න භජෙ පාපකෙ මිත්තෙ න භජෙ පුරිසාධමෙ.
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ.
පාපමිත්‍රයන් සේවනය නො කරන්නේ ය. අධම පුරුෂයන් සේවනය නො කරන්නේ ය. කලණ මිතුරන් භජනය කරන්නේ ය. උත්තම පුරුෂයන් භජනය කරන්නේ ය.
න භජෙ පාපකෙ මිත්තෙ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ඡන්නතෙරුන් අරභයා දේශනා කළසේක.
ඒ ඡන්න ආයුෂ්මතුන්වහන්සේ. ‘මම අපේ ආර්යපුත්‍රයන්වහන්සේ සමග මහභිනික්මන් කොට මෙහි ආවෙමි. ඒ කාලයේ වෙන කිසිවෙක් සිටියේ නැත. දැන් මම ශාරිපුත්‍රවෙමි. මම මුගලන් වෙමි. අපි අගසව්වෝ වෙමු’යි කියමින් එහෙමෙහ ඇවිදිතියි අගසව්වන්ට ආක්‍රෝෂ පරිභව කරයි. බුදුහු භික්ෂූන්ගෙන් එපුවත අසා ඡන්නතෙරුන් කැඳවා අවවාද කෙරෙති. හෙතෙම ඒ වේලාවේ නිහඬව සිට නැවත ගොස් තෙරවරුන්ට ආක්‍රෝෂකෙරෙයි. මෙසේ තෙවෙනිවර දක්වා බණින අවස්ථාවල කැඳවා අවවාද කර, ඡන්න ඔය අගසව්දෙනම ඔබේ කල්‍යාණ මිත්‍රයෝය. උතුම් පුරුෂයෝය. මෙබඳු කලණමිතුරන සේවනය කරන්න, භජනය කරන්න යයි වදාරා දහම්දෙසනසේක් මේ ගාථාව වදාළහ:
පව්කාර මිතුරන් හැර
යහ මිතුරන්ම බජනුයෙ
කලණ මිතුරන් සොයා ගොස්
උතුම් මිතුරන්ම සෙවිය යුතුවේ
එහි අර්ථය නම්:- කායදුශ්චරිතාදි අකුසල කර්මයන්හි ඇළුණු අය පාපමිත්තා පාපමිත්‍ර නම්වෙති. මං පැහැරීම් ආදීවූ හෝ එක්විස්සක් වූ නුසුදුසු ජීවිකාවෘත්ති හෝ අයෝග්‍ය වැඩවල යොදවන්නෝ පුරිසාධමෙ පුරුෂාධමයෝ වෙති. මේ දෙපක්ෂයම පාපමිත්‍රයෝද පුරුෂාධමයෝද වෙත්. ඔවුන් භජනය, පයිරුපාසනය සේවනය නොකළයුතයු. මෙයින් පිටත්අය කලණමිතුරෝත් සත්පුරුෂයෝත් වෙති. ඔවුන් භජනය පයිරුපාසනය කළයුතුය. දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
ඡන්න ඒ අවවාද අසාත් නැවතත් භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කෙළේය. සෙසු භික්ෂූහු නැවතද ඒ බව දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, මා ජීවත්ව සිටියදී ඡන්න හික්මවන්ට නොහැක්කේය. මා පිරිනිවන් පෑ පසු හික්මවිය හැකියයි වදාරා, පිරිනිවන් කාලයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින්, ස්වාමීනි, ඡන්නතෙරුන් පිළිබඳව අප කෙසේ පිළිපැදියයුතුදැයි ඇසූවිට, ආනන්ද ඡන්නට බ්‍රහ්මදණ්ඩය පැමිණවිය යුතුයයි අණදුන්හ. හෙතෙම ශාස්තෘන්වහන්සේ පිරිනිවන් පෑකල්හි, බුදුන් විසින් අණ කරනලද බ්‍රහ්මදණ්ඩය පැනවූබව අසා දුක්වී, සිතේ වේදනාව ඇති කරගෙන, තෙවරක්ම ස්වාමීනි, මා නොනැසුව මැනවයි යාඥාකොට, මැනවින් වත් සපුරා නොබොහෝ කලකින්ම පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියේය.