26-40 දේවඞ්ගික බ්‍රාහ්මණයාගේ කථා පුවත

පුබ්බෙනිවාසං යො’වෙදි සග්ගාපායං ච පස්සති

අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි

සබ්බවොසිතවොසානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යමෙක් පෙර වුසූ කඳපිළිවෙළ (ප්‍රකට කොට) දනී ද, ස්වර්‍ගය ද නිරය ද දිවැසින් දකී ද, යලි (ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත) අර්‍හත්ත්‍වඵලප්‍රාප්ත වූයේ ද, විශිෂ්ටඥානයෙන් දැන නිෂ්ඨාප්‍රාප්ත ද, සියලු කෙලෙසුන්ගේ අවසානය වූ අර්‍හත්ත්‍වමාර්‍ගඥාන නැමැති බ්‍රහ්මචර්‍ය්‍යය වැසැ නිම කළ ඒ ක්‍ෂීණාස්‍රවොත්තමයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

"පුබ්බේ නිවාසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී දේවඞ්ගික බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න පිළිබඳව දේශනා කළහ.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වාත ආබාධයෙන් පෙළුණ බැවින්. උණු දිය ටිකක් ගෙන ඒම සඳහා උපවාන තෙරුන් දේවඞ්ගික බ්‍රාහ්මණයා වෙත යැවීය. උන් වහන්සේ බමුණා වෙතට ගොස් බුදුරදුන් ආබාධිත බව පවසා උණු වතුර ඉල්ලුවේ. එය අසා බමුණා සතුටුවූයේ මට ලාභයක් බුදුරජාණන් වහන්සේ උණු පැන් සඳහා ශ්‍රාවකයෙක් එව්වේ. උණු පැන් කදක් සාධා පුරුසයෙකු ලවා යවා උපවාන තෙරුන් අත පැණි මුලක් ද යැවීය. තෙරුන් එය ගෙන්වා ගෙන විහාරයට ගොස් බුදුන් උණු ජලයෙන් නාවා උණු ජලයෙන් පැණි දියකර බුදුන්ට පිරිනැමුහ. එකෙනෙහිම ආබාධය සංසිඳුනි. බමුණා මෙසේ සිතුවේය. කාට යමක් දීමෙන් මහත්ඵල මහානිසංස වේද? බුදුන්ගෙන් මෙය විමසමියි බුදුන්වෙත ගොස් එම කරුණ විමසන්නේ මේ ගාථාව පැවසුවේය.

කඳ පිළිවෙළ දන්න පෙර දින තමන් විසූ

දෙලොව සිටින අය ගැන දිව කණින් ඇසූ

වෙසෙරද නැණින් අරහත් වී කෙලෙස් නැසූ

උතුමෝ බමුණාය සිව් බඹසරින් විසූ

දෙය්‍ය ධර්ම කාටනම් දිය යුතුද කාට දීමෙන් මහත්ඵල මහානිසංස වේද? කෙසේ යාග කිරීමෙන් දක්‍ෂිණාව සමෘද්ධ වේද?

අනතුරුව බුදුහු මෙබදු බ්‍රාහ්මණයෙකුට දීමෙන් මහත්ඵල වේ යයි පවසමින් මේ ගාථාව පැවසුහ.

යමෙක් පෙර විසූ කඳ පිළිවෙල දනීද, දෙලොව. මනුලොව. බඹලොව, අපාය ආදීය දිවැසින් දකීද. තවද අර්හත් ඵලයට පැමිණියේද. විශිෂ්ට ඤාණයෙන් දැන සිවු මගින් කටයුතු නිමකළේද, සියළු කෙලෙසුන්ගෙන් අවසානයයි කියු අරහත් ඵල සංඛ්‍යාත බඹසර වැස නිම කළ ඒ රහතන් වහන්සේ එම බ්‍රාහ්මණ යයි කියමි.

එහි අර්ථය - යො පුබ්බේ නිවාසං - යමෙක් පූර්වේනිවාසය ප්‍රකට කොට විසිහයක් වූ දේව ලෝකාදී සියලු ලෝකයන් දකීද? සග්ගං අපායං - සදෙව් ලොව හා අපාය. දිවැසින් දකීද. අථො ජාතික්චය ඉපැත්ම නැසුමට රහත් ඵලයට පැමිණියේද. අවබෝධ කටයුතු ධර්මය මනාව අවබෝධ කොට. දැනගතයුතු ධර්ම මනාව දැනගෙන සාක්ෂාත් කළ යුතු ධර්ම සාක්ෂාත් කොට, ප්‍රභීණ කළයුතු ධර්ම ප්‍රභීණ කොට, සියලු බඹසර වැස නිමවීම් ඇති. ආසවක්ඛය ප්‍රඥාවෙන් කෙළවරට පැමිණියා වූ, මුනි සියලු කෙලෙස් අවසන් කොට අර්හත් මාර්ග ඥානයෙන් සමන්විතව බඹසර වැසීමෙන් කෙළවරට පැමිණි බැවින් සබ්බ වොසිත වොසානං. බ්‍රාහ්මණං ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි. යන අර්ථයි.

දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය. බමුණාද පැහැදුනු සිතින් යුතුව උපාසක බව පිළිගත්තේය.

බ්‍රාහ්මණ වර්ගය නිමියේය.

