ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ
සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.
යම් කලණ මිතුරෙක් කිසිවකුට අවවාද කෙරේ ද, අනුශාසන කෙරේ ද, අකුශලධර්‍මයෙන් වළකා ද, මෙබඳු කලණ මිතුරා බුද්ධාදී සත්පුරුෂයන්හට ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්හට අප්‍රිය වේ.
ඔවදෙය්‍යනුසාසෙය්‍ය ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ ජේතවනාරාමයෙහි වාසයකරන කාලයේ අස්සජි-පුනබ්බසුක භික්ෂූන් අරභයා දේශනා කළසේක.
දේශනාවේ මුල පටන්ගන්නේ කීටාගිරියෙනි. ඒ භික්ෂුදෙනම අගසව්වන්ගේ සද්ධිවිහාරිකයන්වූ අතර අලජ්ජීන්ද පාපීභික්ෂූන්ද වූහ. ඔවුහු තමන්ගේ පිරිවරභික්ෂූන් පන්සීයත් සමග කීටාගිරියෙහි වසන්නාහු මල්පැලෑටි සිටුවති. අනුන්ලවාද සිටුවති. මේ ආදි නොයෙක් අනාචාර කරමින් කුලදූෂණ වැඩද කොට එබඳු ආකාරවලින් උපදවාගන්නා ප්‍රත්‍යවලින් ජීවිකාවකරමින් ඒ ආවාසය ප්‍රියශීලීභික්ෂූන්ට විසීමට නුසුදුසුතැනක් කළහ.
බුදුරජාණන්වහන්සේ එපුවත අසා ඔවුන්ට පබ්බාජනිය නම් විනය කර්මය කරවනු සඳහා (ශාසනයෙන් නෙරපීම) පිරිවර සහිතව සැරියුත්-මුගලන් අගසව් දෙනම අමතා ශාරීපුත්‍රයෙනි, ඔබ දෙපළ යන්න, ඔවුන් අතර යම්කෙනෙක් ඔබ කියන දේ නොඅසත්නම් ඔවුන්ට පබ්බාජනිය කර්මය කරන්න. යමෙක් ඔබ වචන පිළිගනිත්නම් ඔවුන්ට අවවාද අනුශාසනා කරන්න. අවවාද අනුශාසනා කරනවිට එය අපණ්ඩිතයන්ට අප්‍රිය වේ. පණ්ඩිතයන්ට ප්‍රිය වෙයි. මනාපවෙයි යනුවෙන් පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
ඔවා අනුසාසනා බොරුබස් බැහැර කොටලා
කියන විට සත්දනහට එය බෙහෙවින්ම ප්‍රියවේ
අසත්ජනයන්හට කිසිම විට ප්‍රිය නොවේ එදහම්
එහි ඔවදෙය්‍ය යනු උපන්කථාව හෝ සිද්ධිය ගැන සඳහන් කරමින් කථාකිරීමයි. නූපන් අයස ආදිය හිතසුව නොවන්නේය ආදි වශයෙන් අනාගතයද පෙන්නුම්කරමින් කරන්නේ අනුශාසනාවයි. සම්මුඛයෙහි කියාදීමත්, අසම්මුඛයෙහි දූතයෙකු යැවීමෙන්, හසුනක් යැවීමෙන් හෝ කිරීම අනුශාසනා නම්වේ. වරක් කීම අවවාදය නමි. නැවත නැවත කියන්නේ අනුශාසනා නමි. අවවාදකරමින් කීම අනුශාසනා නමි. මෙසේ ඔවදෙය්‍ය අනුසාසෙය්‍ය අසබ්භාව යනු අකුසල් දහමින් දුරුකරලීමත්, කුසල් දහම්හි පිහිටුවීමත් යන අර්ථයි. සතං හි සො පියො හොති යනු මෙබඳු පුද්ගලතෙම බුද්ධාදි සත්පුරුෂයන්ට ප්‍රියවෙයි. යම් කෙනෙක් දහම තේරුම් නොගෙන, පරලොවින් ඉවත්නොවී ආමිස ගැනම සිතමින්, ඒ දෙස බලාසිටිමින් ජීවත්වීම පිණිස පැවිදිවූවෝ වෙත්ද ඔවුන් උදෙසා අසතං යනු ඒ අවවාද අසන්නා, අනුශාසනා අසන්නා එය අසමින්ම ඔබ අපගේ උපාධ්‍යාය නොවෙයි. ගුරුවරයාද නොවෙයි ඔබ අපට අවවාද කරන්නේ ඇයි? ආදි වශයෙන් මුව නමැති ආයුධයෙන් අනිමින් විදිමින් අප්පියෝ හොතීති අප්‍රිය බවට පත්වේ යනුයි.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය. සැරියුත් මුගලන් දෙනමත් එහි ගොස් ඒ භික්ෂූන්ට අවවාද අනුශාසනා කළහ. සමහරු අවවාද පිළිගෙන මනාකොට පැවතුම් ඇතිකර ගත්හ. සමහරු සිවුරු හැරදැමූහ. සමහරු පබ්බාජනිය කර්‍මයට භාජනවූහ.