6-4 සතරවන මහාකප්පින තෙරණුවන්ගේ වස්තුවයි.

ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙජසා

අරියප්පවෙදිතෙ ධම්මෙ සදා රමති පණ්ඩිතො.

ලොවුතුරු දහම් රසය විඳින මහණ තෙම සුවසේ වෙසෙයි. නුවණැති මහණ තෙමේ වෙසෙසින් පහන් සිතින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලද ධර්‍මයෙහි හැම කල්හි ම ඇලෙන්නේ ය.

ධම්මපීති සුඛං සෙති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසය කරන කාලයේ මහාකප්පිනතෙරුන් අරභයා දේශනා කළසේක. මේ එහි පිළිවෙල කථාවයි:

අතීතයෙහි ආයුෂ්මත් මහාකප්පිනතෙම පියුමතුරා බුදුන්හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සසර සැරිසරමින් බරණැස සමීපයෙහි එක් පේෂකාර ගමක පේෂකාර දෙටුවාබවට පත්වී උපන්නේය. එකල දහසක් පමණවූ පසේබුදුවරු අටමසක් හිමවත වැස අනතුරු සිවුමස ජනපදවල වසති. උන්වහන්සේලා වරක් බරණැස සමීපයෙහි බැස සෙනසුන් ඉදිකිරීමට අත්උදව් ඉල්ලා පසේබුදුවරයන් ආබව අසා එහි ගොස් ආ කරුණ විමසා ස්වාමීනි, අද ඉඩක් නැත. හෙට අපේ වප්මගුල් දිනයයි. තුන්වෙනිදිනයේදී කරන්නෙමියි කියා පසේබුදුවරයන්ට ආරාධනාත් නොකරම ගියේය.

පසේබුදුවරු වෙන තැනකට යමුයි වැඩියාහුය. එවේලෙහි දෙටු පේෂකාරකයාගේ භාර්‍ය්‍යාව කිසියම් වැඩක් සඳහා බාරාණසියට යන්නී ඒ පසේබුදුවරයන් දැක වැඳ ස්වාමීනි, ආර්‍ය්‍යයන්වහන්සේලා මේ අවේලාවේ ආවේ ඇයිදැයි ඇසුවාය. එසේ අසා මුලපටන් ඒ කථාපුවත දැන සැදැහැවත් නුවණැති ස්ත්‍රියක් හෙයින් ස්වාමීනි, හෙට අපෙන් ආහාර ගනුමැනවැයි නිමන්ත්‍ර‍ණය කළාය. සහෝදරිය අපි බොහෝ දෙනෙකියි කීවිට, ස්වාමීනි, කොපමණක්දැයි ඇසුවාය. දහසක්පමණය. ස්වාමීනි, මේ ගමේ දහසක් පමණ ශිල්පීහු වෙති. එක එක්කෙනා එක එක නමකට භික්ෂාව දෙනු ඇති. එනිසා අපේ භික්ෂාව ඉවසනු මැනවි. මාම ඔබවහන්සේලාට වාසස්ථානද කරවන්නෙමියි කීවාය. පසේබුදුවරු ආරාධනය පිළිගත්හ.

ඈ ගමට ගොස් හඬනඟා, මම දහසක් පමණවූ පසේබුදුවරයන් දැක දනට ආරාධනා කෙළෙමියි කීවාය. ආර්යයන්ට හිඳිනා අසුන් පිළියෙල කරව්. කැඳ බත් ආදිය සම්පාදනය කරව්. ගම මැද මණ්ඩපයක් කරවා අසුන් පනවා දෙවෙනි දිනයෙහි පසේබුදුවරුන් වඩා හිඳුවා ප්‍ර‍ණීත බොජුන් වළඳවා බත්කිස අවසානයේ ඒ ගම සියලු ස්ත්‍රීන් කැඳවා ඔවුනුත් සමග පසේබුදුවරුන් වැඳ තෙමසක් මෙහි වසනබවට ප්‍ර‍තිඥා දෙනුමැනවයි ප්‍ර‍තිඥාලබාගෙන නැවතත් ගමට ගොස් උස්හඬින් මෙසේ කීවාය:

මෑණිවරුනි, පියවරුනි, එක් එක් පවුලකින් එක් පුරුෂයකු බැගින් වෑ ආදිය රැගෙන කැලෑවටගොස් දැවදඬු ගෙනවුත් ආර්යයන්ට වාසස්ථාන කෙරෙත්වා. ගම්වැසියෝ ඇගේ අවවාදය පිළිගෙන එකඑක්කෙනා එක් එක් නිවාසය බැගින් රාත්‍රිස්ථානය දිවාස්ථානවලින්යුත් පන්සල් දහස්ක කතා තමතමන්ගේ පන්සලෙහි වස්විසූ පසේබුදුවරයන්වහන්සේ කෙරෙහි ම උපස්ථාන කළහ. වස් විසූකල තමතමන්ගේ පන්සල්වල වස්එළඹුණු පසේබුදුවරුන්ට තුන්සිවුරු හා වැසිසළු සාදවයි එකඟකරවාගෙන එක් එක් නමකට දහසක් බැගින් වටිනා තුන්සිවුරු දෙවීය. පසේබුදුවරු වස්වැස අනුමෝදනාකොට වැඩියාහ.

ග්‍රාමවාසීනුත් මේ පින්කම් කොට එයින්චුතව තව්තිසා භවනයෙහි ඉපිද ගණදේවපුත්‍ර‍යන්යයි නම්ලදහ. ඔවුහු එහි දිවසැපත් අනුභවකොට කාශ්‍යප බුදුන් සමයෙහි බරණැස කෙළෙඹි ගෙවල්වල උපන්හ. දෙටු පේෂකාරතෙම දෙටුකෙළෙඹියාගේ පුත්‍ර‍යාවිය. භාර්යාවද ඒ දෙටුකෙළෙඹියාගේම දුව වූවාය. ඒ සියලුදෙනාම පරකුලයට යන්නාහු ඔවුනොවුන්ගේ ගෙවල්වලටම ගියාහුය.

ඉන්පසු දිනක බුදුරදුන් දහම්දෙසතියි විහාරයෙහි ඝෝෂණය කරනලදි. ඒ අසා සියලු කෙළෙඹියෝ බණ අසමුයයි භාර්යාවන්ද කැටුව විහාරයට ගියාහුය. ඔවුන් විහාරය මැදට පැමිණිකල වැස්සක් පටන්ගත්තේය. ඒ අයගේ කුලුපග හෝ නෑයන්වන්නාවූ හෝ සාමණේරාදීහු සිටියාහු නම්, ඔවුහු ඒ ඒ පිරිවෙන් ආදියට පිවිසියාහුය. ඔවුහු තමන්ට එබඳුතැන් නැතිහෙයින් පිවිසීමට තැන් නැතිව විහාරභූමිය මැදම සිටියාහුය.

ඉන්පසුදෙටු කෙළෙඹියා ඔවුන් අමතා, අපටවූ විප්‍ර‍කාරය බලව්. කුලපුත්‍ර‍යන් මෙයින්ම ලජ්ජාවියයුතුයයි කීවේය. ඔබතුමා කුමක් කරන්නෙහිද? අපි විශ්වාස දායක තැනක් නැති හෙයින් මේ විපිළිසර තත්ත්වයට පැමිණියෙමු. සියලු ධනය එකතුකොට පිරිවෙනක් කරමු. ආර්යයෙනි, යෙහෙකැයි දෙටුකෙළෙඹියා දහසක් දුන්නේය. සෙස්සෝ පන්සීය බැගින් දුන්හ. ස්ත්‍රීහු තුන්සීය බැගිනි. ඔවුහු ඒ ධනය බුදුන්ට වැඩසිටීම සඳහා එකතු කොට දහසක් කුළුගෙඩිවලින් වටවූ, මහා ආරාමයක්කරන්ට ආරම්භ කළහ. නවකර්මාන්තය මහත්වූ හෙයින් එකතුකළ ධනය නොපොහොනා නිසා මුලින්දුන් ධනය මෙන් භාගය බැගින් නැවතත් එකතුකළහ. ආරාමයේ වැඩ අවසන්වූ පසු විහාරපූජාව කරමින් බුද්ධප්‍ර‍මුඛ සංඝයාට සත්දිනක් මහදන්දී විසිදහක් භික්ෂූන්ට තුන්සිවුරු පිළියෙලකළහ. දෙටු කෙළෙඹියාගේ බිරිඳ සැමට සමකොට තමා නුවණ මෙහෙයවා විශේෂ පූජාවක් බුදුරදුන් උදෙසා කරන්නෙමියි අනෝජාමල් පාට දහසක්වටිනා සළුවක් සමග අනෝජාමල් බඳුනක්ද ගෙන අනුමෝදනා කාලයෙහි බුදුන්පාමුල තබා, ස්වාමීනි උපනුපන් හැමතැන අනෝජාමල් වර්ණයෙන්ම මගේ සිරුර යුක්තවේවා. අනෝජා යන්නම මගේ නාමයවේවායි පැතුවාය. ශාස්තෘන්වහන්සේ එසේමවේවායි අනුමෝදනා කළසේක. ඒ හැමදෙනාම ආයු ඇතිතාක් සිට එයින් චුතව දෙව්ලොව ඉපිද මේ බුද්ධොත්පාද කාලයෙහි දෙව්ලොවින් චුතව දෙටුකෙළෙඹියා කුක්කටවතී නගරයෙහි රාජකුලයක ඉපදී මහා කප්පිනරජ යනනමින් ප්‍ර‍කටවිය. සෙස්සෝ ඇමති කුලවල උපන්හ. දෙටු කෙළෙඹියාගේ බිරිඳ මදුරට සාගල නුවර රාජකුලයෙහි උපන්නාය. ඇගේ සිරුර අනෝජාමලක වර්ණයෙන් යුක්තයි. අනෝජායයි ඈ නම්කරනලදි. සෙසු ස්ත්‍රීන්ද ඇමතිකුලවල ඉපදී වැඩිවිය පැමිණ ඒ ඒ ඇමතිපුතුන්ගේ ගෙවල්වලටම ගියාහුය. ඒ සියල්ලෝ රජසම්පත් වැනි සම්පත් අනුභවකළහ.

