නෙමියි සම්මාදන් කරවන්නාට කීවෙමි. අපිත් හෙට එක් නමකට දන් දෙමුදැයි කීවේය. බිරිඳද අපි දිළින්දෝයි. ඔබ පොරොන්දුවූයේ ඇයිදැයි නොකියා ස්වාමීනි, ඔබ කෙළේ යහපත් දෙයකි. අපි පෙරත් කිසිවක් නොදී දැන් දිළිඳුව සිටිමු. අපි දෙන්නාම කුලියක්කොට එක් නමකට දන්දෙමුයි දෙදෙනාම ගෙදරින් පිටත්ව බැළකරන තැනකට ගියාහුය. මහසිටුවරයා, මහදුගියා දැක, මොකද යහලු මහදුගිය කුලීවැඩක් කරන්නෙහිදැයි ඇසීය. ආර්යයෙනි, එසේය. කුමක්ද කරන්නේ? ඔබ කියන වැඩක් කරන්නෙමි. එසේනම්, මම හෙට දෙතුන්සීයක් භික්‍ෂූන්ට දන් වළඳවන්නෙමි. එන්න, දරපලා දෙවයි වෑ පොරෝ ගෙනවුත් දෙවීය. මහදුගියාද තදකොට අමුඩය ගසා මහත් උත්සාහයෙන් වෑය හැර දමා පොරොව ගනිමින්, පොරොව තබා වෑය ගනිමින් දර පලයි.
ඉන්පසු සිටුවරයා යහළුව, අද ඔබ ඉතාමත් උත්සාහයෙන් වැඩ කරන්නෙහිය. ඒ කුමන කරුණක් නිසාද? ස්වාමීනි, මම අද එක් භික්ෂුවක් වළඳවන්නෙමියි කීය. ඒ අසා සිටුවරයා පැහැදුණු සිතින්, අනේ මොහු දුෂ්කර දෙයක් කරයි. මම දුප්පතෙක්මියි නිහඬ බවට නොපැමිණ බැළමෙහෙකොට එක් භික්‍සුවක් වළඳවන්නෙමියි කියයි යනුවෙන් සිතීය. සිටුබිරිඳත් ඔහුගේ භාර්යාව දැක මෑණියනි, කිනම් වැඩක් කරන්නෙහිදැයි අසා ඔබ භාරකරන ඕනෑම වැඩක් කරන්නෙමියි කීකල්හි, වංගෙඩි ශාලාවට රැගෙන ගොස් කුලු මෝල්ගස් ආදිය දෙව්වාය. ඈ නටන්නියක මෙන් තුටුපහටුව වී කොටයි. වී පෙළීමද කරයි.
ඉන්පසු සිටුබිරිඳ, මෑණියනි, ඔබ ඉතා සතුටින් වැඩ කරයි. කාරණය කුමක්දැයි ඇසුවාය. ආර්යාවනි, මේ බැළමෙහෙ කොට මාත් එක් භික්ෂුවක් වළඳවන්නෙමියි කීවාය. ඒ අසා සිටුබිරිඳත් අනේ මෑ දුෂ්කර දෙයක් කරන්නීයයි පැහැදුණාය. සිටුවරයා, මහදුගියා දර පැලූ කාලයෙහි, මේ ඔබේ බැළයයයි සහල්නැලි සතරක් දෙවා, මේ මා සතුටෙන් දෙන කොටසයයි තවත් සතරනැලියක් දෙවීය.
හෙතෙම ගෙට ගොස් බිරිඳ අමතා මම බැළකොට සහල් ලැබුවෙමි. ඒවා බත් පිණිස යොදාගත හැකිය. ඔබ ලැබූ බැළයෙන් දී තෙල් දර කුළුබඩු ආදිය ගන්නැයි කීය. සිටුබිරිඳත් ඈට ගිතෙල් පිරවූ බඳුනක් දී කුළුබඩුද පිරිසිදු හාල් නැලියක්ද දෙවීය. මෙසේ දෙදෙනාට සහල්නැලි පහක් ලැබුණේය. ඔවුහු දියයුතු දෑ අපට ලැබුණේයයි තුටුපහටුව උදෑසනම අවදිවූහ. බිරිඳ මහදුගියාට ස්වාමීනි, යන්න. කොළවර්ග සොයාගෙන එවයි කීවාය. හෙතෙම ඇතුළු වෙළඳ සැලෙහි කොළවර්ග නොදැක ගංතෙරට ගොස් අද ආර්යයන්ට භෝජන දීමට ලැබුණේයයි ප්‍රීතියෙන් ගායනා කරමින් කොළ රැස් කරයි. මහදැලක් දමා සිටි කෙවුලෙක් ඒ ශබ්දය අසා මහදුගියාගේ වියයුතුයයි සිතා, ඔහු කැඳවා, කිනම් කරුණක් නිසා අද සතුටින් ගායනා කරන්නෙහිදැයි ඇසීය. යහළුව කොළපලා එකතු කරන්නෙමියි කීය. එයින් කරන්නේ කුමක්ද? එක් භික්‍ෂුවක් වළඳවන්නෙමි. අනේ, සැපසේ සිටින ඒ භික්‍ෂුව තොපගේ පලාකොළ වළඳන්නෙහිද? යහළුව, කුමක් කරන්ටද, මේ සොයාගත් කොළවලින් වළඳවන්නෙමි. එසේනම් මෙහ එව. යහළුව කුමක් කරන්ටද?
