හත්‍ථසඤ්ඤතො පාදසඤ්ඤතො
වාචාය සඤ්ඤතො සඤ්ඤතුත්තමො
අජ්ඣත්තරතො සමාහිතො
එකො සන්තුසිතො තමාහු භික්ඛුං.
(යමෙක්) අතින් සංයත ද, පයින් සංයත ද, වචනයෙන් සංයත ද, කයින් සංයත ද, කමටහන් වැඩීමෙහි ඇලුනේ ද, සමාධියෙන් යුක්ත ද, එකලා ව හැසිරෙන්නේ ද, තුටු සිතැත්තේ ද, ඔහු භික්‍ෂුහු කොට කියති.
"හත්ථ සඤ්ඤතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී හංස ඝාතක එක් භික්ෂු නමක් පිළිබඳව දේශනා කරන ලදී.
සැවැත් නුවරවාසී වූ මිත්‍රශීලීව සිටි භික්ෂු දෙනමක් පැවිදිවී උපසම්පදාවද ලබා බෙහෙවින්ම එකළාව හැසිරෙති. ඔවුන් දෙනම එක් දිනක් අචිරවතී ගඟට ගොස් නා අව්ව තපිමින් සිහි කටයුතු කථාවක් කරමින් සිටියාහුය. මේ අවස්ථාවේදී අහසින් යන හංස යුවලක් දැක තරුණ භික්ෂුව ගල් කැටයක් ගෙන එක් හංසයෙකුගේ ඇහැට පහරමියි කිවේය. දෙවැන්නා නොහැක්කේයැයි පැවසුවේය. සිටින්න මේ පැත්තේ ඇසට නොව අනෙක් පැත්තේ ඇසට පහරදෙමියි පැවසුවේය. එයද නොහැක්කේ යයි පැවසුවේ. එසේනම් බලන්නැයි දෙවැන්නා තව ගලක් ගෙන හංසයාගේ පසුපස පැත්තට විද්දේය. ගල්කැටය යන හඩ අසා පියැඹීම නවතා හංසයා බැලුවේය. එවිට ඔහු අනෙක් රවුම් ගල් කැටයක් ගෙන යට ඇස පැත්තට විද අනෙක් ඇසෙන් නික්ම යන ලෙස විද්දේය. හංසයා විලාප නගමින් ඔවුන් පාමුල වැටුනි. එහි සිටි භික්ෂූන් වහන්සේලා එය දැක ඇත්තේ බුදුසසුනේ පැවිදි වී අනුචිත දෙයක් තොප කරන ලදී. ප්‍රාණඝාතය කරන්නේ යයි කියා ඔවුන් රැගෙන තථාගතයන් වහන්සේ වෙතට ගෙන ගියහ. මහණෙනි සැබෑද තොප ප්‍රාණඝාතය කළෝද? යනුවෙන් විමසා සැබෑ බව පැවසූවිට මහණ මෙබඳු නෛර්යානික සසුනක පැවිදි වී මෙලෙස කළේද? පැරණි පඩිවරු බුදුවරුන් නොසිටි සමයක ගිහිගෙයි වසමින් කරුණුවලදී ද සැක ඇතිකළහ. නුඹ වනාහි මෙබඳු සසුනක පැවිදිවී කුකුස් පමණ නොමැතිවී යයි පවසා ඔවුන්ගේ ඉල්ලීම පරිදි අතීතය ගෙන හැර දැක්වුහ.
අතීතයේ කුරු රට ඉන්ද්‍රප්‍රස්ථ නගරයේ (ඉදිපත් නුවර) ධනංජය රජු රාජ්‍ය කරන අතර බෝසත් තෙම ඔහුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්තේය. පසුව ඉපදී පිළිවෙළින් ප්‍රසිද්ධ වී තක්ෂිලාවේ ශිල්ප හදාරා පියා විසින් යුවරජ තනතුරේ පිහිටවුයේ පියාගේ අභාවයෙන් පසු රාජ්‍යයට පත්ව දසරාජ ධර්ම වෙනස් නොකරමින් කුරු ධර්මය ආරක්ෂා කළේය. කුරු ධම්ම නම් පඤ්ච ශීලයයි. මෙම පංචශීලය බෝධි සත්ත්වයෝ පිරිසිදු ලෙසට ආරක්ෂා කරයි. බෝසත් මව අගමෙහෙසිය බාල සොහොයුරු යුවරජ පුරෝහිත බමුණා රැහැන් ගන්නා ඇමති, රියදුරා, සිටුවරයා ගණන් සාදන්නා (වහින්නා) මහ ඇමති, දොරටු පාලයා, නගර සෝභනිය, වර්ණ දාසිය මෙලෙසට එකොළොස් දෙනෙක් කුරු ධර්මය ආරක්ෂා කරත් මෙකල කාලිංග රට දන්ත පුරයේ කලිඟු රජ රාජ්‍යය කරද්දී එම රටට වර්ෂාව නොවැටුනි. බෝසතාණන් වහන්සේගේ අඤ්ජන වසභ නම් මංගල හස්තියා මහා පුණ්‍යවන්තයෙක් වීය. රටවැසියා මේ ඇතා ගෙන ආ විට වැස්ස වසීයයි හැගිමෙන් රජුට දැනුම් දුන්නාහුය. රජතුමා එම ඇතු ගෙනයාම සඳහා බ්‍රාහ්මණයින් යැව්වේය. ඔවුන් ගොස් බෝසතුන් ගෙන් ඇතා ඉල්ලා සිටියහ බුදුහු ඔවුන්ගේ ආයාචනයට හේතු දක්වමින්