යම් දිනක රජු සර්වාලංකාරයෙන් සැරසී ඇතුපිටනැගී හැසිරෙයිද, එකල සෙස්සෝද එපරිද්දෙන්ම සැරසී රජුත් සමග හැසිරෙත්. රජු සෙකුපිට හෝ රථයකින් යන්නේ නම් ඔවුහුද එසේම ගියාහ. මෙසේ ඔවුන් එකතුව කළ පින්බලයෙන් එකතුවම සම්පත් අනුභව කළහ. රජුට වාල, වාලවාහන, පුෂ්ප, පුෂ්පවාහන, සුපත්තයයි අශ්වයන් පස්දෙනෙක් සිටියෝය. රජු ඔවුන්ගෙන් සුපත්ත නම් අසුපිට නැගීයයි. අනිත් සතරදෙනා හසුන්ගෙනයෑම සඳහා අසරුවන්ට දෙනලදි. රජු උදෑසනම ඔවුන් කවාපොවා, යව්, යොදුන් දෙක තුනක් හෝ ඇවිද බුදුන් දහම් සඟුන් උපන්බවක් දැනගෙන මට යහපත් ආරංචියක් රැගෙන එවයි පිටත්කරහරියි.

ඔවුහු ප්‍ර‍ධාන වාසල්දොරටු සතරින් නික්මී යොදුන් දෙකතුනක් ඇවිද සුදුසු ආරංචියක් නොලැබ ආපසු එති. ඉන්පසු දිනක රජු අසුපිට නැගී ඇමති දහස පිරිවරා උයනට යන්නේ ක්ලාන්ත භාවයට පත් පන්සීයක් වෙළඳුන් නගරයට ඇතුල්වනු දැක, මොවුහු මාර්ගයෙහිදී තෙහෙට්ටු වූවෝය. දුරසිට පැමිණියාහුය. ඒකාන්තයෙන්ම මොවුන්ගෙන් එක යහපත් ආරංචියක් අසාගන්නෙමියි ඔවුන් කැඳවා තෙපි කොහි සිට එන්නහුදැයි ඇසීය. දේවයන්වහන්ස, මෙයින් යොදුන් එක්සියවිස්සකට පමණ දුරින් සැවැත් නම් නුවරක් ඇත. අපි එහි සිට එන්නෙමුයි කීවාහුය. තොපගේ දේශයෙහි කිසියම් සසුනක් තිබේද? දේවයිනි, වෙන කිසිවක් නම් නැත. සම්මාසම්බුදුහු නම් පහළවී සිටිති. රජු එකල්හි පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව කිසිවක් සලකාගත නොහැකිව මොහොතක් ගෙවා, දරුවනි, කුමක් කියව්දැයි නැවත විචාළේය. දේවයිනි, බුදුරදුහු පහළවී සිටිති. රජු දෙවෙනි තෙවෙනි වරක් නිහඬව සිට සිව්වෙනි වර දරුවනි, කුමක් කියව්දැයි අසා, දේවයිනි, බුදුන්ලොව පහළවූහයි අසා දුරුවනි, නුඹලාට ලක්‍ෂයක් තිළිණ දෙමියි කියා, තවත් කිසියම් සසුනක් ඇද්දැයි විමසීය. දේවයන්වහන්ස ධර්මයත් පහළවී ඇතියි පැවසූවිට එයද අසා පෙර පරිදිම තෙවරක් කල්හැර සිව්වෙනි වර ධම්ම යන පදය කීකල නුඹලාට තවත් ලක්‍ෂයක් ත්‍යාග දෙමියි කියා තවත් සසුනක් ඇද්ද දරුවෙනියි ඇසූවිට, එසේය දේවයිනි, සංඝරත්නයක් පහළවී ඇතැයි පැවසූහ. රජු එයත් අසා පෙර පරිදිම තෙවරක් කල් ගතකොට සිව්වෙනි වර සංඝ යන පදය කීකල නුඹලාට තවත් ලක්ෂයක් ත්‍යාග දෙමියි කියා ඇමතියන් දහස දෙස බලා දරුවනි, දැන් කුමක් කරන්නහුදැයි ඇසීය. දේවයන්වහන්සේ කුමක් කරන්නහුද? දරුවනි, මම බුදුන් උපන්නේය, දහම උපන්නේය, සංඝයා උපන්නේයයි අසා එතනින් නොනවතින්නෙමි. බුදුන් උදෙසා ගොස් පැවිදිවන්නෙමියි කීය. දේවයිනි, අපිත් ඔබ සමගම පැවිදිවන්නෙමුයයි ඔවුහු කීවාහුය.