මේ මසුත් රැගෙන, පාදයක් අගනා, පාදභාගයක් අගනා, කහවණුවක් අගනා ආදි වශයෙන් මාළුවැල් තනන්නැයි කීවේය. හෙතෙම එසේ කෙළේය. ඇමුණූ ඇමුණූ මාළුවැල් ආරාධනය කළ භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස නගරවැසියෝ ගෙනගියහ. ඔහු මාළුවැල් තනතනා සිටිද්දීම පිඬුසිඟා වඩින වේලාවද පැමිණියේය. හෙතෙම වේලාව ගැන සලකා, යහළුව මේ පිඬුපිණිස භික්ෂූන් වඩින වේලාවයි. එනිසා මම යන්නෙමියි කීය. තවත් මාළුවැල් ඉතිරිව තිබේද? යහළුව නැත. සියල්ල අවසන් විය. එසේනම්, මම මගේ ප්‍රයෝජනය පිණිස වැල්ලේ වැළලූ රෝහිත මසුන් සතරදෙනෙක් ඇත. භික්ෂූන් වළඳවනු කැමැත්තෙහි නම් ඒ මසුන් ගෙනයවයි ඔහුට ඒ මසුන් දුන්නේය.
එදවස ශාස්තෘන්වහන්සේ උදෑසනම ලොව බලනසේක් ඒ මහදුගියා තමන්ගේ ඤාණදැලට ඇතුළත්වූ බව දැක කුමක් වන්නේදැයි විමසා බලනසේක්, මහදුගියා එක් භික්ෂුවක් වළඳවන්නෙමියි භාර්යාවත් සමග ඊයේ බැළමෙහෙවර කෙළේය. කවර නම් භික්‍ෂුවක් ලබන්නේදැයි සිතා මිනිස්සු ලියාගත් පිළිවෙලට භික්‍ෂූන් වැඩමවා තමන්ගේ ගෙවල්වල වඩාහිඳුවා ගන්නාහ. මහදුගියාට මා හැර වෙනත් භික්‍ෂුවක් නොලැබෙන්නේයයිද දුටුවහ. බුදුවරු නම් දුගියන් කෙරෙහි අනුකම්පාව දක්වන්නෝය. එහෙයින් උදෑසනම සිරුරුකිස නිමවා මහදුගියාට සංග්‍රහ කරන්නෙමියි ගඳකිළියට පිවිසි වැඩහුන්සේක.
මහදුගියා මසුන් රැගෙන ගෙට පිවිසෙද්දී ශක්‍රයාගේ පණ්ඩුකම්බල ශෛලාසනය උණුසුම් අයුරක් දැක්වීය. ශක්‍රතෙම කුමක් නිසා මෙසේ වීදැයි සලකාබලන විට ඊයේ මහදුගියා එක් භික්‍ෂුනමකට දන් දෙන්නෙමියි තම බිරිඳත් සමග බැළමෙහෙවර කෙළේය. කිනම් භික්‍ෂුවක් මොහුට ලැබේදැයි බැලූ විට මොහුට වෙනත් භික්‍ෂුවක් නොලැබෙයි, ශාස්තෘන්වහන්සේ මහදුගියාට සංග්‍රහ කරන්නෙමියි ගන්ධකුටියෙහි වැඩහුන්සේක්, මහදුගියා තම ශක්ති ප්‍රමාණයෙන් කැඳබත් වෙනත් කැවිලිවර්ග බුදුන්ට පිළිගන්වමියි සිතයි. මා මහදුගියාගේ ගෙදරට ගොස් බත්පිසීම් ආදි වැඩ කරදීම ඉතා මැනවයි සිතා වෙනත් වෙසකින් ඔහුගේ ගේ සමීපයට ගොස් කිසියම් කුලීවැඩක් කරන්ට ඇද්දැයි ඇසීය. මහදුගියා ඔහු දැක යහලුව ඔබ කිනම් කර්මාන්ත කරන්නෙහි දැයි ඇසීය. ස්වාමීනි, මම හැම වැඩක්ම දන්නෙමි. මා නොදන්නා ශිල්පයක් නම් නැත. යටත්පිරිසෙයින් කැඳබත් සම්පාදනය පවා දන්නෙමි. ඔබට කළයුතු වැඩය කුමක්ද?
යහළුව, ඔබලවා කරවා ගත යුතු වැඩක් ඇති නමුත් ඒ සඳහා ගෙවිය යුතු බැළයක් මාළඟ නැත. ඔබට අවශ්‍ය වැඩය කුමක්ද? මම එක් භික්‍ෂුවකට දානය දෙනු කැමැත්තෙමි. උන්වහන්සේට කැඳබත් පිළියෙල කර ගැනීමට බලාපොරොත්තු වෙමි. ඉදින් භික්‍ෂුනමකට දානය දෙන්නෙහි නම් මට බැළයෙන් කම් නැත. මටත් පින් අවශ්‍ය නිසායයි කීය. යහළුව එසේනම් ඇතුළට එන්න. හෙතෙම ඔහුගේ ගෙට පිවිසී සහල් ආදිය ගෙන්වා ගෙන, දැන් ඔබ යන්න. තමන්ට ලැබුණු භික්‍ෂුව කැඳවාගෙන එන්නැයි ඔහු පිටත්කර හැරියේය.
දානසංවිධායකයාත් කොළයේ ලියාගත් ආකාරයෙන්ම ඒ ඒ ගෙවල්වලට භික්‍ෂූන් යැව්වේය. මහදුගියා ඔහු ළඟට ගොස් මට ලැබුණු භික්‍ෂුව දෙන්නැයි ඉල්ලීය. හෙතෙම ඒ වේලාවෙහි එය මතක්වී, මම ඔබ වෙනුවෙන් භික්‍ෂුවක් වෙන්කොට නැතැයි කීය. මහදුගියා තියුණු අවියකින් බඩට ඇන්නාක් මෙන්, යහළුව, කුමක් නිසා, මා නසන්නෙහිද? මම ඊයේ නුඹ සමග දන් දෙන්ට සම්මාදන් වීමි. බිරිඳත් සමග බැලමෙහෙකොට බ ලා සොයා ගංතෙර ඇවිද ආවෙමි. මට එක් භික්‍ෂුවක් දෙවයි හිසඅත් බැඳගෙන හඬා වැළපුණේය.