විසි හය වැනි වර්ගය සමාප්තයි.

1 යමක වර්ගයේ කථා - 14 කි

2 අප්පමාද වර්ගයේ කථා - 09 කි

3 විත්ත වර්ගයේ කථා - 09 කි

4 පුප්ඵ වර්ගයේ කථා - 11 කි

5 බාල වර්ගයේ කථා - 14 කි

6 පණ්ඩිත වර්ගයේ කථා - 11 කි

7 අරහන්ත වර්ගයේ කථා - 10 කි

8 සහස්සු වර්ගයේ කථා - 14 කි

9 පපවර්ගයේ වර්ගයේ කථා - 12 කි

10 දණ්ඩ වර්ගයේ කථා - 10 කි

11 ජරා වර්ගයේ කථා - 09 කි

12 අත්ත වර්ගයේ කථා - 10 කි

13 ලෝක වර්ගයේ කථා - 11 කි

14 බුද්ධ වර්ගයේ කථා - 09 කි

15 සුඛ වර්ගයේ කථා - 08 කි

16 ප්‍රිය වර්ගයේ කථා - 09 කි

17 කෝධ වර්ගයේ කථා - 08 කි

18 මල වර්ගයේ කථා - 12 කි

19 ධම්මට්ඨ වර්ගයේ කථා - 10 කි

20 මග්ග වර්ගයේ කථා - 10 කි

21 ප්‍රකීර්ණක වර්ගයේ කථා - 09 කි

22 නිරය වග්ග වර්ගයේ කථා - 90 කි

23 නාග වර්ගයේ කථා - 08 කි

24 තණ්හා වර්ගයේ කථා - 12 කි

25 භික්ෂු වර්ගයේ කථා - 12 කි

26 බ්‍රාහ්මණ වර්ගය - 40 කි

299

මෙලෙසම දෙසිය අනූනවයක් කථාවස්තු පවසා සංක්ෂේප වශයෙන් හා විස්තර වශයෙන් රචනා කරන ලද බණවර හැත්තෑ දෙකක් වූ ධම්ම පද වර්ණනාව නිමාවිය.

මහර්ෂීවු ධර්මරාජයන් වහන්සේ විසින් ධම්මපද පාලියේ දේශනා කරන ලද ධම්ම පද ගාථා වර්ග වශයෙන් විසි හයක් වූ කථා වශයෙන් දෙසිය අනූ නවයක් වූ ධම්ම පද අර්ථ කථා කෘතවේදී අධිරාජයා විසින් කරවන ලද මහා විහාරයේ සිරිකුඩ්ඩ රජු කරවු ප්‍රාසාදයේ සිට ලෝකයාට අහිත සඳහා අර්ථ ව්‍යඤ්ජනයෙන් යුත් බුද්ධ ධර්මය පැවතිම සඳහා බණවර 72 ක් යුත් පාලි ධම්මපද අට්ඨ කථාව රචනා කිරීමෙන් මා ලද පුණ්‍ය සමුහය සියළු ප්‍රාණීන්ට ලැබී සියළු පැතුම් ඉටුවී මධුර වූ නිවන් සුව සමෘද්ධ වේවා.

පරම විසුද්ධ ශ්‍රද්ධා බුද්ධි විරිය ප්‍රති මණ්ඩිත වූ ශීලාවර ඍජු, මෘදු, ගුණයන්ගෙන් සපිරුණු සිය සමය සමයාන්තර ඥාණ සමුහයෙන් යුතු ඤාණ ග්‍රහණයෙහි සමර්ථවූ ප්‍රඥා සාමවයෙන් යුක්ත වූ ත්‍රිපිටක පර්යාප්ත ප්‍රභේද ඤාණයෙන් ද අට්ඨ කථා සහිත බුද්ධ ශාසනයේ අප්‍රතිහත ඤාණ ප්‍රභාවෙන් ද මහා ව්‍යාකරණඥ වුද උදාර ග්‍රන්ථකරණයේ තීක්‍ෂණ වූ ද මධුර, උදාර ඕජෝ ගුණලාවන්‍ය යුතු මහා කාව්‍යකරණයෙන් යුත් ජලභිඥා පටිසම්භිදා දී ප්‍රභේද ගුණ ප්‍රති මණ්ඩිත වූ උත්තරී මනුෂ්‍ය ධර්ම සුප්‍රතිෂධිත ථේරවංශයට ප්‍රදීපාය මානවු මහාවිහාර වංගාලංකාර වූ විපුල විසුද්ධ බුද්ධි ප්‍රභාවෙන් යුත් බුද්ධඝෝෂ යන ගරු නාමයෙන් යුත් තෙරුන් විසින් මේ ධම්ම පද වර්ණනය නම් වූ අටුවාව කරන ලද්දේය.

ලෝකෝත්තරමය සුවය සොයන කුල පුතුන්ට ශීල විසුද්ධි න්‍යාය පෙන්වා දෙන තාදි ගුණ ඇති පිරිසිදු සිත් ඇති ලොවට මහර්ෂී වූ බුද්ධ යන නම ලොව පවතීවා.

පාලි ධම්ම පදට්ඨ කථාවේ දෙවැනි කොටසට

පන්නල සුමේධ නායක ස්ථිරයන් විසින් කරන ලද

සිංහල පරිවර්තනය

නිමා විය.

—//-

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.