රජු රන්පටියක අකුරු ලියවා වෙළඳුන් අමතා, අනෝජා නම් දේවය නුඹලාට තුන් ලක්‍ෂය දෙනවා ඇත. ඉන්පසු මෙයත් කියන්න. රජු සියලු සම්පත් ඔබවෙනුවෙන් මුදාහරින ලදි. ඒවා භාරගෙන සැපසේ සිටින්න. ඉදින් නුඹලාගෙන් රජු කොහිදැයි ඇසුවොත්. බුදුන් ළඟ පැවිදිවීමට ගියේදැයි දන්වන්න. ඇමතියෝද තමතමන්ගේ බිරියන්ට ඒ අයුරින්ම හසුන් යැවූහ.

රජු වෙළෙන්දන් පිටත්කර යවා ඇමතියන් දහස පිරිවරා එකෙණෙහිම නික්මුණේය. ශාස්තෘන්වහන්සේත් එදින උදෑසන ලොව බලනසේක් පිරිවර සහිත මහාකප්පින රජුන් දැක, මේ කප්පින වෙළෙන්දන් හමුවෙහි තුන්සරණය උපන්බව අසා ඔවුන්ගේ වචනය සඳහා ලක්‍ෂ තුනකින් පුදා රාජ්‍යයත් හැර ඇමතියන් දහසකුත් පිරිවරා ගෙන මා උදෙසා පැවිදිවනු කැමැත්තෙන් හෙට නික්මෙන්නේය. හෙතෙම පිරිවර සහිතව රහත්බවට පැමිණෙන්නේය. මොහුට පෙරගමන් කරන්නෙමියි දෙවෙනිි දවස් කුඩාගමක ගම්මුලාදෑනියාට පෙරගමන් කරන සක්විති රජකුමෙන් තමන්ම පාසිවුරු රැගෙන එක්සිය විසියොදුනක් පෙරගමන්කොට චන්‍ද්‍ර‍භාගා නදී තීරයෙහි නුගරුකමුල සවණක්රැස් විහිදුවමින් වැඩහුන් සේක.