මිනිස්සු එතැනට රැස්ව මේ කිමෙක්දැයි මහදුගියාගෙන් ඇසුවාහුය. හෙතෙම ඒ කරුණ පැවසීය. ඔවුහු දානසංවිධායකයාගෙන්, යහළුව, බැළමෙහෙ කොට භික්‍ෂුනමකට භික්ෂාව දෙවයි ඔබ මොහු සම්මාදන් කරවීම සත්‍යදැයි ඇසූහ. ආර්යයෙනි ඒ එසේයයි කීය.
මෙතරම් භික්‍ෂූන් ගණනක් දානය සඳහා සංවිධාන කරන ඔබ මොහුට භික්‍ෂුවක් නියමකර නොදීමෙන් කරනලද්දේ බරපතල වැරැද්දකි. ඔහු ඔවුන්ගේ වචනයෙන් අන්දමන්දවී ඔහු අමතා, යහළු මහදුගියාණනි, ඔබ මා නොනසව. ඔබේ මේ කාරණය නිසා මම මහත් වෙහෙසට පත්වීමි. මිනිස්සු ලේඛනයෙහි ලිවූ ආකාරයෙන් තම තමන්ට නියමවුණු භික්‍ෂූන් කැඳවාගෙන ගියහ. තමන්ගේ ගෙදර වැඩසිටි භික්ෂුවක් ආපසු හරවාදීම කළ නොහැක්කකි.
බුදුරජාණන්වහන්සේ මුවසෝදා ගන්ධකුටියෙහිම වැඩසිටිසේක් රජ යුවරජ සෙන්පති ආදීහු බුදුන් ගඳකිළියෙන් නික්මෙන විට පාත්‍රය රැගෙන යමුයි බලා සිටියහ. බුදුවරු දුප්පතුන්ට අනුකම්පා කෙරෙති. විහාරයට ගොස් ස්වාමීනි, මම දුප්පතෙක්මි. මට සංග්‍රහ කළ මැනවැයි බුදුන් වඳුව. ඉදින් ඔබට පින ඇත්නම් ඒකාන්තයෙන්ම ලබන්නෙහියයි කියා හෙතෙම විහාරයට ගියේය.
වෙනත් දිනවල බඩගිනි නිසා පැමිණෙන මහදුගියා දුටු අනිත් අයත් යුවරාජමහාරාජදීනුත් ඔහු අමතා, මහදුගිය, තවමත් බත්වේලාව ආවේ නැත. කුමක් නිසා එහි යන්නෙහිදැයි ඇසූහ. හෙතෙම ස්වාමීනි, තවමත් බත්වේලාව නොවන බව මම දනිමි. මම බුදුන් වඳින්ට යන්නෙමියි කියමින් ගොස් ගන්ධකුටියේ උළුවහු එළිපත්ත උඩ හිස තියා පසඟපිහිටුවා වැඳ ස්වාමීනි, මේ නගරයෙහි මට වඩා දුප්පතෙක් නැත. අවශ්‍යයෙන්ම මට සංග්‍රහ කරනු මැනවියයි කීවේය.
ශාස්තෘන්වහන්සේ ගඳකිළියේ දොර හැර පාත්‍රය ගෙන ඔහු අත තැබූහ. ඔහුට සක්විතිරජකම ලැබුණාක් මෙන් විය. රාජයුවරාජාදීහු ඔවුනොවුන්ගේ මුහුණු බලාගත්හ. මහදුගියාට ශාස්තෘන්වහන්සේ දුන් පාත්‍රය මොනව ඉසුරුමතෙකුට හෝ ගත නොහැකිය. ඔවුහු මෙසේ කීහ. යහළු දුග්ගතය, බුදුන්ගේ පාත්‍රය අපට දෙව. තොපට මෙපමණ ධනයක් දෙන්නෙමු. ඔබ දුප්පත්ය. ධනය ගනුව. ඔබට පාත්‍රයෙන් වැඩක් නැතැයි කීවාහුය. මහදුගියා, නැත. මමම බුදුන් වළඳවන්නෙමියි කීය. සෙස්සෝ එය ඉල්වා පාත්‍රය නොලබා නැවතුණාහ.
රජ මෙසේ සිතීය, මහදුගියා ධනයෙන්න පොළොඹවන්නේ නමුත් බුදුන්ගේ පාත්‍රය නොදෙයි. බුදුරදුන්ද තමන්ම දෙන ලදහ. පාත්‍රය කිසිවෙකුටත් ගතනොහැකිය. මොහුට එතරම් දියහැකි දෙයකුත් නැත. මොහු කුමක් හෝ දෙයක් දුන්කල බුදුනුත් වැඩමවා ගෙන රජගෙදරට ගොස් මා උදෙසා සම්පාදිත ආහාර දෙන්නෙමියි සිතා බුදුරදුන් සමගම ගියේය.