මහරජුනි. ඔබ වහන්සේගේ ශ්‍රද්ධාව ද ශීලය ද දැන අඳුන් වන් වූ මගුලැතු, ගෙන එම්හයි කලිඟු රජු සමීපයෙන් ස්වර්ණ රජතාදිය ගෙන ආවෙමු. ( නික නිපාතයේ ජාතක කථාව) ඇතා ගෙන ආවද වැසි නොවසින නිසා එම රජු කුරු ධර්ම ආරක්ෂා කරන්නේ යයි එය රන් පටක (තහඩුවක ලියා ගෙන එන්නැයි නැවත කාලිඞ්ගවාසී බ්‍රාහ්මණයෝද ඇමතිවරු ද යැවීය. ඔවුන් ගොස් ඉල්ලා සිටිවිට රජු මුල්කොට සියල්ලෝම අභ්‍යන්තර සීලයේ කිසියම් කුකුස් මාත්‍රයක් කොට අපේ සීලය අපිරිසිදු යයි ප්‍රතික්ෂේප කරත් මෙපමණකින් ශීල භේදය වේයයි ඔවුන් විසින් නැවත නැවත ඉල්ලා තම තමන්ගේ ශීලය කීවාහුය. කලිඟු රජා රන් තහඩුවේ ලියවා ගෙන ආවා වූ කුරුධර්මය දැක සමාදන්වී මනාව සම්පුර්ණ කළේය. එවිට වැස්ස වැටුණි රට ආරක්‍ෂා සහිත සුභික්ෂය ඇතිවිය බුදුහු මේ අතීතය ගෙන හැර දැක්වුහ.
එකල ගණිකාව උත්පල වණ්ණාය, දොරටු පාලයා පුණ්ණය. රැහැන් ඇමිතියා කච්චායන ය. කෘෂිකර්ම ඇමති කෝලිත වීය, සැරියුත් තෙරුන් සිටුවරයා විය. රියැදුරා අනුරුද්ධය. බ්‍රාහ්මණයා කස්සපය. යුව රජු නන්ද පණ්ඩිතයා ය. රජ බිසව රාහුල මාතාවය. මව මහා මායා දේවීය. කුරු රජ මහා බෝධි සත්වයෝය.
ජාතක දේශනාව නිමවා - මහණෙනි මෙලෙස පෙර පඩිවරු ස්වල්ප මාත්‍රයකුඳු කුකුසක් ඇතිවුවිට තම ශීලභේදය සැක කළහ. නුඹලා මාගේ බුද්ධ ශාසනයේ පැවිදිව ප්‍රාණඝාතය කරමින් බැරෑරුම් කර්මයක් කළාහුය. භික්ෂුවක් නම් අතින් දෙපයින් වචනයෙන් සංවර වියයුතු යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
අත පය දෙකම සංවර කර මනාලෙස
සංවර ලෙසින් කළ යුතුමය කතා බස
වඩමින් කමටහන් සිතකින් සමාහිත
මහණුන් සිටිය යුතුමය බුදු පුතා ලෙස
අතින් සංවර වේ පාදයෙන් සංවර වේ වචනයෙන් සංවර වේ. උතුම් සංයමයට ආධ්‍යාත්මයට ඇලුනේ සංයත වූයේ එකලාව සංගත වූයේ භික්ෂුව නම් වේ.
එහි හත්ථ සඤ්ඤතො අතින් ක්‍රීඩා කිරීම, අනුන්ට පහර දීම ආදිය නො කොට සන්සුන් කර ගැනීම හත්ථසඤ්ඤනම් වේ. දෙවන පදයෙහිද මෙම න්‍යායමයි. වාචාය සඤ්ඤතො වචනයෙන් මුසාවාදාදිය නොකීම වචනයේ සංවරයයි. සඤ්ඤතුත්තමො -කයෙහි සංවරභාවය, අඟ පසගයන ගෙන කෙරෙන කාය විකාරාදියෙන් හා සතුන් මැරීම ආදියෙන් වෙන්වීම යන අර්ථයි. අජඣත්තරතො අධ්‍යාත්ම විෂය පුළුල් කරමින් කමටහන් වැඩීමෙහි ඇලීම. සමාහිතො මනාකොට සිත එකග කරගත් පුද්ගලයා - එකො සන්තුසිතො - යනු ඒක විහාරීම හුදෙකලාව. විපස්සනාචාරයෙහි පටන්, අධිගම්‍යයට පත්වීම තෙක් සතුටු සිතින් කමටහන් වඩා සතුටු වීම, අරහත්වය ඒකාන්ත සතුට කීම සඳහා කියන ලදී.
දේශනාවගේ කෙළවර බොහෝ දෙනා සෝවාන් පෙළෙහි පිහිටියේය.