රජුද එන අතර එක් නදියක් වෙත පැමිණ මේ නදිය කිනම්දැයි ඇසීය. දේවයන්වහන්ස, එය අරවච්ඡ නමි. දරුවනි, මෙය කෙතරම් විශාලද? ගැඹුරින් ගව්වකි. පළලින් ගව්වකි. මෙහ නැව් හෝ පසුරු හෝ ඇද්ද? නැත දේවයන්වහන්ස, නැව් ආදිය ගැන බලා සිටින අපි ජාතිජරා මරණාදියට ළඟාවන්නෙමු. මම නිසැකවම තුන්සරණය උදෙසා නික්මුණෙමි. ඒ තිසරණයේ අනුහසින් මට මේ ජලය ජලයක් මෙන් නොවේවායි තිසරණ ගුණ මෙනෙහි කොට ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධොයි බුද්ධානුස්සතිය සිහකරමින් අසුන් දහසක් පිරිවරත් දමග දියමතුපිටට පැන්නේය. අශ්වයෝ ගල්මතුපිට යන්නාක් මෙන් පැන ගියහ. කුරවල අග පමණක් තෙමිණි. හෙතෙම නදියෙන් එතරව ඉදිරියට යන්නෙ ්තවත් නදියක් දැක මෙහි නව කිමෙක්දැයි ඇසීය. දේවයන්වහන්ස, එය නීලවාහිනී නම්වෙයි. මෙහි ප්‍ර‍මාණය කෙසේද? ගැඹුරිනුත් පළලිනුත් අඩයොදුනක් පමණි දේවයිනි. සෙස්ස පෙරසේමය. ඒ නදිය දැක ස්වාක්ඛාතො භගවතා ධම්මො ආදි ධම්මානුස්සතිය සිහිකරමින් පැන්නේය.

ඒ නදියත් ඉක්මවා යනවිට තවත් නදියක් දැක මෙහි නම කුමක්දැයි ඇසීය. දේවයිනි, එය චන්ද්‍ර‍භාගා නම්, මෙහි ප්‍ර‍මාණය කෙසේද? ගැඹුරෙනුත් පළලිනුත් යොදුනකි. සෙස්ස පෙරසේමය. ඒ නදිය දැක සුපටිපන්නො භගවතො සාවකසංඝෝ යයි සංඝානුස්සතිය සිහිකරමින් පැන්නේය. බුදුන්ගේ සිරුරින් නිකුත් සවණක්රැස් දුටුවේය. නුගරුකේ අතුදෙබල්කොළ ආදිය රන්වන්පාටින් දිස්විය. රජු, මේ ආලෝකය චන්‍ද්‍ර‍යාගේ නොවෙයි, සූර්යයාගේද නොවෙයි. බ්‍ර‍හ්මනාගසුපර්ණාදි අනිකෙකුගේත් නොවෙයි. ඒකාන්තයෙන්ම බුදුන් උදෙසා එන හෙයින් මහාගෞතම බුදුන් විසින් මා දක්නාලද්දෙම් වෙමි. හෙතෙම පළමුකොටම, එවේලේම අසුපිටින් බැස නැමුණු සිරුරු ඇතිව රශ්මිඅනුසාරයෙන් බුදුන්වෙත පැමිණ රත්හිරියල් වතුරක ගිලෙන්නාක් මෙන් බුදුරැස් අතරට පිවිස බුදුන් වැඳ ඇමති දහසත් සමග එකත්පසෙක හිඳගත්තේය. බුදුරජාණන්වහන්සේ ඔහුට දානකථාදි පිළිවෙලකථාව වදාළහ. දේශනාවසානයෙහි ඔහු පිරිවරත් සමග සෝවාන්ඵලයෙහි පිහිටියේය.

ඉන්පසු සියල්ලෝ නැගිට පැවිද්ද ඉල්ලා සිටියහ. ශාස්තෘන්වහන්සේ මේ කුලපුතුන්ට සෘද්ධිමය පාසිවුරු ලැබෙන්නේදැයි විමසා බලනසේක්, මේ කුලපුත්‍රයෝ පසේබුදුවරයන් දහසක් නමකට සිවුරු දහසක් දුන්හ. කාශ්‍යප බුදුන් කාලයෙහි භික්ෂූන් විසිදහසකට සිවුරු විසිදාහක් දුන්හ. මොවුන් සෘද්ධිමය පාත්‍ර‍ සිවුරු ලැබීම පුදුමයක් නොවේයයි සලකා දකුණුඅත දිගහැර මහණෙනි, මෙහි එව්. බඹසරවාසය වසව්. මැනවින් දුක් කෙළවර කර ගනිව්යයි වදාළහ. ඔවුහු එවිටම අටපිරිකර දරාගත් සැටවස් පිරුණු තෙරවරුන් මෙන්වී අහසට පැනනැගී අහසින් බැස බුදුන් වැඳසිටියාහුය.