සක්දෙව්රජුත් කැඳබත්පලා ආදිය පිළියෙල කොට බුදුරදුන්ට වැඩ සිටීමට සුදුසු අසුනකුත් පනවා බලාසිටියේය. මහදුගියා බුදුරදුන් වැඩමවාගෙන අවුත් ස්වාමීනි ගේ තුළට වඩින්නැයි කීවේය. ඔහු වසන ගෙය කුඩාය. මිටිය. නොනැමී ඇතුළට යානොහැක. බුදුවරු ගෙයකට පිවිසෙනකල නැමී නොපිවිසෙත. පිවිසෙනකල ගෙයම මහපොළොව යටට හෝ උඩට යයි. මෙය උන්වහන්සේලාගේ දන්දීමේ ඵලයයි. නැවත නික්මී ගියකල සියල්ල මුලින් තිබුණු ප්‍රකෘතියටම පැමිණෙයි. එහෙයින් බුදුරජාණන්වහන්සේ හිටගෙනම ගෙට ඇතුල්වී ශක්‍රයා පැනවූ අසුනෙහි වැඩසිටිසේක.
බුදුන් වැඩහිඳි කල්හි රජ, යහළු මහදුගිය, ඔබ අප ඉල්ලා සිටියදීත් බුදුන්ගේ පාත්‍රය නුදුන්නේය. දැන් ඔබ බුදුන් උදෙසා පිළියෙල කළ දානසත්කාර කෙබඳුද? ඉන්පසු ශක්‍රයා කැඳබත් ආදිය ඇත භාජන විවෘත කොට පෙන්වීය. ඒවාහි මිහිරි සුවඳ මුළුනුවර පුරා පැතිරීගියේය. රජු කැඳබත් ආදිය බලා බුදුරදුන්ට මෙසේ දන්වා සිටියේය. ස්වාමීනි, මම මහදුගියාගේ දානවස්තුව කෙසේ වේදැයි සිතා, ඔහු දන් දුන්කල ඔබවහන්සේ රජගෙදරට වැඩමවා මා වෙනුවෙන් පිළියෙල කළ ආහාරය පිළිගන්වන්නෙමියි මෙහි ආවෙමි. එහෙත් මම මීට පෙර මෙබඳු ආහාරයක් දැක නැත්තෙමි. මා මෙහි සිටීම මහදුගියාට කරදරයකි. මම යන්නෙමියි බ බුදුන් වැඳ යන්ට ගියේය.
ශක්‍රතෙමේත් බුදුරදුන්ට කැඳබත් ආදිය පිළිගන්වා මැනවින් වැළඳවීය. බුදුරජාණන්වහන්සේත් වළඳා අන්තයෙහි අනුමෝදනාකොට අසුනින් නැගිට වැඩමවූහ. ශක්‍රයා මහදුගියාට සංඥාවක් දුන්නේය. හෙතෙම පාත්‍රය ගෙන බුදුරදුන් අනුව ගියේය. ශක්‍රයා නැවතී මහදුගියාගේ ගෙදොර සිට අහස දෙස බැලීය. අහසින් සත්රුවන් වැස්සක් වැටී ඔහුගේ ගෙදර තිබුණු සියලු භාජන පිරී මුළු ගෙයමත් පිරී ගියේය. ඉන්පසු ඒ ගෙය තුළ ඉඩක් නැතිවිය. ඔහුගේ භාර්යාව දරුවන් අතින්ගෙන ගෙයින් පිටතටවී සිටියාය.
දුගියා බුදුන් අනුව ගොස් පැමිණ දරුවන් පිටත සිටිනු දැක මේ කිමෙක්දැයි ඇසීය. ස්වාමීනි, අපේ මුළු ගෙයම සත්රුවනින් පිරීගොස්ය. ඇතුළට යෑමටවත් ඉඩක් නැත. හෙතෙම අදම මා දුන් දනෙහි විපාක ලැබුණේයයි සිතා රජුන් ළඟට ගොස් වැඳ සිටියේය. ආවේ ඇයිදැයි ඇසූ විට, දේවයන් වහන්ස, මාගේ ගෙය සත්රුවනින් පිරීගොස්ය. ඒ ධනය භාරගනු මැනවි. රජු, අහෝ බුදුන්ට දුන් දානයෙහි විපාක අදම ලැබුණේයයි සිතා, ඔහුගෙන් මෙසේ ඇසීය. ඔබට කුමක් අවශ්‍යද? දේවයන්වහන්ස, ධනය ගෙන ඒම පිණිස මට ගැල් දාහක් අවශ්‍යයි. රජු ගැල්දහසක් යවා ධනයගෙන්වාගෙන රජමිදුලෙහි ගොඩගැස්වීය. තල්ගසක් පමණ උසට ගොඩ ගැසිණි. රජු නුවර වැස්සන් කැඳවා මේ නගරයෙහි කාට හෝ මෙතරම් ධනයක් ඇද්දැයි විමසීය. දේවයන්වහන්ස, නැතැයි කීහ. මේ ධනයට කුමක් කළයුතුද? දේවයන්වහන්ස, සිටුතනතුරක් දිය යුතුය. රජු ඔහුට මහත් සත්කාරකොට සිටුතනතුරු දුන්නේය. පසුව ඔහුට, පෙර සිටි සිටුවරයෙකුගේ ගෙයක් තිබුණු තැනක් පෙන්වා මෙහි ඇත ගස් ඉවත්කරවා ගෙයක් ගොඩනගා වාසය කරවයි කීය.
එතැන පිරිසිදු කර සමකරවා බිම කණිනවිට එකිනෙකට ගෑවී තිබෙන නිධාන කළගෙඩි රාශියක් හමුවිය. ඒ බව රජුට දැන්වූවිට මේවා ඔබේ පිනෙන් උපන් ඒවායි, එනිසා ඒ සියල්ල ඔබම ගන්නැයි කියා යැවීය. හෙතෙම ගෙයක් ගොඩනඟා සත් දිනක් බුද්ධප්‍රමුඛ මහාසංඝයා වෙත දන්දුන්නේය. ඉන්පසුවත් ආයු ඇතිතාක් පින් රැස්කරමින් සිට ආයුකෙළවර දෙව්ලොව ඉපද එක් බුද්ධාන්තරයක් දිව්‍යසම්පත් විඳ මේ බුද්ධොත්පාදකාලයෙහි එයින් චුතව අවුත් සැවැත්නුවර සැරියුත් තෙරණුවන්ගේ දායක පවුලක සිටුදුවණියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය.
