යො’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච උභො සඞ්ගං උපච්චගා
අසොකං විරජං සුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
මෙ ලොවෙහි දී යම් පුද්ගලයෙක් කුශලාකුශල උභය පක්‍ෂය ම (රහත් මඟ නැණින්) ප්‍රහීණ කෙළේ ද, රාගාදි සඞ්ගයන් බැහැරැ කෙළේ ද ශෝකයන් ඉක්ම වූ, රාගාදී රජස් දුරැ ලූ (උපක්ලේශාපගමනයෙන්) පිරිසිදු වූ ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
"යොධ පුඤ්ඤවා " යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පුර්වාරාමයේ වැඩ සිටියදී රේවත තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ. කථා පුවත "ගාමෙවා යදිවා රඤඤෙ" යන ගාථා වර්ණනයෙන්ද විස්තර කෙරෙයි. එක් දිනක් භික්ෂූන් වහන්සේලා ධම් සභා මණ්ඩපයේ දී කථාවක් ඇති කළහ. අහෝ සාමණේරයන්ගේ ලාභය, අහෝ පින, එක් අයෙක් විසින් පන්සියයක් භික්ෂූන් සඳහා පන්සියයක් කුළු ගෙවල් කරන ලදී ශාස්තෲන් වහන්සේ වැඩමවා කළ කථාව ගැන භික්ෂූන්ගෙන් විමසා දැනගත් පසු මහණෙනි මගේ පුතුට පින් ද පව් ද නැත. මේ කර්ම දෙකම ප්‍රහීණ කර තිබේ. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
පින් පව් දෙක නසා
සෝ රජස් හැම වනසා
කෙලෙස් වැනසු නිසා
වර ඔහුද බමුණෙකි කියමි නොලසා
යම් කෙනෙක් පින ද පව ද යන දෙකම දුරුකළේ ද ඉක්මවූයේ ද ශෝක කිරිම් නැති, රජ සේ නැති පිරිසිදු වූ ඔහු බ්‍රාහ්මණයෙකි.
එහි උභො යනු පින් ද පව් ද යන දෙකම දුරුකළ යන අර්ථයි. සඞගං යනු රාගාදී වෙනස්කම්, උපච්චගා ඉක්මවා, තමහං සංසාර වෘත්ත මූල සෝකයෙන්, අසොකං - අභ්‍යන්තරයේ රාග රජස් ආදීන්ගේ අභාවයෙන්, විරජං උපක්ලේශ රහිතව. සුද්ධං තමහං බ්‍රාහ්මණං පිරිසිදු වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.