යට සඳහන් කළ වෙළෙන්දෝත් රජගෙදරට ගොස් රජු තමන් එවූ බව දන්වා, දේවිය, මෙහි එන්නැයි කීකල්හි එහි ඇතුළට ගොස් ආචාරකොට එක්පැත්තක සිටියාහුය. ඉන්පසු දේවිය, දරුවෙනි කුමක් සඳහා ආවාහුදැයි ඇසුවාය. අපි රජුවිසින් ඔබවෙත එවන ලද්දෝවම්හ. දේවීනි අපට ලක්‍ෂතුනක් දෙනු මැනවැයි කීහ. දරුවෙනි, ඔබ කියන්නේ ඉතා විශාල මුදලක් ගැනය. ඔබ රජු වෙනුවෙන් කුමක් කරන ලදද? කුමක් කිරීමෙන් ඔබ රජුන් පහදවා ගන්නාලද්දේද? මෙතෙක් ධනයක් ඔබට දෙන්නේ ඇයිදැයි විමසුවාය.

දේවීන්වහන්ස, අපි වෙන කිසිවක්ම නොකෙළෙමු. එක් පුවතක් පමණක් දැනුම් දුන්නෙමු. දරුවනි, එය අපටත් කියා දිය හැකිද? දේවීනි, දැන්විය හැකිය. එසේනම් දරුවනි, කියව්. දේවීනි, බුදුන් ලෙව පහළවිය යුනුයි. ඈද ඒ අසා පෙරපරිදිම ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව තෙවරක් කිසිවක් සලකාගත නුහුණුව සතරවෙනිවර බුද්ධ යන පදය අසා, දරුවනි, මේ පදය අසා රජ කුමක් දුන්නෙහිද? දේවිය, ලක්‍ෂයක් දුන්නේය. මෙතරම් වටිනා පණිවුඩයක් දුන් තොපට ලක්‍ෂයක් දීමෙන් රජු විසින් කරනලද්දේ නොගැළපෙන ක්‍රියාවකි. මම දැන් තොපට මගේ දුප්පත් තිලිණයක් හැටියට තුන්ලක්‍ෂයක් දෙමි. ඉන්පසු තොප රජුන්ට තවත් කුමක් දන්වන ලදද? ඔවුහු මේ මේ කරුණුයයි අනිත් ධම්ම සංඝ යන රත්න පිළිබඳ විස්තරයද කීවාහුය.

දේවිය, පෙර පරිදිම ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව තෙවරක්ම කිසිවක් සලකාගත නොහැකිව සිට සතරවෙනි වරත් ලක්‍ෂ තුන බැගින් දෙවුවාය. මෙසේ සියලු ධනය ලක්‍ෂදොළොසක් ලැබූහ. ඉන්පසු දේවිය, දරුවනි, රජු දැන් කොහිදැයි ඇසුවාය. දේවිය බුදුන් ළඟ පැවිදිවන්නෙමියි ගියේය. ඔහු මට කිනම් පණිවුඩයක් දුන්නේදැයි ඇසුවාය. සියලු රජසැපත ඔබට භාර කෙළෙහිය. ඔබ කැමති පරිද්දකින් ඒ සැප අනුභවකරන්නැයි කියාය. දරුවනි, ඒ සමඟ ගිය ඇමතියෝ කොහිද? දේවිය, ඒ සියල්ලෝද රජුනුත් සමඟ පැවිදිවන්නෙමුයයි ගියාහුය.

දේවිය ඔවුන්ගේ භාර්යාවන් කැඳවා, මෑණිවරුනි, නුඹලාගේ ස්වාමිපුරුෂයෝ පැවිදි වන්නෙමුයයි රජුන් සමග ගියාහුය. දැන් තෙපි කුමක් කරන්නාහුදැයි ඇසුවාය. දේවිය, කිම ඔවුන් අපට කිසියම් පණිවුඩයක් එවුවාහුදැයි ස්ත්‍රීහු ඇසූහ. ඔවුන්ගේ සියලු සම්පත් නුඹලාට භාර කොට, කැමති පරිද්දකින් ඒ සම්පත් භුක්ති විඳින ලෙසද දන්වා එවා තිබේ.