ඉන්පසු ඇගේ මවුපියෝ ගැබ පිහිටිබව දැනගෙන ගැබ්පෙරහැර දුන්හ. පසුකලක ඈට එක් දොළදුකක් ඇතිවිය. අහෝ මට ධම්මසේනාපති සැරියුත් හිමියන් ප්‍රධාන පන්සීයක් භික්‍ෂූන්ට රෝහිතමත්ස්‍ය රසයෙන් යුත් දානයක්දී කසාවත් වස්ත්‍ර හැඳ පෙරවාගෙන ඒ අසුන් කෙළවරම හිඳගෙන ඒ භික්‍ෂූන්, වළඳා ඉතිරි ඉදුල් ආහර කෑමට ඇත්නම් යෙහෙකි යනු ඒ දොළදුකයි. ඈ මවුපියන්ට දන්වා එසේ කළාය. දොළදුක සංසිඳිණි. ඉන්පසු ඈ තවත් මංගලඅවස්ථා සතකදී රෝහිතමත්ෂ්‍ය රසයෙන් යුක්තවම දම්සෙනෙවි සැරියුත් හිමියන් ප්‍රමුඛ පන්සීයක් භික්‍ෂූන් වැළඳූවාය. මේ විස්තර සියල්ල තිස්ස කුමාර කථාවස්තුවට සම බව දත යුතුයි.
මේ වනාහි ඔහු දුග්ගක කාලයෙහි රෝහිතමත්ස්‍ය රසයෙන් දෙනලද දානයෙහි ආනිසංසයි. පුතාට නම් තබන දවසෙහි, ස්වාමීනි, ඔබේ දාසයාට සිල් දෙන්නැයි මව කීකල්හි මේ දරුවාගේ නම කුමක්දැයි විමසූහ. ස්වාමීනි, මේ දරුවා කුස පිළිසිඳගත් දිනයේ පටන් මේ ගෙදර කෙළතොලු මිනිස්සු පවා නුවණැතිවූහ. එනිසා මගේ පුතාට පණ්ඩිතදරු යන්නම නම වන්නේය. තෙරණුවෝ සිල් දුන්හ. පුතා උපන් දිනයේම මගේ පුතාගේ අදහසක් මම කිසිවිටක නොබිදින්නෙමියි සිතක්ද උපනි. දරුවා සත්හැවිරිදිවූ පසු මව අමතා, මෑණියනි, මම තෙරුන් ළඟ පැවිදි වන්නෙමියි කීය. එසේය දරුව, මම ඔබේ අදහසක් නොබිඳින්නෙමියි සිතක් උපදවාගෙන ඇත්තෙමියි කියා තෙරුන්ට ආරාධනාකොට වළඳවා, ස්වාමීනි ඔබේ දාසයා පැවිදිවනු කැමතිය. මම මොහු සවස විහාරයට කැඳවාගෙන එන්නෙමියි තෙරුන් පිටත්කරයවා නෑයන් රැස්කර මගේ පුතාට ගිහියකු හැටියට කළයුතු සැලකුම් අදම කරන්නෙමියි මහත්වූ සත්කාර සම්මාන කොට ඔහු කැඳවාගෙන විහාරයට ගොස් ස්වාමීනි, මොහු පැවිදි කරවන්නැයි තෙරුන්ට භාර කළාය. තෙරණුවෝ පැවිද්දේ දුෂ්කරකම් කියාදී ස්වාමීනි, මම ඔබවහන්සේගේ අවවාද අනුව කටයුතු කරන්නෙමියි කීකල එසේනම් එවයි කෙස් තෙමා තචපංචක කර්මස්ථාන කියවා පැවිදිකළහ. ඔහුගේ මවුපියෝත් සතියක් විහාරයෙහිම වෙසෙමින් බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයාට රෝහිතමත්ස්‍ය රසයෙන්ම යුත් දන්දී සත්වෙනි දවස සවස ගෙදර ගියාහුය.
තෙරණුවෝ අටවෙනි දිනයෙහි සාමණේරයනුත් සමග ඇතුළුගමට පිඬු පිණිස වඩින්නාහු වෙනත් භික්ෂූන් සමග නොගියාහුය. ඒ කුමක් නිසාද? තවම ඔහුට පාසිවුරු දැරීමාදී ඉරියව් හෝ ප්‍රසාදජනක බවක් නොවීය. එපමණක් නොව විහාරයෙහි තෙරුන් විසින් ඉටුකළමනා වතාවතක්ද විය. අනිත් සියලු භික්‍ෂූන් විහාරයෙන් පිටත්ව පිඬුසිඟා වැඩිකල්හි විහාරය පුරා ඇවිදිමින් අතුනොගා තිබෙන තැන් අතුගා හිස්බඳුන්වලට බීමට මෙන්ම පරිහරණයට ගතයුතු පැන් පුරවා පිළිවෙලකට තබා නොතිබෙන ඇඳපුටු ආදිය පිළිවෙලකට තබා පසුව ගමට වඩිති. එසේ නොවුණොත් තීර්ථකයෝ විහාරයට අවුත්, බලව්, ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ හිඳිනාතැන්වල හැටියයි කීමට අවස්ථාවක් ලබා නොදෙන්නටත් මුළු විහාරයම මැනවින් සකසා පසුව ගමට වඩිති.
එහෙයින් මෙදිනද සාමණේරයන් ලවා පාසිවුරු ගෙන්වාගෙන වෙනදාට වඩා දවල්වී ගමට පිවිසියෝය. උපාධ්‍යායන් සමග යන සාමණේරයෝ අතරමගදී ඇළක් දැක ස්වාමීනි, මේ කුමක්දැයි ඇසූහ. සාමණේරය එය ඇළකි. මෙයින් කරන්නේ කුමක්ද? ගොවියෝ මෙයින් ජලය එහෙමෙහෙ ගෙනගොස් තමන්ගේ ගොවිකම් කටයුතු කෙරෙත්. ස්වාමීනි, ජලයට සිතක් පිතක් ඇද්ද? ඇවැත්නි නැත. ස්වාමීනි, මෙබඳු සිත්පිත් නැති ජලය තමන් කැමති තැනකට ගෙනයෙද්ද? ඇවැත්නි, එසේය. ඔහු මෙසේ සිතීය, ඉතින් මෙසේ අචිත්තකවූ ජලයත් තමන් කැමති කැමති තැන්වලට පමුණුවා කර්මාන්ත කෙරෙත් නම් සචිත්තකයන් තමන්ගේ සිත තමන් වසඟයෙහි පවත්වා මහණදම් පුරන්ට නොහැකි වන්නේද?
ඊළඟට තමන් ඉදිරියෙන් යන හීවඩුවන් හීදඬු ගින්නෙහි බහා නවතවා ඇස් කොණින් බලා දිගහරිනු දැක, ස්වාමීනි, මේ කවුරුන්දැයි ඇසූහ. ඇවැත්නි, මොවුහු හීවඩුවෝ නම් වෙති. ඔවුන් කරන්නේ කුමක්ද? ගින්නෙහි ලා තවා හීදඬු ඇදහැර සෘජු කෙරෙති. ඒවා සචිත්තකද? ඇවැත්නි අචිත්තකය. හෙතෙම මෙසේ සිතීය. ඉදින් අචිත්තකදේ ගෙන ගින්නෙන් තවා ඇද හැරගන්නේ නම් කිම සචිත්තක වූ තමන්ගේම සිත තමන් වසඟයෙහි පවත්වාගෙන මහණදම් පිරීම නොහැකිද?
තවත් ඉදිරියට යනකල ගරාදි නිම්වළළු, නාභිය ආදිය සහින්නන් දැක, ස්වාමීනි, මේ කවුරුන්දැයි ඇසූහ. ඇවැත්නි, ඒ තච්ඡක, ලී සහින්නෝය. ඔවුන් කරන්නේ කිනම් කර්මාන්තයක්ද? දැව රැගෙන කරත්ත ආදියට අවශ්‍ය රෝද ආදිය තනන්නාහුය ඇවැත්නියි කීහ. ස්වාමීනි, ඒ දැවද්‍රව්‍ය සචිත්තකද? ඇවැත්නි අචිත්තකය. ඉන්පසු උන්වහන්සේට මෙසේ සිතුණේය, ඉතින් දර අරටු රැගෙන රෝද ආදිය තනන්නේ නම්, සචිත්තක අයට තමන්ගේ සිත තම වසඟයෙහි පවත්වාගෙන මහණදම් පුරන්ට නොහැකිවන්නේ කුමක් නිසාද?
හෙතෙම මේ කරුණු දැක, ස්වාමීනි, ඔබ වහන්සේගේ පාසිවුරු ඔබවහන්සේ භාර ගන්නෙහි නම් මම නවතිමියි කීය. උපාධ්‍යාය තෙරණුවෝ, මොහු ළඟදී පැවිදි විය. ළපැටි සාමණේර නමකි. අනුබුදු කෙනෙක් වැනි මට මෙසේ කියතියි නොසිතාම නැවතී සාමණේරය, පාසිවුරු මෙහි ගෙනඑවයි තමන්ගේ පාසිවුරු ගත්තේය. සාමණේර තෙමේත් උපාධ්‍යායයන් වැඳ නැවතී ස්වාමීනි, මට අහරගෙන එනවිට රෝහිතමත්ස්‍ය රසයෙන්ම ගෙනෙන්නැයි කීවේය. ඇවැත්නි ඒවා ලබාගන්නේ කෙසේද? ස්වාමීනි, තමන්ගේ පිනෙන් නොලැබෙන්නේ නම් මගේ පිනෙන් ලැබෙන්නේයයි කීය.
තෙරුන්වහන්සේ ළපටි සාමණේරවරයා බැහැරව සිටීමෙන් උවදුරක් වියහැකියයි සිතා යතුරදී මා නිදන ගර්භයෙහි දොර හැර ඇතුළට වැදී සිටින්නැයි කීහ. හෙතෙම එසේ කොට තමන්ගේ නිසරු කයෙහි ඤාණය විහිදුවා ජීවිතය පිළිබඳ සම්මර්ෂණාවෙහි යෙදෙමින් සිටියේය. ඉන්පසු ඔහුගේ ගුණානුභාවයෙන් ශක්‍රයාගේ අසුන උණුසුම් අයුරක් දැක්වීය.