දේවිය දැන් ඔබ කුමක් කරන්නෙහිද? මෑණිවරුනි, ඔහු රජකෙනෙකුන්වී මගතොටේදීම ලක්‍ෂතුනකින් තිසරණය පුදා සම්පත් කෙළපිඩක් මෙන් සලකා හැරදමා පැවිදිවන්නෙමියි පිටත්ව ගියේය. මා විසින් ත්‍රිවිධරත්නයේ ආරංචිය ලබා නවලක්‍ෂයකින් පුදන ලද්දෙමි. මේ සම්පත් නම් රජුට පමණක් දුක් නොවෙයි. මටත් දුක්ම වෙයි. රජු ගැසූ කෙළපිඩක් දණින් සිට කටෙන් ගන්නේ කවරෙක්ද? සම්පත්වලින් වැඩක් නැත. මමත් බුදුන් ළඟට ගොස් පැවිදිවන්නෙමියි කීවාය. දේවිය අපිත් ඔබ හා සමගම පැවිදිවන්නෙමුයයි සෙසු ස්ත්‍රීහුද කීවාහුය. මෑණිවරුනි ඔබට එය කළහැකිද? දේවීනි, එසේය. මෑණිවරුනි, එසේනම් එවුයයි රියදහසක් සූදානම් කරගෙන රියවලට නැගී ඔවුන් සමඟ පිටත්වී අතරමග පළමුවෙනි නදිය දැක රජු විචාළාක් මෙන් අසාබලා සියලුපුවත් අසා රජු ගියමග දැනගනිවුයයි කියා සොයනවිට අසුන් ගිය මගම සොයවුයයි කීවිට, අසුන් ගිය පාරක් දක්නට නැතැයි කීවාහුය.

රජු ත්‍රිවිධ රත්නය උදෙසා නික්මී සත්‍යක්‍රියාකොට ගියේයයි සිතා, මමත් ත්‍රිවිධරත්නය උදෙසා පිටත්වී ආවෙමි. මටත් ඒ තෙරුවන්ගේ ආනුභාවයෙන් මේ ජලය ජලයමෙන් නොවේවායි තුන්සරණේ ගුණ සිහිකොට රිය දහස පිටත් කළාය. ජලය ගල්මතුපිටක් සේ විය. රියවල අග්‍ර‍යනුත්, රෝදවල නිම්වළලුත් පමණක් තෙමුණේය. මේ ක්‍ර‍මයෙන්ම අනිත් නදි දෙකෙනුත් එතරවූහ.

ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඇගේ ආගමනය දැක තමන් සමීපයෙහි සිටි භික්ෂූන්ටත් නොදැනෙන සේ, පෙර සේම පෙරගමන් කළසේක. ඈද ඉදිරියට යන්නී බුදුසිරුරින් නිකුත් රශ්මි දැක එසේම සිතා බුදුන් ළඟට පැමිණ වැඳ එකත්පසෙක හිඳ ස්වාමීනි, මහාකප්පින ඔබවහන්සේ උදෙසා පිටත්විය. ඔහු මෙහි ආවේයයි සිතමි. ඔහු දැන් කොහිද, අපටත් පෙන්වනු මැනවැයි ඉල්ලුවාය. හිඳගන්න. මෙහිදීම ඔහු දැකගත හැකිය. ඒ සියලුදෙනා තුටුපහටුව මෙහිම හිඳගෙන ස්වාමිවරුන් දකින්නෙමුයි හිඳගත්තාහුය. බුදුරජාණන්වහන්සේ ඔවුන්ට පිළිවෙල කථාව දේශනා කළසේක. අනෝජා දේවිය දේශනාවසානයෙහි පිරිවරත් සමග සෝවාන්ඵලයෙහි පිහිටියාය. මහාකප්පින තෙරණුවෝ ඔවුන්ට දෙසූ දහම අසාසිට පිරිවරත් සමග පටිසම්භිදා සහිත රහත්බවට පැමිණියාහුය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ට ඒ භික්ෂූන් පෙන්වූහ.

ඒ ස්ත්‍රීන් එහි පැමිණි විගසම, තම සැමියන් කහවත් ඇඳ, හිස්මුඩුකොට පෙන්නුවහොත්, ඔවුන් සිත් ඒකග්‍ර‍තාවකට නොපැමිණෙන්නේය. එනිසාම මහඵලවලටද නොපැමිණෙන්නාහුයයි නොපෙන්වූහ. එනිසා අචලශ්‍ර‍ද්ධාවෙහි පිහිටිකල ඔවුන්ට රහත්ඵලයටපත් ඒ භික්ෂූන් පෙන්වූහ. ඒ ස්ත්‍රීහුත් උන්වහන්සේලා දැක පසඟපිහිටුවා වැඳ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේලාගේ නම් පැවිදිවීම මස්තකප්‍රාප්තවීයයි කියා බුදුන් වැඳ එක් පැත්තක හිඳ පැවිද්ද ඉල්ලූහ. මෙසේ කීපසු ශාස්තෘන්වහන්සේ උත්පලවණ්ණා භික්‍ෂුණියගේ ආගමනය ගැන සිතූසේකැයි සමහරු කියති. ශාස්තෘන්වහන්සේ ඒ උපාසිකාවන් අමතා සැවතට ගොස් භික්ෂුණී ආරාමයේදී පැවිදිවව්යයි වදාළහ.