ශක්‍රයා එසේ වීමට කාරණ මොනවාදැයි සොයාබලනවිට පණ්ඩිත සාමණේර තෙම උපාධ්‍යායයන්වහන්සේට පාසිවුරු දී මහණදම් පුරන්නෙමියි නැවතුණේය. මාත් එහි යායුතුයයි සිතා, සතරවරම් දෙවියන්ට කථාකොට විහාරය සමීපයෙහි සිටින පක්‍ෂීන් පලවාහැර මුළු පෙදෙසම රැකවල් ලවයි කියා චන්‍ද්‍රදිව්‍යපුත්‍රයාට සඳමඬල නවත්වා ගනුවයිද සූර්යදිව්‍යපුත්‍රයාට හිරුමඬල නවත්වා ගනුවයිද කියා තෙමේ ගොස් පන්සලෙහි අගුල්කණුව ළඟ රැකවල් ලාගෙන සිටියේය. විහාරයෙහි දිරූ කොළයක් වැටෙන හඬකුදු නොවීය.
සාමණේරයන්ගේ සිත එකඟවිය. හෙතෙම බත්කිස කරන්ටත් පළමු වේලාවෙහිදීම ජීවිතය ආත්මභාවය ගැන මෙනෙහිකරමින් භාවනාකොට ත්‍රිවිධඵලයන්ට පැමිණියේය. තෙරුන්වහන්සේත් විහාරයෙහි සිටින සාමණේරයන්ට ප්‍රමාණවත් භෝජන අසවල් වේලාවෙහිදී ලැබිය හැකියයි තමන්ට සැලකුම් දක්වන එක් උපස්ථායක ගෙදරකට වැඩියහ. ඒ ගෙදර මිනිස්සුත් ඒ දවසෙහි රෝහිතමත්ස්‍යයෙකු ලැබ තෙරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් සිටියහ. තෙරුන් වැඩමවනු දුටු ඔවුහු ස්වාමීනි, අද වැඩමවීම ඉතා මැනවැයි ඇතුළුගෙට වැඩම්මවාගෙන කැඳ කැවිලි ආදිය පිළිගන්වා රෝහිතමත්ස්‍ය රසයෙන් යුතු පිණ්ඩපාතයද පිළිගැන්වූහ.
තෙරණුවෝ ආපසු යන ආකාරයක් දැක්වූහ. මිනිස්සු ස්වාමීනි, වළඳන්න. ගෙනයන්ටත් බත් සූදානම්යයි කියා තෙරුන් බත්කිස නිමවූ පසු පාත්‍රය රෝහිතමත්ස්‍ය රජබොජුනෙන් පුරවා දුන්හ. තෙරණුවෝ, සාමණේරයන් බඩගින්නේ ඇතැයි වහවහා වැඩියහ. ශාස්තෘන්වහන්සේත් එදින කල්තියා වළඳා විහාරයට වැඩමවා, මෙසේ කල්පනාකර බැලූහ. පණ්ඩිත සාමණේරතෙම උපාධ්‍යායයන්ට පාසිවුරුදී මහණදම් පුරන්නෙමියි නැවතුණේය. ඔහුගේ පැවිදිකිස සමෘද්ධවන්නේදැයි විමසන කල්හි ත්‍රිවිධඵලයන්ට පැමිණිබව දැන, රහත්වීමට හේතුසම්පත් ඇද්ද නැද්දැයි ආවර්ජනා කරනසේක් ඇතැයි දැන පෙරබත් වේලාවේදීම රහත්වීමට හැකිද නොහැකිදැයි සොයාබලා එයද කළහැකියයි දැනගත්සේක. ඉන්පසු බුදුරජාණන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. සැරියුත් තෙරණුවෝ සාමණේරයන්ට බත් රැගෙන ඉක්මනින් එති. එයිනුත් අනතුරක් සිදුවිය හැකි නිසා දොරකොටුවේ රැකවල් ගෙන හිඳගන්නෙමි. ඉන්පසු සාරිපුත්‍රගෙන් ප්‍රශ්න විචාරන්නෙමි. උන්වහන්සේ ප්‍රශ්න විසඳනවිට ඒ අතර සාමණේරතෙම සිව්පිළිසිඹියාත් සමග අර්හත්වයට පැමිණෙන්නේය.
මෙසේ සිතා ඉන්පසු එහි වැඩමවා දොරකොටුවෙහි සිට එහි පැමිණි තෙරුන්ගෙන් ප්‍රශ්න හතරක් විචාළසේක. ඇසූ පැන තෙරණුවෝ විසඳාලූහ. ඒ ප්‍රශ්න විසඳීම මෙසේය:
ශාස්තෘන්වහන්සේ මෙසේ විචාළහ:
ශාරීපුත්‍රය, ඔබ කුමක් ලද්දෙහිද? ස්වාමීනි ආහාරයක් ලදිමි. ආහාරය කුමක් ගෙනදෙයිද? ස්වාමීනි, වේදනාව ගෙනදෙයි. වේදනාව කුමක් ගෙනදෙයිද? ස්වාමීනි රූපයයි. රූපය කුමක් ගෙනදෙයිද ශාරීපුත්‍රයෙනි? ස්වාමීනි, ස්පර්ශයයි.
එහි අදහස මෙසේයි. බඩගින්නේ සිටින්නකු ආහාර ගත්කල ඔහුගේ බඩගින්න නැතිවී සැප වේදනාවක් ලබයි. ආහාර වැළඳීමෙන් සුවපත්වූවහුට ඒ සැප වේදනාවක් ලැබෙයි. ආහාර වැළඳීමෙන් සුවපත් වූවහුට ඒ සැප වේදනාව නිසා ශරීරයෙහි වර්ණසම්පත්තියක් ලැබෙයි. මෙසේ වේදනාව රූපය ගෙනදෙයි. සුවපත්වූවාහු ආහාරයෙන් උපන්රූප වශයෙන් උපන් සැප සොම්නස් වේදනා ලබයි. ඉන්පසු ඔහු දැන් මට ආස්වාදයක් උපන්නේයයි වැදහොවී හෝ ඉඳගෙන සැප සහිත ස්පර්ශයක් ලබයි.
මෙසේ මේ සතරාකාර ප්‍රශ්න විසඳාලන කල්හි සාමණේරතෙම ප්‍රතිසම්භිදා සහිතව රහත්බවට පැමිණියේය. ශාස්තෘන්වහන්සේත් තෙරණුවන්ට මෙසේ වදාළහ. ශාරීපුත්‍රය, යව, ඔබේ සාමණේරයන්ට පිණ්ඩපාතය දෙව, තෙරණුවෝ ගොස් දොරට තට්ටු කළහ. සාමණේර තෙම පිටතට අවුත් තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන එක් පැත්තක තබා තල්අත්ත ගෙන තෙරණුවන්ට පවන් සැලීය. ඉන්පසු තෙරණුවෝ, සාමණේරය, බත්කිස කරවයි කීහ. ස්වාමීනි, ඔබවහන්සේ? මම වැළඳුවෙමි. ඔබ වළඳන්නැයි කීහ.
සත් හැවිරිදිවියේ දරුවකුට සිට පැවිදිව අටවෙනි දවසේ එකෙණෙහි පිපුණු පියුමක් මහනෙල්මලක් මෙන් රහත්බවට පැමිණියේ ප්‍රත්‍යවේක්ෂා කළයුතු තැන්හි ප්‍රත්‍යවේක්ෂා කරමින් හිඳගෙන දන් වැළඳූහ. උන්වහන්සේ වළඳා අන්තයෙහි පාත්‍රය සෝදා පිසදමා අවසන්වූ පසු චන්‍ද්‍රදිව්‍යපුත්‍රයා සඳ වැළැක්වීම හැරදැමීය. සූර්යදිව්‍යපුත්‍රයා හිරුද මුදාහැරියේය. සතරවරම්හු සිව්දිසාවන්හි රැකවල හැරදැමූහ. සක්දෙව්පුත් තෙම ගෙට ඇතුළුවන තැන රැකවල හැරදැමීය. හිරු මුදුනින් මඳක් ඉවතට ගියේය.
භික්ෂූහු දොස් නැගූහ. සෙවනැලි අධිකප්‍රමාණයක් අවර ගොසිනි. හිරු අහස මැදින් ඉවතට ගොස්ය. සාමණේරයෝත් මේ දන් වැළඳුවෝය. මේ කිමෙක්ද? බුදුරජාණන්වහන්සේ එපවත් දැන එහි වැඩමවා මහණෙනි, කුමක් කියව්දැයි ඇසූහ. ස්වාමීනි මේ කරුණයයි කීහ. එසේය මහණෙනි, ඒ පින්වතා මහණදම් පුරණ වේලාවෙහි චන්‍ද්‍රදිව්‍යපුත්‍රයා සඳත්, සූර්යදිව්‍යපුත්‍රයා හිරුත් අල්ලාගත්හ. සතරවරම් දෙව්පුත්හු විහාර සමීපයෙහිවූ වනයෙහි රැකවල් දමා සිටියහ. සක්දෙවිඳු විහාරයට ඇතුළුවන දොරටුව රැකවල සිටියේය. මටත් බුද්ධයයි කියා අල්පොත්සුකව හිඳීමට නොලැබිණි. එහි ගොස් දොරකොටුවෙහි මගේ පුතාට රැකවල්ගෙන සිටියෙම. ඇළපාරවල දිය කැමති අය කැමති තැනකට ගෙනයන්නාක් මෙන්, හී වඩුවෝ ලී රැගෙන හී ඉදිකරන්නාක් මෙන්, වඩුවෝ දැව අරටු රැගෙන සෘජු හෝ වක්‍රව තමන් කැමති පරිදි සාදාගන්නාක් මෙන් මෙතෙක් අරමුණු රැගෙන පණ්ඩිත අය තමන් දමනයකොට රහත්බව ලබාගන්නාහුමයයි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
දිය කැමති අය ඇළ මගින්
කැමති තැනකට ගෙන යති
ලීවලින් හී හදන අය
කැමති ලෙසකට හදා ගනිති
වඩුවෝ කැමති ලෙසකට
කෙළින් හෝ ඇදකුදට හෝ
අරටු ලීදඬු සකසති
නුවණැත්තෝ තමන් සිත
සිත්සේ හදා ගනිති
එහි, මහපොළොවේ ගොඩැලි තැන් කපා හාරා වළවල් පුරවා ඇළවල් හදා ලීඔරුවක් හෝ තබා තමන් කැමති තැන්වලට ජලය ගෙනයන හෙයින් නෙත්තිකා නම්වේ. තෙජනං යනු ලීයි. මෙයම කියා ඇත. මෙසේ ජලය ගෙනයෑමට කැමති අය තමා කැමති තැනකට ජලය ගෙනයති. උසුකාරො හීවඩුවෝත් ලී රැගෙන ගින්නෙහිලා තවා ඊ ඇද නැතිව හදති. වඩුවෝ රථණේමි ආදිය පිණිස ලී සැස තමන් කැමති හැඩයකට නමයන්ති තමාගේ රුචිය පරිදි සෘජුව හෝ ඇදට හෝ සාදා ගනිති. මෙසේ මෙබඳු අරමුණුගෙන නුවණැති අය සෝවාන් මාර්ගාදිය උපදවාගෙන අත්තානං දමයන්ති රහත්බවට පත්කල්හි ඒකාන්තයෙන්ම දමනයවූවෝ වෙත්.
දේශනා කෙළවර බොහෝ අය සෝවාන්මාර්ගාදියට පැමිණියහ.