ඔවුහු අනුක්‍ර‍මයෙන් චාරිකාවේ හැසිරෙමින් මගදී මහාජනයා ගෙනආ සත්කාර සම්මාන විඳිමින් එක්සියවිසි යොදුන්මග ගෙවා භික්‍ෂුණී ආරාමයෙහිදී පැවිදිවී රහත්බවට පත්වූවාහුය. ශාස්තෘන්වහන්සේත් භික්‍ෂූන් දහසත් සමග අහසින්ම දෙව්රමට වැඩමවූහ. එහිදී වනාහි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්වහන්සේ, රාත්‍රිස්ථාන දිවාස්ථානවලදී, අනේ සැපයි අනේ සැපයි යනුවෙන් ප්‍රීතිවාක්‍ය ප්‍ර‍කාශකරමින් හැසිරෙති. භික්ෂූහු ඒබව බුදුන්ට දැන්වූහ. ස්වාමීනි, මහාකප්පින තෙරණුවෝ, අනේ සැපයි අනේ සැපයි කියමින් ප්‍රීතිවාක්‍ය ප්‍ර‍කාශකරමින් හැසිරෙති. එය තමන්ගේ රාජසැප අරභයා කරන ප්‍ර‍කාශයකියි අපි සිතමු. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේ කැඳවා, කප්පින ඔබ කම්සැප රජසැප අරභයා ප්‍රීතිවාක්‍ය කියනබව ඇත්තදැයි විචාළහ. භාග්‍යවතුන්වහන්ස, ඒ කම්සැප රජසැප අරභයා මාතුළ උදානයක් හෝ අනුදානයක් හෝ උපදින්නේද යන්න ඔබවහන්සේම දන්නාසේකැයි කීය. ශාස්තෘන්වහන්සේ, මහණෙනි, මාපුත් මහාකප්පින කම්සැප රජසැප ගැන ප්‍රීති වාක්‍ය ප්‍ර‍කාශ නොකරයි. මගේ පුතාට ධර්මප්‍රීතියත්, ධර්මරතියත් (ඇළීම) උපදියි. හෙතෙම අමාමහනිවන් අරභයා මෙසේ උදන් අනන්නේයයි පූර්වාපර සන්ධි ගළපා දහම්දෙසමින් මේ ගාථාව වදාළහ.

පැහැදුණු සිතෙහි වන

දැහැමි ප්‍රීතිය සැපත ගෙන දෙයි

නුවණැතියන් දුටු දහමෙහි

නුවණැතියා සදා පවතී

එහි ධම්මපීති යනු ධර්මය බොන්නායි. ධර්මය බොන්නේය යන අර්ථයි. ධර්මය කියන දෙය කැඳ ආදිය මෙන් භාජනයකින් බීමට නොහැකිය. නවවිධවූ ලොකොත්තර ධර්මය නාමකයෙන් ස්පර්ශකෙරෙමින් ආරම්මණ වශයෙන් අවබෝධකරමින් මැනවින් පිරිසිඳ දැනගැනීම් වශයෙන් දුක්ඛාදි ආර්යසත්‍යයන් සැබෑලෙස අවබෝධකරගැනීම ධර්මය පානය කිරීමයි. සුඛංසෙති යනු දේශනාමාත්‍ර‍යක් පමණි. සිව්ඉරියව්වෙහි සැපසේ වාසයකරයි යනු අර්ථයි. විප්පසන්නෙන යනු නොකැළඹුණු උපක්ලේශයන්ගෙන් මුක්තව, මිදී යනුයි. අරියප්පවෙදිතෙ යනු බුද්ධාදි ආර්යයන් විසින් මැනවින් දැනගත් සතිපට්ඨානාදි භේදගත සත්තිස්බෝධිපාක්ෂික ධර්මයනුයි. සදා රමති යනු මෙබඳු දහම් ප්‍රීතියක් නිසා ඉතා පැහැදිලි සිතින් වාසයකරන්නේ පාණ්ඩිත්‍යයෙන් යුක්තව සැමකල්හි ඒ ධර්මයෙහි ඇළෙයි. අභිරමණය කෙරෙයි.

දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන් ආදි මාර්ගයන්ට පත්වූහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.